Main Logo

Saturday 27 October 2018

සිරිජාතිකවාදියා ලියා දන්වන වග නම්

සිරිජාතිකවාදියා ලියා දන්වන වග නම්

මට අද කියන්න වැඩි දෙයක් නැහැ. මා කලින් ලියු ලිපි රාශියකින් දෙකක් පමණක් මෙයට අමුණනවා. අද සිට බොහෝ දෙනකු සිරිජාතිකවාදීන් වෙනවා. රනිල් තමා අගමැති බව කියනවා. 2015 ජනවාරි 09 වැනි දා දි මු ජයරත්න එසේ කීවේ නැහැ. රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රෝඩාතන්ත්‍රවාදයක්. ජනාධිපති තම මතය අනුව පාර්ලිමේන්තුවේ වැඩි බලය ඇති අය අගමැති ධුරයට පත් කර තිබෙනවා. එය 43 (3) වගන්තියට අනුව කර ඇත්තක්. රනිල්ට පුළුවන් නම් පාර්ලිමේන්තුවේ තමාට වැඩි බලයක් ඇති බව පෙන්වන්න. එය පාර්ලිමේන්තුව රැස් වු විටක කරන්න. එහෙත් ඔහුට එදින අගමැති පුටුවේ වාඩි වෙන්න බැහැ.

ව්‍යවස්ථා තත්වය  පිළිබඳ ව මා 2018 පෙබරවාරි 17 වැනි දා සහ 2017 නොවැම්බර් 25 ලියූ ලිපි දෙකකින් කරුණු පැහැදිලි වේවිි. අගමැති ධුරයෙන් ඉවත් කර ඇති රනිල් යන්න ඕන.



ව්‍යවස්ථා අර්බුදයක් නැහැ රනිල් ඉවත් කළ හැකියි

(2018 02 17)

සිංහල බෞද්ධ සංස්කෘතියේ ඉදිරිය පෙනෙන්නන්ට කල්පනා කරන්නන්ට එතරම් පිළිගැනීමක් නැහැ. පණ්ඩිතයට ඒදණ්ඩෙ යන්න බැහැ, ගඟ හත්හව්වක් තියෙද්දි අමුඩ ගහනව වැනි කතා අප අතර තියෙනවා. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය මොන තරම් අවුලක් මවල ද කියලා දැන් තේරෙනවා. අප ඒකට විරුද්ධ වන්න කියද්දි  සරත් වීරසේකර හා ජානක බණ්ඩාර හැර අනෙක් අය විවිධ හේතු නිසා එයට සහාය දුන්නා. පළාත් පාලන ආයතන මැතිවරණ පනතෙ 60-40 අනුපාත ක්‍රමය හා කාන්තා නියෝජනය හරිහැටි සූත්‍රගත කරලා නැහැ. අනුපාත ක්‍රමයට මන්ත්‍රී ධුර 40%ක් හිමිවන්න ඕන. ඒත් දැන් එය ගණනය කරන විධිය වැරදියි. අනුපාත නියෝජනත්වය ගණනය කරන්නෙ 40% ලෙස නොව 100% ලෙස. ඒ නිසා කොට්ඨාස ක්‍රමයට වැඩි මන්ත්‍රී ධුර දිනාගන්නා පක්‍ෂයට අවාසියක් වෙනවා.  25% කාන්තා අනුපාතය අනුව ඇතැම් පක්‍ෂවලට කාන්තාවන් කාලක් බාගයක් තෝරා ගන්න වෙන අවස්ථාවල මොකක් ද කරන්නෙ කියන එක නීතියේ සඳහන් වෙන්නෙ නැහැ. දැන් මැතිවරණ කොමිසම කතා කරනවා කාන්තා නියෝජනය සංශෝධනය කරන්න. එහෙම කළොත් (කරන්න පුළුවන් ද?) කාන්තා නියෝජන ප්‍රශ්න නිසා ප්‍රතික්‍ෂෙප කළ නාම යෝජනාවලට මොකද වෙන්නෙ. මහරගම නැවත ඡන්දය පවත්වනවා ද? අප කටයුතු කරන්නෙ හැඟීම්වලට මුල් තැන දීලා. කල්පනා කිරීම බොහොම අඩුයි.

