Main Logo

Monday 21 June 2021

දිවයින හා ජාතිකවාද

 

දිවයින හා ජාතිකවාද

 

උපාලි පුවත්පත් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ව සිටි ජේම්ස් ලැනරෝල් මහතා මිය ගොස් ඇති බව මා දැන ගත්තේ අද උදේ දිවයින පුවත්පත කියවීමෙන්. ජේම්ස් ලැනරෝල් යනු කවුද කියා දිවයිනේ (ලංකාවේ) තියා අද උපාලි පුවත්පත් සමාගමේ වැඩ කරන බොහෝ දෙනකු නොදන්නවා ඇති. උපාලි පුවත්පත්වලට යම් ජාතිකත්වයක් දීමට ප්‍රධාන වශයෙන් කටයුතු කළ දෙදෙනකු හිටියා. එක් අයකු වූයේ ජේම්ස් ලැනරෝල් මහතා. අනෙක් තැනැත්තා එඩ්මන්ඩ් රණසිංහ මහතා. ලැනරෝල් මහතා පරිපාලන සේවයේ සිටි අයෙක්. ඔහු ජේ ආර් ජයවර්ධන යටතේත් සේවය කළා. එඩ්මන්ඩ් රණසිංහ මහතා කලකට පෙර එ ජා ප හිතවතෙක්. ඔහු සියරට පුවත්පතේ කතුවරයා ලෙසත් කටයුතු කර තියෙනවා.

 

එහෙත් මේ දෙදෙනාගෙන් කිසිවකුවත් එ ජා ප හරි ජේ ආර් හරි හෙංචයියන් වුණේ නැහැ. ජේ ආර්ගේ ජාතිද්‍රෝහි වැඩවලට විරුද්ධ ව ඔවුන් උපාලි පුවත්පත් මෙහෙයවූවා. විශේෂයෙන් ම දිවයින පුවත්පත එදා මෙදා තිබූ මෙරට ජාතිකත්වය පිළිබිඹු කරන එක ම පුවත්පත බවට පත්වූයේ ඒ දෙදෙනාගේ මෙහෙයවීමෙන්. එහෙත් අවාසනාවකට ඒ දෙදෙනා ආයතනයෙන් නික් ම යෑමෙන් පසු දිවයින තවත් කසිකබල් පුවත්පතක් පමණක් බවට පත් වී තියෙනවා. දි අයිලන්ඩ් තකතීරු මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ඉංගිරිසි කතා කරන කසිකබල් මධ්‍යම පංතියේ ගෞරවය දිනා ගැනීමට වෙහෙසෙනවා. අද ඉන්න බොහෝ ජනමාධ්‍යවේදීන් ඊනියා භෞතිකවාදීන්. ඔවුන් අපේ දැනුමට ගරහනවා.  මා ජනමාධ්‍යයෙන් ඈත් වීමට තීරණය කළා.

 

ලැනරෝල් හා රණසිංහ මහත්වරු ජාතිකවාදීන්. එහෙත් එයින් කියැවෙන්නේ නැහැ ඔවුන් මා දරණ මතය දැරුවා කියා. විවිධ ජාතිකවාදීන් අප අතර ඉන්නවා. ලැනරෝල් මහතාට විදුසර පුවත්පත අරඹා සිංහල ජාතියේ දරුවන් බටහිර විද්‍යාවට යොමු කිරීමට අවශ්‍ය වුණා. එහෙත් මා බටහිර විද්‍යාව ගැන දරණ අදහස් වෙනස්. මා බටහිර විද්‍යාව ගැන දරණ අදහස් සමග බොහෝ ජාතිකවාදීන් එකඟ වන්නේ නැහැ. ඔවුන් මට කැමති නැති බවත් මා දන්නවා. විශේෂයෙන් ම දත් දොස්තරලා හා නොදත් දොස්තරලා මට අකමැති පමණක් නොව මට විරුද්ධයි. එහෙත් මේ බටහිර වෙද මහත්තුරුන්ට කොවිඩ් 19 හමුවේ කර කියා ගන්න දෙයක්  නැති තැනකට පත් වෙලා.

 

ඔවුන්ගෙන් බොහෝ දෙනකු දන්නේ රට වහන්න කීමට පමණයි. රට වසා ආණ්ඩුවේ වියදම් අඩු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වැටුප යම් ප්‍රමාණයකින් අඩු කිරීමට මා යෝජනා කරනවා. බටහිර වෙද මහත්තුරුන් දන්නේ ප්‍රශ්නයක එක් පැත්තක් පමණක් බැලීමට. ඔවුන්ට සමස්තය පෙනෙන්නේ නැහැ. අඩු තරමෙන් රෝගියකුගේ සමස්තය දකින විධියක් දැනට බටහිර වෙදකමේ උගන්වන්නෙත් නැහැ. අද රටේ ඩොලර් හිඟයක් තියෙනවා. රුපියල්වලින් ගෙවන වැටුප අඩු කිරීමෙන් ඩොලර් ලබා ගන්න බැහැ. අප කපා දැමිය යුතු ආනයන මොනවා ද කියා බටහිර වෙද මහත්තුරු තම ජීවන ශෛලියෙන් උදාහරණ ගනිමින් පෙන්වා දෙනවා ද?

