Main Logo

Tuesday 23 October 2018

ජ වි පෙ රැවටිල්ල


ජ වි පෙ රැවටිල්ල





ජ වි පෙරමණේ විජිත හේරත් ප්‍රකාශයක් කරලා තිබුණු ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන එක යුක්තියුක්ත කරලා. එය ජ වි පෙරමුණේ ම ප්‍රකාශයක් වෙන්න ඕන.  ඒ පක්‍ෂයේ කිසිවකුත් එයට විරුද්ධව කිසිවක් කියල තිබුණෙ නැහැ. ජ වි පෙ කියන විධියට අදාළ පනත කොටි ත්‍රස්තවාදින්ට පමණක් බලපාන එකක් ලෙස කතා කිරීම වැරදියි. ඔවුන් කියන්නේ සිවිල් යුද්ධයක දී අතුරුදහන් වූ සියළු දෙනා වෙනුවෙන් වන්දි ගෙවීමට පනත අනුව පුළුවන් කියලා.




ජ වි පෙ අද තම පැවැත්ම උදෙසා දොඩවන පක්‍ෂයක් පමණයි. ඔවුන්ට හැමදාමත් තිබුණේ විජේවීරගේ මාක්ස්වාදයක්. ඒකට ඒගොල්ලන් කියන වචන පාවිච්චි කළොත් කියන්න වෙන්නෙ විජේවීර මාක්ස්වාදය තෝරපු ආකාරය. ඒක අර පුහු පඬියන්ගෙ ඊනියා කියැවීමට වඩා නම් හොඳයි.



ජ වි පෙ කියන දෙයට අනුව මෙරට තිස් අවුරුදු සිවිල් යුද්ධයක් තිබිලා තියෙනවා. ඒ රජය හා දෙමළ ත්‍රස්තවාදීන් අතර. ජ වි පෙ සමහරවිට හිතන් ඉන්නවා ඇති 1971 , 1987-91 කාලයෙහි රජය හා ජ වි පෙ අතර තිබුණෙත් සිවිල් යුද්ධයක් කියා. ඔවුන් එය පැහැදිලි කරනවා නම් හොඳයි. එයත් සිවිල් යුද්ධයක් නම් ජ වි පෙරමුණේ අතුරුදහන් වූවන්ටත් වන්දි ඉල්ලන්න පුළුවන්. ජ වි පෙ විසින් අතුරුදහන් කරනු ලැබූ අය ගැන මොකද කියන්නෙ. ඔවුන්ටත් දෙමළ කොටි ත්‍රස්තවාදීන් විසින් අතුරුදහන් කරනු ලැබූවනටත් වන්දි ගෙවනවා ද?



මේ සියල්ලට පළමු විසඳාගත යුතු ප්‍රශ්නයක් තියෙනවා. සිවිල් යුද්ධයක් කියන්නෙ මොකක් ද? දේශපාලන විද්‍යාඥයන් සහ සාධාරණ වශයෙන් සමාජයීය විද්‍යාඥයන් සිවිල් යුද්ධය යන්න විවිධාකාරයෙන් නිර්වචනය කර තියෙනවා. එහෙත් අද ආණ්ඩුව වැඩ කරන්නෙ ඊනියා ජෙනීවා සම්මුතීන් අනුව මිසක් එක් එක් දේශපාලන/සමාජයීය විද්‍යාඥයන්ගේ නිර්වචන අනුව නො වෙයි. ජෙනීවා සම්මුතීන්වල ඊනියා සිවිල් යුද්ධ ගැන සඳහනක්, නිර්වචනයක් නැති බව මගේ දැනුමයි. එසේ ඇතැයි පෙන්වන්නේ නම් මා විජිත හේරත්ට හරි ජ වි පෙ වෙනත් නායකයකුට හරි පින් දෙනවා.



ඔය අතුරුදහන් වූවන්ට වන්දි ගෙවීමේ (හානිපූරණ) පනතේ සිවිල් යුද්ධ කතාවක් කියැවෙන්නේ නැහැ. එසේ නම් හා ඊනියා ජෙනීවා සම්මුතීන්වල සිවිල් යුද්ධයක් ගැන සඳහන් නොවී තිබිය දී ජ වි පෙ සුපුරුදු පරිදි ලොකු කතා කියන්නේ ජනතාවත් විශේෂයෙන් ම තම අනුගාමිකයනුත් රැවටීමට බව පැහැදිලියි. ජ වි පෙරමුණට අවශ්‍ය තමන් ඡන්දය දුන්නේ කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීමට නොවන බව කියන්නයි. එහෙත් වැඩිම වුවහොත් බොරු සිවිල් යුද්ධ කතා සැලකුවත් ඔවුන්ට කියන්න පුළුවන් වන්නේ තමන් කොටි ත්‍රස්තවාදීන්ට පමණක් වන්දි ගෙවීමට ඡන්දය දී නැති බව පමණයි. මේ පනත හැඳින්වෙන්නේ ඊනියා හානිපූරණ පනතක් ලෙසයි. එය වන්දි ගෙවීමත් ඉක්මවා යන්නක්.