පහුගිය කාලෙ තොරතෝංචියක් නැතිව අපි තරහයි නාට්‍යය ගැන කිවවා. මෛත්‍රිපාල එක්ක කිසිම ගණුදෙනුවක් නැහැ කියලා කිව්වා. ඡන්දෙන් පස්සෙ නාට්‍යය ඉවරවෙයි කියලා කිව්ව. මෛත්‍රිපාල විශ්වාස කරන්න බැරි පඹයකු කියා කිව්වා. මෛත්‍රිපාලට රනිල් ඉවත් කරන්න ශක්තිය ලබා දෙන්න කීමේ වරදට පඬි පෝතකයන් මට සමච්චල් කළා. අපට ඇත්තේ මෝඩ තර්ක ගොන් තර්ක කියලා පඬියන් කිව්වා. මා ඩීල් කාරයකු ගේම් කාරයකු කියා කිව්වා. දැන් බලන කොට නාට්‍යය නරඹමින් සිටි අය  නාට්‍යයෙ නළුවො වෙලා. මෙය ප්‍රේක්‍ෂකයන් නළුවන් බවට පත්වීමේ රංග ශෛලිය ද? නළුවො වෙච්ච ප්‍රේක්‍ෂකයො  මෛත්‍රිපාලත් එක්ක ගහ වටේ රවුමෙ යමින් ප්‍රේම ගීත කියනවා. නාට්‍යයක් නැහැ කියපු අප ශාලාව, ඉස්සර නම් නාට්‍ය මඩුව, ඇතුළටවත් ගන්නෙ නැහැ. යම් විධියකින් රනිල් දිගට ම හිටියොත් නළුවො ටික වේදිකාවෙන් බැහැලා කියාවි අපි කිව්වෙ මේක නාට්‍යයක් කියලා.      

අගමැති අස් නොවීම ගැන විවිධ කතා කියනවා. ඊනියා ජාතික ආණ්ඩුව නීත්‍යානුකූල නැහැ කියලා නීති විශාරදයො කියනවා. ඔවුන් කියන්නෙ එ ජා ප - ශ්‍රි ල නි ප ගිවිසුම අවලංගු නිසා ඊනියා ජාතික ආණ්ඩුව අහෝසි කියලා. ඒ නිසා අගමැතිත් අහෝසි කියලා. ඊනියා ජාතික ආණ්ඩුව පිහිටෙව්වෙ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙ 46(5) අනුව්‍යවස්ථාව යටතෙ. එහි කිසිම තැනක ගිවිසුමක් ගැන සඳහන් වෙන්නෙ නැහැ. කතානායකටවත් ජනාධිපතිටවත් එවැනි ගිවිසුමක් අදාළ වෙන්නෙ නැහැ. ඊනියා ජාතික ආණ්ඩුව නීත්‍යානුකූල නැති බව මා කියන්නෙ ගිවිසුමක් පිළිබඳ ප්‍රශ්නයක් නිසා නොව ශ්‍රී ල නි පක්‍ෂයක් පාර්ලිමේන්තුවෙ නියෝජනය නොවන නිසා. ඒ විධියට ම තමයි ඒකාබද්ධ විපක්‍ෂයවත් පොදුජන පෙරමුණවත් පාර්ලිමේන්තුවෙ නියෝජනය නොවන්නෙ. මේ ගැන මා කලින් ලියා තියෙනවා. ඒ ගඋන කවුරුවත් කතා කරන්නෙ නැහැ.

