Main Logo

Sunday 14 October 2018

ඊනියා සභාග/භාරකාර ආණ්ඩුව


ඊනියා සභාග/භාරකාර ආණ්ඩුව



අතුරුදහන් වූ කොටි ත්‍රස්තවාදීන්ට වන්දි මුදල් ගෙවන එක ගැන කතාකරන්න තියෙනවා. ඒ ගැන ඉතා කෙටියෙන් කියන්න තියෙන්න රජයෙන් වන්දි ගෙවන්න ඕන එක්කෙ රජය වෙනුවෙන් යමක් කරන්න ගිහින් ඒ රාජකාරියේ දී මිය යන අයට, එහෙම නැත්නම් රජයේ යම්කිසි ක්‍රියාවක් නිසා වැරුද්දක් නැතිව මියගිය අයට. ඒ අවස්ථාවල මියගිය අයට පමණක් නොව ආබාධිත වූ අයට ද යම් වන්දියක් ගෙවන්න ඕන. කොටි ත්‍රස්තවාදීන් අයත්වන්නේ මේ වර්ග දෙකෙන් කොයි එකට ද? කොටි ත්‍රස්තවාදීන් රජය වෙනුවෙන් කටයුතු කළා ද? ඔවුන් මියගියේ වරදක් නැතිව ද? අපි එ ගැන තරමක් විස්තරාත්මක ව  ඉඩක් ලැබුණු විගස කතා කරමු. මෙයට අමතර ව රජයෙන් ආධාර කරන්නෙ ස්වාභාවික ආපදා නිසා විපතට පත් වූවනට. එ වන්දි නො වෙයි.




අදත් නැවතත් ඊනියා සභාග ආණ්ඩුවක් භාරකාර ආණ්ඩුවක් ගැන කතා කරන්න වෙනවා. දැන් සිරිජාතිකවාදීන් සංඛ්‍යාව දිනෙක් දින වැඩි වන නිසා මගේ අනන්‍යතාවට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ කොහොම වුණත් මේ සභාග ආණ්ඩුවක් හදන්න කියලා කියන්නෙ කවුද? මෛත්‍රිපාල හංසයාගෙන් පත්වුණත් දැනට ආණ්ඩුව හදන්න යන්නෙ එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තේරී පත් වූ අය පමණයි. ඒකට වෙනත් පක්‍ෂ එකතු කරගන්නව නම් තමයි සභාග ආණ්ඩු කතාව මතු වෙන්නෙ. අනෙක් අතට මේ රටේ ආණ්ඩු බොහොමයක් සභාග ආණ්ඩු. දැන් තියෙන ඊනියා ජාතික ආණ්ඩුවත් සභාග ආණ්ඩුවක්. සභාග ආණ්ඩුවක් හදනව කිව්ව ම දැන් නැති එකක් හදනව වගේ අදහසක් එනවා.



සභාග ආණ්ඩුවක් කියන්නෙ පාර්ලිමේන්තුවට තේරී පත් වූ දේශපාලන දෙකක් හරි වැඩි ගණනක් හරි එකතු වෙලා හදන ආණ්ඩුවක්. තවමත් සංධානය තවත් පක්‍ෂයක් සමග එකතු විය යුතු ය කියල කවුරුන්වත් කියල නැහැ. දැනට ඒ ගැන කතා බහක් නැහැ. මහින්ද අමරවීරලා දිනේෂ් ගුණවර්ධලා කුමර වෙල්ගමලා තේරී පත් වුණෙ සංධානයෙන්. දැනට සාකච්ඡා වන්නෙ තනි පක්‍ෂයක ආණ්ඩුවක් හදන්න. සමහරු හිතන්නෙ අමරවීරලා වෙල්ගමලා පක්‍ෂ දෙකකින් තේරී පත් වූ අය ලෙසයි.



හදන්න යන්නෙ කිසිසේත් ම භාරකාර ආණ්ඩුවක් නො වෙයි. භාරකාර ආණ්ඩුවක් තියෙන්නෙ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මැතිවරණයෙකින් අළුත් ආණ්ඩුවක් පිහිටුවන තුරු. මෙතන එහෙම දෙයක් නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැරලා නැහැ. අද දේශපාලනඥයන් පමණක් නොව දේශපාලන විද්‍යාව උගන්වන අය ද මේ වැරදි කරනවා. එක් දේශපාලන විද්‍යාඥයකු සාධක ඇතිව පෙන්වන්නේ තමන් ජනවාරි මාසයේදීත් භාරකාර ආණ්ඩුවක් හදන්න කතා කළ බවයි. ඔහුගෙන් දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න අයට දෙයියන්ගෙ ම පිහිටයි.



මේ ආණ්ඩුව හදන්න යන්නෙ ජනතාවට පොරෙන්දු දෙන මැතිවරණයකින් පස්සෙ නො වෙයි. ඒ නිසා ජනතාවට ආණ්ඩුවට කොන්දේසි පනවන්න බැහැ. දේශපාලන විද්‍යාඥයන් යැයි කියන අයටත් නිරවුල්ව කතා කරන්න බැහැ. ඔවුන් ගැලරියට කතා කරන්න ගිහින් අමාරුවෙ වැටෙනවා. අද බොහෝ දෙනකුට අවශ්‍ය වෙලා තියෙනවා තවමත් ස්ථිර නැති වුවත් ඊනියා භාරකාර ආණ්ඩුවක් හදන්න ඕන කියල මුලින් ම කිවුවෙ තමන් කියල පෙන්නන්න. ඒ බව පෙන්න ගත්තට කමක් නැහැ නිවැරදි සංකල්ප මත පිහිටලා.



