Main Logo

Sunday 7 October 2018

භාරකාර සම ආණ්ඩුවක්


භාරකාර සම ආණ්ඩුවක්



බැසිලිකාවේ පූජකයකුට අනුව කොටින්ට විරුද්ධව හමුදා මෙහෙයුම් කළ යුතු ය කියා සමහරු කියලා. සමහරු එහෙම නැහැ කියලා. තවත් සමහරු කොටි පරදවන්න පුළුවන් කියලා. මා දන්න කරුණ නම් පඬියන් සියල්ල කොටි පරදවන්න බැහැ කියද්දි, විදේශ බලවේග ප්‍රභාකරන් අනභිබවනීය කියද්දි මෙරට සාමාන්‍ය සිංහල ජනතාව කොටි පරදවන්න පුළුවන් කියා කිව්ව බවයි. චන්ද්‍රිකා විතරක් නොවෙයි මහින්දත් පඬියන් හා විදේශ බලවේග කියන විධියටයි වැඩ කෙළෙ. බැසිල් කෙනෙකු මොනව කරාද කියල ඒ දවස්වල කවුරුන්වත් දැන හිටිය ද දන්නෙ නැහැ. බැසිලිකාවෙ පූජකයන් ඒ දවස්වල කොහෙද හිටියෙ කියලා බැසිල් දන්නෙවත් නැතිව ඇති.




මා කෙළේ සාමාන්‍ය සිංහලයන්ගෙ මතයට ප්‍රසිද්ධිය ලබා දීම. මට ඒ මතය ගැන විශ්වාසයක් තිබුණ අපේ ඉතිහාසය ප්‍රභාකරන්ගෙ බියගුලුකම ආදිය මත පදනම් වෙලා. ප්‍රභාකරන් බයගුල්ලෙක් බව පස්සෙත් තහවුරු වුණා. ඔහු සයනයිඩ් ගිල්ලෙත් නැහැ. සමාවක් බලාපොරොත්තු වුණා. සිංහලයන්ගෙ මතය වෙනුවෙන් පෙනී සිටීම නිසා මා දැන් මෙන් ම එකල ද සිංහල බෞද්ධ විරෝධීන්ගේ ගැරහීමට පත් වුණා. අර තම්බයිය වගේ අය බෞද්ධයන්ට යුද්ධ කරන්න පුළුවන්ද මිනී මරන්න පුළුවන් ද කියලා ඇහුව. ඔහු දෙමළ ක්‍රිස්තියානි. ඇතැම් සිංහල ක්‍රිස්තියානින් ද ඒ ප්‍රශ්නය ඇහුව. අදත් අහනවා. හරියට ක්‍රිස්තියානින්ට මිනී මරන්න පුළුවන් වගේ. යුරෝපීය ක්‍රිස්තියානින් අප රටවලට පැමිණ අප ඝාතනය කළා. රටවල් කොල්ල කෑවා. තවමත් කනවා. එකල පාප් වහන්සේ තමයි ලෝකය පෘතුගීසීන්ට හා ස්පාඤ්ඤයන්ට බෙදා දුන්නෙ. මෙරට දෙමළ ජාතිවාදය ඉංගිරිසි හා ලන්දේසි ක්‍රිස්තියානින්ගෙ නිර්මාණයක්.



මා බොහෝ වෙලාවට කරන්නෙ යටපත් කර ඇති සිංහල බෞද්ධ ජනමතය යුක්තියුක්ත කර එයට ප්‍රසිද්ධිය ලබා දීමයි. නාථ දෙවියන් සම්බන්ධයෙන් ද එසේ ම කටයුතු කරනවා. සිංහල බෞද්ධ විරෝධීන් මට පරිභව කරන්නේ මට ද්වේෂ කරන්නේ මා යටපත් කර ඇති සිංහල බෞද්ධ මතය යුක්තියුක්ත කරන නිසයි.   