 

බටහිර විද්‍යාව තවත් දැනුම් පද්ධතියක් පමණක් බවත් එයින් ඊනියා සත්‍යයක් කරා යා නොහැකි බවත් මා කී විට ජාතිකවාදී දත් දොස්තරලා විරුද්ධ වුණා. ඊනියා විද්‍යාඥයන් ද විරුද්ධ වුණා. එහි ප්‍රතිඵලය වූයේ විදුසර මගේ ලිපි පළ කිරීම නැවැත්තීමයි. දිවයිනත් දි අයිලන්ඩ් පුවත්පතුත් ප්‍රබුද්ධ වී ක්‍රමයෙන් මගේ ලිපි පළ කිරීම නවතා දැමුවා.

 

සත්‍යය කරා යෑමට බැරි ප්‍රධාන කාරණය සත්‍යය කියා දෙයක් නොමැති වීමයි. මා එහෙම කියන විට සමහර ජාතිකවාදී බෞද්ධයන් ද විරුද්ධ වෙනවා. බුදු දහම සත්‍යයක් නො වේ ද කියා ඔවුන් අහන්න පුළුවන්. බුදු හාමුදුරුවන් ඊනියා සත්‍යයක් සොයා ගියේ නැහැ. ඇතැම් ජාතිකවාදීන්ට මනස කියා දෙයක් පවතිනවා. මනසක් කියා දෙයක් නැති බවත් එයත් මනසේ ම සංස්කරණයක් බවත් කී විට ඔවුන් ද්වේෂ සහගත වෙනවා. එහෙත් නිරුපාදිශේස පරිනිර්වාණයේ දී මනසට කුමක් සිදු වන්නේ ද කියා ඇසූ විට ඔවුන් නිරුත්තර වෙනවා. ඒත් ද්වේෂය නැති වන්නේ නැහැ. ඔවුන්ගේ සසර දික් වෙනවා. මනස මනසේ සංස්කරණයක් කියන්නේ දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේගේ ම නිර්මාණයක් කියන අයුරින් නො වෙයි.

 

බටහිර විද්‍යාවේ කෙරෙන්නේත් බොහොම සරල දෙයක්. ඒ කතන්දර හැදීමයි. කතන්දර හදන්නේ සාධාරණ සංසිද්ධිවලට. සිංහලයන් හදන්නේ පද. පදයක් හදන්නේ තනි සිද්ධියකට. එය සංයුක්තයි. සිද්ධි ගණනාවක් සලකා එහි ඇති පොදු ගුණය වියුක්ත ව ගෙන ඒ සඳහා වියුක්ත කතන්දර හැදීම බටහිර විද්‍යාවේ දී කෙරෙනවා. පද හදන්නෙත් කතන්දර හදන්නෙත් පළමු කරුණෙහි  සංයුක්ත වත් දෙවැනි කරුණෙහි වියුක්තවත්. පද කියන්නෙ බොරු. කතන්දර කියන්නෙ පට්ටපල් බොරු. අපට බොරු නොකියා ඉන්න බැහැ. එහෙත් මුසා නොකියා ඉන්න පුළුවන්. මුසා කියන්නෙ බොරුවල කොටසක්, අවශ්‍ය නම් උපකුලකයක්. ඊනියා මේසයක් පෙන්නලා මේක මේසයක් කීම මුසාවක් නො වෙයි. ඒත් බොරුවක්.   ඊනියා මේසයක් තියෙන තැනක මේසයක් නැහැ කීම මුසාවක්. එමෙන් ම බොරුවක්.

 

බටහිර විද්‍යාවෙ කතන්දර වැඩ කරන තාක් හරියන තාක් ඒ පිළිගැනෙනවා. සමහර අවස්ථාවල වැඩ නොකළත් පොදුවේ පිළිගැනෙනවා. නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ කතන්දරය එයට හොඳ ම උදාහරණයයි. කිසිම ග්‍රහ වස්තුවක් නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය අනුව චලනය වන්නේ නැහැ. ඒත් එය පිළිගැනෙනවා. පාසලෙහි විශ්ව විද්‍යාලයෙහි ඉගැන්වෙනවා. කොහොමටත් හරි යන තාක් කියන එකෙන් හරි කියල කියන්නෙ නැහැ. අද බටහිර වෙදකමට කොවිඩ් 19 රෝගයට හරි යන වැඩ කරන ප්‍රතිකාරයක් කර ගන්න බැහැ.

 

විවිධ මට්ටම්වල ජාතිකවාදීන් ඉන්නවා. සසරක් නැහැ කියන ජාතිකවාදීන් ද ඉන්නවා. මා කියන බුදුදහම පිළිගන්න කියා මා කිසිවකුටවත් කියන්නේ නැහැ. ඒ ඒ ජාතිකවාදීන් තම තම නැණ පමණින් කටයුතු කරනවා. විඥානය, විදස්සන, මනස දියුණු කිරීම, අත්හැරීම, නිවන ආදිය ගැන මගේ අදහස් බොහෝ ජාතිකවාදීන් පිළිගන්නේ නැහැ. මට අත්හැරීම කියන්නෙ දස්සන දෘෂ්ටි දැනුම් ආදිය ද අත්හැරීම. 

 


ජේම්ස් ලැනරෝල් මහතා දැනුම ගැන කතා කෙළේ නැහැ. එහෙත් ඔහු දැන සිටියා බටහිරයන් හා දෙමළ ජාතිවාදීන් රටේ ඉතිහාසය, ඊනියා නිජභූමි, මානව අයිතිවාසිකම් ආදිය ගැන මුසා බස් දොඩන බව.