දැන් ඔය පනතෙන් (2018 අංක 34) කියැවෙන්නේ කවුරුන් ගැන ද? පනතේ 11 (1) (අ) අනුවගන්තියෙන් කියැවෙන්නේ 2016 අංක 14 දරණ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය හෝ වෙනත් එවැනි අදාළ ආයතනවලින් අතුරුදහන් වූවන්ට හානිපූරණය කිරීම පිළිබඳ ලැබෙන නිර්දේශ ලබාගැනීමටත් 11 (1) (ආ) අනුවගන්තිය යටතේ අගතියට පත් පුද්ගලයන්ගේ හෝ ඔවුන්ගේ නියෝජිතයන්ගේ හෝ හානිපූරණය සඳහා වූ ඉල්ලුම් පත් ලබාගැනීමටත් ඒ ඉල්ලුම්පත්වල වලංගුබව පිළිබඳ පරීක්‍ෂා කිරීමටත් බලය ලැබෙනවා. මෙහි සිවිල් යුද්ධ කතාවක් කියැවෙන්නේ නැහැ. 2016 අංක 14 දරණ පනතෙන් පිහිටුවා ඇති අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයට ජ වි පෙ සාමාජිකයන් කී දෙනකු ගැන පැමිණිලි කර තිබෙනවා ද? විජේවීර ගැන පැමිණිල්ලක් තියෙනවා ද? තියෙනවා නම් ඒ ඉදිරිපත් කෙළේ කවුද? ජ වි පෙ වර්තමාන නායකත්වය ද?



ඊනියා හානිපූරණ පනතේ 11(1) (ආ) වගන්තිය යටතේ ජ වි පෙරමුණ ඉල්ලුම්පත් යැවීමට කටයුතු කරනවා ද? එසේ නම් පළමුව කළ යුත්තේ රෝහණ විජේවීරගේ අතුරුදහන්වීම පිළිබඳ ඉල්ලුම්පතක් ඉදිරිපත් කිරීමයි. බටලන්දට ගෙන ගිය බවට සාක්‍ෂි ඇති අය ගැන ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමයි. කොළඹ විශ්වවිද්‍යාලයේ ජී එල් පීරිස්ගේ ද අනුදැනුම ඇතිව නීති පීඨයේ පවත්වාගෙන ගිය වධකාගාරවල දී හා වෙනත් තැන්වල දී අතුරුදහන් වූවන් පිළිබඳ ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමයි. ඊනියා හානිපූරණ පනතට පක්‍ෂව ඡන්දය දුන් චම්පක ඉල්ලුම්පත් ඉදිරිපත් කරයි ද? ඔහුත් මේ සමහර තැන් ගැන හොඳින් දන්නවා.



මා කලින් ලිපියක  පෙන්නුම් කෙළේ කොටි ත්‍රස්තවාදීන්ගේ හානි පූරණය කිරීමට ලක් රජයට අවශ්‍යතාවක් නැති බවයි. ඔවුන්ට වන්දි ගෙවිය යුත්තේ එංගලන්තයයි. ඒ කොටි ත්‍රස්තවාදීන් ලක් රජයට විරුද්ධව සටන් කෙළේ මූලික වශයෙන් එංගලන්තය වෙනුවෙන් නිසයි.



හානිපූරණ පනතේ අතුරුදහන්වූ ආයතන සංස්ථා ආදිය ගැන සඳහන් වෙන්නේ නැහැ. එය අතපසු වීමක් ද කියා දන්නේ නැහැ. කෙසේ වෙතත් මෛත්‍රිපාලට අනුව සේනානයකලාගේ එක්සත් ජාතික පක්‍ෂය අතුරුදහන් වෙලා. ඔහු එසේ නොකීවත් දැන් තියෙන්නේ ජයවර්ධනලාගේ රනිල්ලාගේ එ ජා පක්‍ෂයක්. මෛත්‍රිපාල එක්කාහුවෙලා තියෙන්නෙ සේනානායකලාගේ පක්‍ෂය තවමත් තියෙනවා කියා හිතා ගෙන. එවැන්නක් නැත්නම් ඔහුට කරන්න තියෙන්නෙ රනිල්ලාගෙ එ ජා පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් කරලා මහින්දලා හා එ ජා පක්‍ෂයේ ඉන්න සේනානායකලා සමග වහාම ආණ්ඩුවක් හදන එකයි. එවිට ජ වි පෙරමුණ තවදුරටත් හෙළිදරවු වෙවි.