රනිල් ඉවත් කර අගමැති කෙනකු පත්කිරීම ගැන මා කියන්න වෙලා අවුරුදු තුනක් පමණ වෙනවා. අගමැති කෙනකු පත් කිරීම, ඉවත් කිරීම ගැනත් මා කතා කරලා තියෙනවා. මෑතක දි 2017 නොවැම්බර් 25 වැනි දා ආණ්ඩුව වෙනස් කළ යුතුය වෙනස් කළ හැකිය යන මැයෙන් මා ලියූ ලිපියක් හිරණ්‍යා මල්වත්ත මුහුණු පොතේ ඊයේ පළ කර තිබුණා. එයට කැමැති අය හිටියෙ දහදෙනකුට අඩුවෙන්. ඒ තමයි මුහුණු පොතේ තත්වය. දේශපාලනඥයන් ජනමාධ්‍යවේදීන් මුහුණු පොතේ පඬි පෝතකයන් මා ලියන කිසිවක් සතපහකට ගණන් ගන්නෙ නැහැ. 

අද අගමැති ඉවත් කිරීමේ ප්‍රශ්නයේ දී වැදගත් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 42(4), 43(3), 46(2) වගන්ති. 42(4) යටතේ ජනාධිපතිට තම මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසයක් උපරිම වශයෙන් ඇති මන්ත්‍රීවරයා අගමැති ලෙස පත්කරන්න පුළුවන්. මෙහි කොතැනකවත් සඳහන් වන්නේ නැහැ මෙය පාර්ලිමේන්තුව පත් වූ විගස පමණක් කළ යුතුය කියා. 2015 අගෝස්තු 17 මැතිවරණයෙන් පසු ඒ අවධියේ ජනාධිපති හිතන්න ඇති රනිල්ට තමයි පාරලිමේන්තුවේ උපරිම විශ්වාසය තියෙන්නෙ කියලා. එකල සංධානයත් දෙකට බෙදිලා. ජනාධිපතිට 42(4) යටතේ පුළුවන් ම්නෑම අවස්ථාවක තම මතය අනුව පාර්ලිමේන්තුවෙ උපරිම විශ්වාසය තියෙන අය අගමැති කරන්න පුළුවන්. අද තියෙන්නෙ 2015 අගෝස්තු 17 වැනි දා තිබූ තත්වය නොවෙයි කියලා ජනාධිපතිට කියන්න පුළුවන්. විශේෂයෙන් ම පෙබරවාරි 10 වැනි දාට පසු තත්වය වෙනස්. ඒ නිසා සංධානයේ (ශ්‍රී ල නි ප නොව) නිමල් සිරිපාල අගමැති කරනවා කියලා ඔහුට දිවුරුම් දෙන්න සලස්සන්න පුළුවන්. මෙහි දී නීතිපතිගෙන් කරුණු විමසීම මෝඩකමක්.

43(3) යටතේ ජනාධිපතිට ඇමති මණ්ඩලයේ සංයුතිය ඕනෑම අවස්ථාවක වෙනස් කළ හැකීියි. සංයුතිය යන්නට අගමැතිත් අයිතියි. එවැනි වෙනස්කිරීම් අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට (කන්ටින්‍යුටි) බල පාන්නේ නැති බව 43(3) ම සඳහන් වෙනවා. තරමක පරස්පරයක් පෙනෙන්න තියෙන්නෙ 46 (2) ඒ අනුව ඉල්ලා අස් නොවුණහොත් හරි මන්ත්‍රී ධුරය අහෝසි නූණොත් හරි මිසක් අමාත්‍ය මණ්ඩලය පවතින තාක් අගමැති තම තනතුර දරනවා. දැන් ප්‍රශ්නය වන්නේ අමාත්‍ය මණ්ඩලය පවතින තාක් යනු කුමක් ද යන්නයි. දැන් ගිවිසුම අහෝසියි ඒ නිසා ජාතික ආණ්ඩුව අහෝසියි ඒ නිසා අගමැති අහෝසියි යන තර්කය වලංගු වන්නේ නැහැ. ගිවිසුම අහෝසි වුණත් ආණ්ඩුව අහෝසි වන්නේ නැහැ. ඒ නිසා තර්කය එතැනින් එහාට යන්නේ නැහැ.

