Main Logo

Thursday 25 October 2018

විග්නේස්වරන්ගේ දේශපාලනය


විග්නේස්වරන්ගේ දේශපාලනය



සසෙක්ස් විශ්වවිද්‍යාලයෙ හැටේ දශකය අවසානයේ  ආචාර්ය උපාධියකට ලියා පදිංචි වූ ලංකාවේ දෙමළ කතාකරන අයකු සිටියා. ඔහුට ප්‍රථම උපාධියට ලැබී තිබුණේ දෙවැනි පන්තියේ පහළ ශ්‍රේණියේ සාමාර්ථයක්. එබැවින් ඔහුට විශ්වවිද්‍යාලයේ ස්ථිර සහකාර කථිකාචාර්යවරයකු වීමට නො හැකි වුණා. ඒ විශ්වවිද්‍යාලයීය නීති රීති අනුව. ඔහුට වඩා සුදුසුකම් තිබූ අයදුම්කරුවන් සිටියා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට පශ්චාත් උපාධියක් සඳහා එතෙර යෑමට විශ්වවිද්‍යාලයෙන් වැටුප් සහිත නිවාඩු ලැබුණේ නැහැ. ඔහු තම වියදමින් පශ්චාත් උපාධිය සඳහා එංගලන්තයට ගියා.





ඔහු සසෙක්ස් විශ්වවිද්‍යාලයේ ප්‍රචාරය කර තිබුණේ තමා දෙමළ වීම නිසා විශ්වවිද්‍යාලයෙන් වැටුප් සහිත නිවාඩු නොදුන් බවයි. දෙමළ කතාකරන අය ගෙන ගිය ප්‍රචාර එබඳුයි. බටහිරයන් මේ ප්‍රචාරවලට සවන් දී දෙමළ කතාකරන ජනයා වෙනුවෙන් පෙනී සිටි බව නොවෙයි මා කියන්නේ. බටහිරයන්, විශේෂයෙන් එංගලන්තය, කොහොමටත් සිංහල බෞද්ධයනට එරෙහිව දෙමළ ජාතිවාදය යොදා ගත්තා. මෙවැනි බොරු කතා බටහිරයන් ප්‍රයෝජනයට ගත්තා.



මට මේ කතාව මතක් වුණේ විග්නේස්වරන් අලුත් දෙමළ පක්‍ෂයක් හදන්න තීරණය කර ඇති බව උතුරු පළාත් සභාව විසුරුවා හැරුණු දිනයේ ප්‍රකාශ කර ඇති බැවින්. මහින්ද මහළු නිසා විශ්‍රාම ගත යුතු යැයි කියන මංගල අසුහැවිරිදි විග්නේස්වරන්ට විශ්‍රාම ගත යුතු යැයි කියන්නේ නැහැ. විග්නේස්වරන් කුමාරස්වාමි පොන්නම්බලම් පවුලේ අයෙක්. ඔහු පොන්නම්බලම් අරණාෂලම්ගේ ඥාති මුණුබුරෙක්. තම පරම්පරාවේ අනෙක් අය මෙන් ම කොළඹ රාජකීය විදුහලේ උගත් අයෙක්. ඔහු රාජකීය විද්‍යාලයේ පුස්තකාල ආධාරකරුවකු (කියවන්නකු) ලෙස තම අවසාන වසරේ සේවය කළා. ඔහුට සිංහල පුළුවන්.



ඔහු පසුව නීති විද්‍යාලයට බැඳුණා. නීතිඥයකු වී දිවයිනේ බොහෝ ප්‍රදේශවල නඩු ඇහුවා. ඔහු වැඩි වශයෙන් ඇහුවෙ සිංහලයන්ගෙ නඩු. ඔහු ක්‍රමයෙන් උසස් වී ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුුවකු බවට පත්වුණා. ඔහුට වැටුප් ගෙවුවෙ ප්‍රධාන වශයෙන් ම සිංහලයන්ගේ බදුවලින්. ඔහුට දෙමළ කතාකරන අයකු වීම නිසා ම පමණක් සිදු වී ඇති අසාධාරණයක් නැහැ. එහෙත් ඔහු අර සසෙක්ස් විශ්වවිද්‍යාලයට ගිය අය මෙන් ම බොරු ප්‍රකාශ කරනවා. විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු උතුරු පළාත් සභාවේ මහා ඇමති ලෙස පත්වුණා. ඔහු එක්තරා ආකාරයකින් දෙමළ ජාතිවාදී පක්‍ෂවල පොදු අපේක්‍ෂකයා වුණා. ඔහුට ඉන්ද්‍රියාව ද සහාය දුන්නා.



අරුණාෂලම්ලා ගැන ජේම්ස් රත්නම් ලියා තියෙනවා. ඔවුන් ලංකාවට ආවේ කවදාද කියා සඳහනක් නැති වුවත් 1650න් පසු ලන්දේසීන් විසින් කෝරමණ්ඩල වෙරළෙන් මෙරට දුම්කොළ වගාව සඳහා ආනයනය කළ වෙල්ලාලයන්ගෙන් පැවත එන අය. අරුණාෂලම්ලාගේ සීයා මනිපායි හි පදිංචිය සඳහා පැමිණ ඇත්තේ දහනවවැනි සියවසේ.  ඉංගිරිසින් යටතේ ඔවුන්ට වරප්‍රසාද ලැබුණා. ඉංගිරිසින්ට අවශ්‍ය වූයේ ඒ පවුල ලංකාවේ ප්‍රධාන පවුල බවට පත් කිරීමට. ආනන්ද කුමාරස්වාමිත් මහා බැංකු අධිපති ඉන්ද්‍රජිත කුමාර්ස්වාමිත් මැතක දී ව්‍යවස්ථා සභාවට පත් කෙරුණු ඉන්ද්‍රජිත්ගේ සොහොයුරිය රධිකාත් ඒ පවුලෙ. ඇමති ඩී එම් ස්වාමිනාදන් ද ඒ පවුලට අයත්.