අද තවත් වැදගත් ප්‍රශ්නයක් ඇති වෙලා. රනිල් ඉවත් කිරීම ගැන. සාමාන්‍ය ජනයාට රනිල් ඉවත් කරන්න ඕන. ඒත් ඔවුන් දන්නෙ නැහැ කරන විධියක්. ඒ අතර විවිධ දේශපාලනඥයන් තම න්‍යාය පත්‍ර අනුව විවිධ කතා කියනවා. ජනතාව ඒ කතාවලින් අන්දමන්ද වෙලා.  අද මට පරිභව කරන්නේ සිංහල බෞද්ධ විරෝධීන් පමණක් නො වෙයි. මහින්දවාදීන් මහින්දගේ ජනප්‍රියත්වයට මුවා වෙලා මට ගරහනවා. සිරිජාතිකවාදියා කියනවා. මොවුන්ට ඕන රනිල් ඉවත් කරන්න නොවෙයි තම පෞද්ගලික අවශ්‍යතා සපුරා ගන්න. අද නොයෙකුත් කතා ඇහෙනවා. භාරකාර ආණ්ඩු ගැන කියනවා. අපට අවශ්‍ය මේ කියුම් ක්‍රියාත්මක කරන්නයි. භාරකාර ආණ්ඩුව ගබ්සා කරන්න සමහරු කටයුතු කරනවා.



මා දිගිින් දිගට ම කියා සිටියේ මහින්ද අගමැති කර රනිල් ඒ තනතුරෙන් ඉවත් කළ යුතු බවයි. මා එසේ කියන්නේ රනිල් අගමැති ධුරයේ කටයුතු කිරීම රට විනාශය කරා තල්ලු කරන බැවින්. ඔහු ඉක්මණින් ඉවත් කරන තරමට රටට හොඳයි. එසේ කිරීමේ දී භාරකාර සම ආණ්ඩුවක් පිහිටුවිය යුතු යැයි මා කියා ඇති. මා එසේ කීවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව භාරකාර ආණ්ඩුවක් පිහිටුවිය හැක්කේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු නිසයි. එහෙත් පාර්ලිමේන්තුව අද හෙට විසුරුවා හරින්නේ නැහැ. ඊනියා උගතුන් ද වචන යොදා ගැනීම පිළිබඳ සැලකිලිමත් නොවන විටක දේශපාලනඥයන් එසේ වේ යැයි මා සිතන්නේ නැහැ. ඔවුන් අද භාරකාර ආණ්ඩුවක් ගැන කතා කරනවා. එහෙම හරි කතා කරන එක හොඳයි.



දැන් ප්‍රශ්නය භාරකාර සම ආණ්ඩුවක් පිහිටුවන්නේ කෙසේ ද යන්නයි. එහි දී අප අද මේ ඊනියා ජාතික ආණ්ඩුවේ ප්‍රායෝගික ව ආණ්ඩු දෙකක් ඇති බව තේරුම් ගත යුතුයි. එකක් මෛත්‍රිපාලගේ ආණ්ඩුව, අනෙක රනිල්ගේ ආණ්ඩුව. පඬියකුට කියන්න පුළුවන් ඇත්තේ එක් ආණාඩුවක් පමණක් බව. එහෙත් අප එදිනෙදා අත්දකින කාරණය ආණ්ඩු දෙකක් තිබීමයි. දැන් අර භාරකාර සම ආණ්ඩුව පිහිටුවන්නේ කවුරු කා සමග ද? ඒ සඳහා මෛත්‍රිපාලගේ පිරිස කැඩී ආ යුතු යැයි කීම නිවැරදි නැහැ. මූලික වශයෙන් එහි දී ප්‍රශ්න දෙකක් මතු වෙනවා. මෛත්‍රිපාලගේ පිරිස කැඩී ආ යුත්තේ මෛත්‍රිපාල ඇති ව නැතිව ද? මෛත්‍රිපාලත් කැඩි ආවොත් ව්‍යවස්ථාව අනුව රනිල් වැඩබලන ජනාධිපති වෙනවා. අපට අවශ්‍ය එය ද? මෛත්‍රිපාල නැතිව ආවොත් මෛත්‍රිපාල ජනාධිපති රනිල් අගමැති. රනිල්ට මෛත්‍රිපාලගේ පිරිස නැතිව වුවත් මන්ත්‍රීවරුන් 106 දෙනකු ඉන්නවා. එයට අමතර ව ජ වි පෙ දෙමළ ජාතික සංධානය සහ තවත් අය ඉන්නවා. රනිල්ට 113ක් සොයා ගැනීම ප්‍රශ්නයක් නො වෙයි.