එහෙත් 43(3) යටතේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය එහි අඛණ්ඩතාවයට බලපාන්නෙ නැති විධියට වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නෙ එවිට අමාත්‍ය මණ්ඩලය පවත්නේ නැති බවයි. එවිට අගමැතිකම නැති වෙනවා. එමෙන් ම 42(4) යටතේ ජනාධිපතිට ඕනෑම අවස්ථාවක අගමැති කෙනකු පත් කරන්න පුළුවන්. මෙහි කිසිම ව්‍යවස්ථා අර්බුදයක් නැහැ. රනිල් හා නීතිඥයන් ව්‍යවස්ථා අර්බුදයක් මවනවා. ජනාධිපතිට දැන් සංධානයේ නිමල් සිරිපාල සිල්වා අගමැති ලෙස පත් කිරීමට කිසිම බාධාවක් නැහැ.



ආණ්ඩුව වෙනස් කළ යුතුයි වෙනස් කළ හැකියි

(2017 11 25)

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිට අගමැති වෙනස් කිරීමට නොහැකි ය කියන මතය බටහිර විද්‍යාව පට්ටපල් බොරුය කියන අර්ථයෙන් නොවූවත් පට්ටපල් බොරුවක්. අගමැති නොව අමාත්‍ය මණ්ඩලය ම වෙනස් කිරීමට ජනාධිපතිට පුළුවන්. මේ පිළිබඳ ව යමකුට දැන ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය කියවීමයි. මෙකල එය අමාරු වැඩක් නොවෙයි. ඕනෑම අයකුට එක්කෝ ව්‍යවස්ථාව නැත්නම් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය බාගත කරන්න පුළුවන්. එහෙත් බොහෝ දෙනා එසේ කරන්නේ නැහැ. මුහුණුපොතේ අයත් පඬි කටකතා කිසිම ඉවක් බවක් නැතිව ප්‍රචාරය කරනවා. ඔවුන් කම්මැලිකමට ව්‍යවස්ථාව බාගත කරගෙන කියවන්නේ නැහැ.

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය ද සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  42 (4) වගන්තිය අනුව ජනාධිපතිට තම මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් දිනාගත හැකි අය අගමැති වශයෙන් පත්කළ හැකියි. මෙහි වැදගත් වන්නේ තම මතය අනුව යන්නයි. පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයක් ඇත් ද නැත් ද යන්න මෙහි දී බලපාන්නේ නැහැ.

43 (3) වගන්තියට අනුව ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය හා අමාත්‍යවරුන්ට භාර විෂය වෙනස් කළ හැකියි. 43 (1) හා 43 (2) වගන්ති අනුව ඇමතිවරුන් පත් කිරීමේ දී අගමැතිගේ අදහස් විමසිය යුතු බවට සඳහනක් ඇති නමුත් 43 (3) එවැනි සඳහනක් නැහැ. සමහරවිට මෙය නීතිපති දෙපාර්තමේන්තුවේ කෙටුම්පතේ අතපසු වීමක් වන්න පුළුවන්. එසේ වුවත් 43 (3) අනුව ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කළ හැකියි. ඒ අගමැතිත් ඇතුළුව.