දෙමළ කතාකරන නිසා ඔවුන්ට සිදු වී ඇති අසාධාරණයක් නැහැ. ඔවුන් කලකට ඉහත ඇංග්ලිකන් ක්‍රිස්තියානි. පසුව හින්දු වෙලා. ඔවුන්ට වී ඇති ඊනියා අසාධාරණය ලංකාවේ ප්‍රධාන පවුල වීමට නොහැකි වීම පමණයි. මේ පවුලට වඩා සම්බන්ධකම් ඇත්තේ එංගලන්තය සමග මිස ඉන්දියාව සමග නො වෙයි. ඉන්ද්‍රජිත් රාජකීය විදුහලෙන් අස් වී එංගලන්තයේ ප්‍රභූ පාසලක, මට මතක හැටියට හැරෝ පාසලේ, ඉගෙන ගත් අයෙක්. දෙමළ ජාතික සංධානයට නම් වඩා සම්බන්ධකම් ඇත්තේ ඉන්දියාව සමග. කෙසේ වෙතත් ඉන්දියාව විග්නේස්වරන්ට මහා ඇමති වීමට සහාය දුන්නා.



රනිල් මෛත්‍රිපාල දීගය මෙන් ම විග්නේස්වරන් දෙමළ ජාතික සංධාන දීගය ද දෙදරා ගිහින්. විග්නේස්වරන්ට එංගලන්තයේ ආධාර ලැබෙනවා. දෙමළ ජාතික සංධානයට ඉන්දියාවේ ආධාර ලැබෙනවා. ඉන්දියාවට අවශ්‍ය 2009 මැයි 21 වැනිදා අත්සන් කළ ට්‍රොයිකා ගිවිසුම ක්‍රියාත්මක කිරීමටයි. එනම් දහතුන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර 13+ සඳහා සාකච්ඡා ඇරඹීමය. එය තරමක කල් යන වැඩක් බව ඉන්දියාව දන්නවා. ඉන්දියාව එය අත්හරින්නේ නැහැ. මහින්ද ලවා හරි ඒ ක්‍රියාත්මක කරවීමට ඉනදියාව උත්සාහ කරාවි. එයට ඉඩ නොදීම සිංහල ජාතික ව්‍යාපාරයේ වගකීම. එහෙත් සිංහලයන් දන්නේ නැහැ දෙමළ ජාතිවාදය ඇරඹුණේ කෙසේ ද කියා. මා සිංහල දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටිනවා තමන් දන්නා පරිදි දෙමළ ජාතිවාදයේ සම්භවය විස්තර කරන්න කියා. සම්භවය නොදැන කිසිවක් කරන්න බැහැ. ඉන්දියාව අද දෙමළ ජාතිවාදය හරහා මෙරට පාලනය කරන්න සූදානම්. රෝ ඔත්තුකාරයන් ලංකාවේ කටයුතු කරන්නේ අද ඊයේ නො වෙයි. 



එංගලන්තයට අවශ්‍ය වෙනත් දෙයක්, ඔවුන් විසුරුණු දෙමළ කතාකර ජනතාව සිංහල බෞද්ධයන්ට එරෙහි ව යොදා ගන්නවා. හැකි නම් තවත් ප්‍රභාකරන් කෙනකු ඇති කිරීමට ඔවුන් කටයුතු කරාවි. විග්නේස්වරන් යැපෙන්නේ මේ විසුරුණු දෙමළ ජනයා හා ලංකාවේ වෙසෙන  ඔවුන්ගේ ඥාතීන් මත. ඔහුට උතුරේ යම් පිරිසක් සහාය දෙනවා. එහෙත් තවමත් දෙමළ ජාතික සංධානයට ඇති බලය ඔහුට නැහැ.



විග්නේස්වරන් දැන් බලය රස වින්ද අයෙක්. ඔහුට දිගින් දිගට බලය අවශ්‍යයි. ඔහු ඒ සඳහා දෙමළ ජාතික සංධානයට වඩා දෙමළ ජාතිවාදී වෙනවා. ඔහුට තවත් බලාපොරොත්තුවක් තියෙනවා.  ඒ ප්‍රභාකරන් වැන්නකු නැවත  ඇති කිරීමටයි. ඔහු බෞද්ධයන්ට බුදු පිළිම වහන්සේ නමක් වඩා හිඳුවන්න අවසර නොදෙන්නේ උතුර ඊනියා අනාගමික බව පවසන්නේ ඔහුගේ එංගලන්ත ගැති ක්‍රිස්තියානි සම්භවය මත පදනම් වී. බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ රනිල් තව ටික කලක් හිටියොත් එය විග්නේස්වරන්ටත් රුකුළක් වේවි.