එ ජා පෙරමුණේ ඇතැමුන් කියනවා ඊනියා සභාග ආණ්ඩු හදන්න ගියොත් තමන් තනි පක්‍ෂයක ආණ්ඩුවක් හදනව කියලා. ඒ එක්ක ම ඔවුන් කියනවා ඊනියා සභාග ආණ්ඩුවක් හරි ඊනියා භාරකාර ආණ්ඩුවක් හදන්න හරි ජනමතයක් නැහැ කියලා. ඔවුන් හිතනවා ඇති ආණ්ඩු හදන එක මන්ත්‍රීවරුන්ගෙ වැඩක් කියලා. මන්ත්‍රීවරුන් එකතු වෙලා ආණ්ඩු හදනවයි කියලා ඒ අය හිතනවා ඇති.  අද රට මරණයට ඇදී යන නමුත් ආණ්ඩු පිහිටුවන එක කිහිප දෙනකු එකතු වී මරණාධාර සමිතියක් පිහිටුවා ගන්නව වගේ දෙයක් නො වෙයි.



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දහනවවැනි සංශෝධනයට පසුව වුවත් ආණ්ඩු හදන්නෙ ජනාධිපතිවරයා. ජනාධිපතිවරයාට තවමත් පුළුවන් තම මතය අනුව පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තියෙන අය අගමැති ලෙස පත් කරන්න. මන්ත්‍රීවරුන් සියයකට නොවෙයි දෙසීයකටවත් එකතු වෙලා  තමන්ගෙන් අයකු හරි තමන් නිර්දේශ කරන අයකු හරි අගමැති කරන්න බැහැ. අගමැති පත් කරන එක ජනාධිපතිගෙ වැඩක්. ඒ වගේ ම ඒකට ජනාධිපති මැතිවරණයක් එනකන් බලා ඉන්න ඕනත් නැහැ.



මේ එ ජා පෙරමුණේ මන්ත්‍රීවරුන්ට අමතක වන දෙයක් තමයි 2015 ජනවාරි මාසෙ ජනාධිපතිවරණයක් මිස පාර්ලිමේන්තු මැතිවරණයක් නොතිබිච්ච බව. දැන් 2015 ජනවාරි නවවැනි දා රනිල් අගමැති හැටියට පත් කෙරුණෙ මැතිවරණයක් තියල ද? රනිල්ට මන්ත්‍රීවරුන් කී දෙනකු හිටිය ද? ඒ අවස්ථාවෙත් පාර්ලිමේන්තුවෙ වැඩි බලයක් තිබුණෙ සංධානයට. අගමැති දි මු ජයරත්න. මෛත්‍රිපාල දි මු ජයරත්න අගමැති හැටියට ආණ්ඩුවක් හදන්නෙ නැතිව රනිල් අගමැති ධුරයට පත් කරල දිවුරුම් දෙන්න සැලැස්සුව.



ඒ වෙලාවෙ අඩු තරමෙන් දි මු අස්කරල තිබුණෙවත් නැහැ. මෛත්‍රිපාල ජනාධිපති ධුරයෙ දිවුරුම් දීල ඊළඟ මොහොතෙ රනිල් අගමැති ලෙස පත්කළා. මෛත්‍රිපාල දි මු අස්කළා කියලා ඇතැමුන් පස්සෙ කියනවා. ඒක විශ්වාස කරන්න බැහැ. මෛත්‍රිපාල ජනාධිපති වූ මොහොතෙ රනිල් අගමැති ලෙස පත් කරන්න පෙර දි මු අස් කළා නම් ජනමාධ්‍යයෙ ඒ සා වැදගත් කාර්යයකට  විශාල ප්‍රචාරයක් දෙනවා. ජනමාධ්‍යයෙ එවැන්නක් ප්‍රචාරය වුණෙ නැහැ. ප්‍රචාරය වුණෙ රනිල් අගමැති ධුරයට පත් කළ බව පමණයි.



දැන් මෛත්‍රිපාලට ඒ පූර්වාදර්ශය තියෙනවා. දහනවවැනි සංශෝධනයෙන් වෙන ඇතැම් දේ වෙනස් වුණත්  ඔය තත්වය වෙනස් වුණෙ නැහැ. මා කියන්නෙ මෛත්‍රිපාල එසේ ම කළ යුතු බව නො වෙයි. ඔහු යම්කිසි ආකාරයකට මහින්දට ආරාධනා කරන්න ඕන අගමැති ධුරය භාර ගැනීමට. මහින්දටවත් රනිල්ටවත් අප්පුහාමිටවත් බැහැ ජනාධිපතිට ගිහිල්ල කියන්න තමන් හරි තමන් කියන අයකු හරි අගමැති කරන ලෙස. වැඩිම වුණොත් ඉල්ලීමක් කරන්න පුළුවන්.



පහළොවේ කණ්ඩායම මෛත්‍රිපාලගෙ පිරිසට ආණ්ඩුවෙන් ඉවත් වන්න කියන එකත් වැරදියි. ඒකෙන් වෙන්නෙ රනිල් බලවත් වෙන එක. ඔවුන් ඉල්ලන්න ඕන රනිල් හා ඔහුගෙ පිරිස ආණ්ඩුවෙන් ඉවත් කරන ලෙස. දැන් අර ඊනියා ජාතික ආණ්ඩු ගිවිසුමත් නැහැ. ඒ ගිවිසුම එක්සත් ජනතා සංධානය හා එ ජා පෙරමුණ අතර නොවේ නම් ඒකෙ කිසිම වලංගු බවක් නැහැ. මෙතන කිසිම පඹගාලක් නැහැ. අපේ පියාගෙ ආදර්ශ පාඨය වුණෙ මා නිවත්ථ අභික්කම. නොනැවති ඉදිරියට.