46 (2) හා 46 (3) වගන්ති අනුව අගමැති හා ඇමතිවරු ඉල්ලා අස් නොවුනහොත් හෝ අගමැතිගේ උපදෙස් මත ජනාධිපති අස් නොකළහොත්් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රින් ලෙස සිටින තාක්, යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේ ද එතෙක් අගමැති හෝ ඇමතිවරුන් හෝ ලෙස කටයුතු කරනු ඇත. මෙහි දී වැදගත් වන්නේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේ ද යන්නයි. 43 (3) වගන්තිය අනුව ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කළ හැකි බැවින් සංයුතිය වෙනස් කිරීමත් සමග අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම නැති වන බැවින් 46 (2) හා 46 (3) වගන්ති ජනාධිපති 43 (3) වගන්තිය යටතේ ක්‍රියාත්මක වන විට අදාළ වන්නේ නැහැ. මේ වගන්ති සංගත නැහැ. එහෙත් 43 (3) පැහැදිලියි.

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය කඩිමුඩියේ ගෙන ආ එකක්. එහි පරස්පර සාමාන්‍ය ප්‍රමාණයට වඩා තියෙනවා. ජනාධිපතිට 42 (4) හා 43 (3) අනුව ක්‍රියා කර අගමැතිත් අමාත්‍ය මණ්ඩලයත් වෙනස් කළ හැකියි. ඒ සඳහා අගමැතිගේ හෝ වෙනත් කිසිවකුගේ හෝ අදහස් වීමසීමක් අවශ්‍ය වන්නේ නැහැ.

ඒකාබද්ධ විපක්‍ෂය කියන ආකාරයට මෛත්‍රිපාල කණ්ඩායමට ආණ්ඩුවෙන් අස් වී ඒමට හැකි නමුත් මෛත්‍රිපාලට ජනාධිපති ලෙස රැඳී සිටීමට සිදුවෙනවා. එසේ නොකළහොත් රනිල් පළමුව වැඩ බලන ජනාධිපති වී පසුව ජනාධිපති වෙන්න පුළුවන්. එය අන්තිම භයානකයි. මෛත්‍රිපාල ජනාධිපති ලෙස සිටින තාක් ඔහුගේ කණ්ඩායම ආණ්ඩුවේ සිටින බව පිළිගැනීමට සිදු වෙනවා. මෙය තරමක ප්‍රශ්නයක්. එබැවින් ජනාධිපති කළ යුත්තේ අගමැති ඉවත්කර අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කර මහින්ද අගමැති ලෙස පත්කර සුදුසු අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමයි. එහෙත් ඒ සියල්ල කළ යුත්තේ මැතිවරණ සඳහා නොව, නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කිරීම, දහතුන්වැනි සංශෝධනය ඉවත් කරන තුරු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකිරීම සඳහායි. 

අද දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු ජාතික කොඩිය හා ජාතික ගීය සම්බන්ධයෙන් වහසි බස් දොඩනවා. මේ රනිල් අගමැති ධුරයේ සිටින නිසයි. ඒ අතර මේ ඊනියා ජාතික ආණ්ඩුව මෙතෙක් ඇති වූ දුර්දාන්ත ම ආණ්ඩැවයි.  මේ ඊනියා ජාතික ආණ්ඩුව වෙනස් කළ යුතුයි. වෙනස් කළ හැකියි. ඒ සඳහා 2020 තෙක් බලා ඉන්න අවශ්‍ය නැහැ. ව්‍යවස්ථානුකූල ව වෙනස් කළ හැකියි. ඉහත සඳහන් වගන්ති ගැන මා කලින් ද කියා තිබෙනවා. එහෙත් කිසිවකු ඒ ගණන් ගන්නේ නැහැ. 2020 තෙක් සිටිය යුතු ය කියන්නේ එ ජා ප හිතචතුන් දෙමළ ජාතිවාදීන් කසිකබල් මාක්ස්වාදීන් ඊනියා ලිබරලුන් පඬියන් සිවල් සාමාජිකයන් රාජ්‍ය නොවන ගැත්තන් ආදීන් බව පැහැදිලියි. අවාසනාව ජාතිකවාදීන් යැයි කියා ගන්නා අය ද මේ
කතාව විශ්වාස කිරීමයි.