එසේ නම් කළ යුත්තේ කුමක් ද? රනිල්ගේ ආණ්ඩුව ඉවත් කර මෛත්‍රිපාලගේ පිරිස හා මහින්දගේ පිරිස එකතු වී භාරකාර සම ආණ්ඩුවක් පිහිටුවීමයි. එයට මන්ත්‍රීවරුන් 113 දෙනකු නැති වේවි. එය ප්‍රශ්නයක් නොවේ. 2015 ජනවාරි මස රනිල් අගමැති ධුරයට පත්වන විට ඔහුට සිටියේ මන්ත්‍රීවරුන් හතළිස් ගණනක් පමණයි. ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු පිල් මරු කිරීම් බලාපොරොත්තු වන්න පුළුවන්. ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු එයට විරුද්ධ ව විශ්වාසභංග යෝජනා ගෙනෙන එක අසීරුයි.



මේ කාර්යයේ දී තීරණ ගැනීමේ දී බල පෑ යුතු ප්‍රධාන කරුණ රනිල් තවදුරටත් අගමැති ධුරයේ කටයුතු කිරීම රටට හිතකර ද යන්නයි. තම පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව නොව රටේ පැත්තෙන් බැලූ විට වඩා සුදුසු කුමක් ද? 2020ක් ගැන බලාගෙන කටයුතු කිරීම ද? 2020 මැතිවරණ ලබාගන්නත් රනිල් ඉවත් කරන්න වේවි ද?



මා රනිල් ඉවත් කළ යුතු බව කියන්නේ පොදුවේ. එක් එක් මන්ත්‍රී හමු වී ඒ ඒ මන්ත්‍රීවරයා කළ යුත්තේ කුමක් දැයි කීම මගේ කාර්යයක් නො වෙයි. මා එය කරන්නේ නැහැ. ඒ කාර්යයන් ඒ ඒ පක්‍ෂවල කණ්ඩායම්වල නායකයන් සංවිධායකයන් විවිධ මණ්ඩල සාමාජිකයන් සතුයි. මා භික්‍ෂූන් වහන්සේ නමක් වූවානම් සිංහල බෞද්ධ සිරිත් අනුව  වෙනත් ආකාරයකින් ක්‍රියා කිරීමට තිබුණා.



රනිල් ඉවත් කළ හැකිය, කළ යුතු ය යන ස්ථාවරයෙහි මා දිගින් දිගට ඉන්නවා. ඒ සඳහා භාරකාර සම ආණ්ඩුවක් පිහිටුවිය යුතු ය හා හැකිය යන ස්ථාවරයේත් ඒ භාරකාර සම ආණ්ඩුවේ අගමැති මහින්ද විය යුතු ය යන ස්ථාවරයේත් මා ඉන්නවා. මට කළ හැක්කේ ඒ ස්ථාවර වෙනුවෙන් කතා කිරීමත් ලිවීමත් පමණයි. සංකල්ප ගැන සැලකිල්ලක් නොදක්වන දේශපාලනඥයන් භාරකාර ආණ්ඩුවක් ගැන කතා කිරීම මට ප්‍රශ්නයක් නො වෙයි. භාරකාර සම ආණ්ඩුවක් යනු කුමක් දැයි මීට පෙර ලිපිවල විස්තර කර ඇති.