Main Logo

Tuesday 1 June 2021

වයිරසය කටකතාව සකර්බර්ග් හා මොන්ටැනියර්

 

වයිරසය කටකතාව සකර්බර්ග් හා මොන්ටැනියර්

 

තවමත් ලෝකයේ වැඩිම වේගයකින් පැතිර යන්නේ කොවිඩ් 19 වයිරසයේ විවිධ ප්‍රභේද නොව කටකතා. කොවිඩ් වයිරසය පැතිර යෑමේ වේගයට වැඩි වේගයකින් ඒ සම්බන්ධ කතා පැතිර යනවා. අන්තර්ජාලය අද ඒ සඳහා උදවු වෙනවා. සකර්බර්ගේ මුහුණු පොත වෙනත් කිසිම පොතකට වඩා කියවනවා. කලක් මතයක් තිබුණේ වැඩියෙන් ම විකිණෙන හා කියවන පොත බයිබලය කියායි. අද මුහුණු පොතත් සමග බයිබලයට තරග කරන්න බැහැ. මුහුණු පොත නිර්මාණය කළ සකර්බර්ග් ලෝකය නිර්මාණය කළ දෙවියන් වහන්සේට ද වඩා බලවත් ද? පඬියකු අහන්න පුළුවන් සකර්බර්ග් ද දෙවියන් වහන්සේගේ නිර්මාණයක් නොවේ ද කියා. බෞද්ධයනට නම් දෙවියන් වහන්සේත් මිනිසුන්ගේ සංස්කරණයක්.

 

ඒ කුමක් වුවත් සකර්බර්ග් ක්‍රිස්තියානි නූතනත්වයේ දරුවෙක්. පාප් වහන්සේට විරුද්ධ ව පෝස්ටර පත්‍රිකා ඇල වූ මාටින් ලූතර්ගේ මී මුණුබුරෙක්. මුහුණු පොත ඔස්සේ ප්‍රචාරය වන කතා ගැන අපේ වැනි රටවල ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී සමාජය ම අසරණ වෙලා. මගේ වාසනාවකට මට මුහුණු පොත කියවන්න බැහැ. මියන්මාහි එය අහුරවලා. ඒත් මා ලංකාවේ ඇතැම් වෙබ් අඩවි බලනවා. ප්‍රවෘත්ති බලනවා අහනවා.

 

ලෝකයේ දැන් ව්‍යාජ වීරයන් වැඩියි. ඔවුන් ව්‍යාජ ප්‍රවෘත්ති පළ කරනවා. ඒත් බටහිර රටවල ප්‍රධානීන් දන්නවා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයෙහි ම සිටිමින් ව්‍යාජ ප්‍රවෘත්ති මවන්නත් හෙළිදරවු කරන්නත්. බටහිර රටවල් පෞද්ගලිකත්වයට ඉඩ දෙන අතර බටහිර ක්‍රිස්තියානි නූතනත්වය වෙනුවෙන් ඇතැම් අවස්ථාවල පෞද්ගලිකත්වය හිර කරනවා. බටහිරයන්  විද්‍යාවේ දී ද වෙනත් දැනුම් දී ද ඉතා සියුම් ආකාරයකට පෞද්ගලිකත්වය යොදා ගන්නවා.

 

පසුගිය තිස්වැනි දා අප මොන්ටැනියර්    නම් නොබෙල් ත්‍යාගලාභී ප්‍රංශ වයිරසවේදියා ගැන කිවුවා. ඔහු කියා තිබුණා එන්නත නිසා කොවිඩ් 19 වයිරස ප්‍රභේද තව තවත් ඇති වන්න පුළුවන් කියා. ලංකාවේ කිසිවකු ඒ ගැන පර්යේෂණයක් කර නැහැ. තිස්ස විතාරණටත් තිස්ස අත්තනායකටත් ඒ ගැන අන්තර්ජාලයෙන් එක විධියට දත්ත ලබා ගන්න පුළුවන්. අප සියලු දෙනා ම පාහේ කරන්නේ කාගේ හරි දැනුමක් පූනරුච්චාරණය කිරීම පමණයි. මොන්ටැනියර්  ගේ කතාව විශ්වාස කරන්න පුළුවන් මට්ටමේ එකක්. එන්නත නිසා හැදෙන ප්‍රතිදේහවලට ඔරොත්තු දෙන වයිරස ප්‍රභේද ඇති විය හැකි බවයි ඔහු කියන්නේ. අර දෙමුහුන් ප්‍රභේදය එවැන්නක් විය හැකියි.

 

එහෙත් ඒ කතාව බටහිර එන්නත් සමාගම්වලට ප්‍රශ්නයක්. ඔවුන් හරි ඔවුන්ට හිතවත් අය හරි ව්‍යාජ කතාවක් නිර්මාණය කර ඇති බව පැහැදිලියි. ඔවුන්ට අනුව එන්නත ගත් අය අවුරුදු දෙකක දී මිය යන බව මොන්ටැනියර්  කියා තියෙනව. එය මුසාවක් බව ඇසූ සෑණින් කියන්න පුළුවන්. පසුව මොන්ටැනියර්  ද ඒ මුසාවක් බව කියා තිබුණා. ඒ මුසාව ගොතන්නට ඇත්තේ ඔහුගේ වයිරස ප්‍රභේද කතාව සැකයට භාජනය කරන්න කියා මට හිතෙනවා. එවිට බටහිර විද්‍යාවේ ප්‍රධාන ධාරාවට එල්ලවන තර්ජනයක් යටපත් කරන්න පුළුවන්. ඒ මගේ හිතිවිල්ලක් පමණයි. මෙරට මොන්ටැනියර් ගේ  කිසිම කතාවකට එතරම් ප්‍රසිද්ධියක් ලැබුණේ නැහැ. අපට පොර කකා එන්නත ලබා ගන්න තියෙනවා. 

 

මෙරට බටහිර වෙද මහත්තුරු හා වෙද හාමිනේලා අපට මොනවා කියන්න හැදුවත් බටහිර වෙදකම තවම කොවිඩ් 19 ගැන මහා දෙයක් දන්නේ නැහැ. එහෙත් මෙරට ජනමාධ්‍ය තියෙන තාක් ඔවුන්ට ප්‍රශ්නයක් නැහැ. පීසීආර් + නම් රෝගියෙක් පීසීආර් - නම් සනීප වෙලා කියන්න ජනමාධ්‍යවේදීන් සෑදී පැදී ඉන්නවා. බටහිර වෙද කමට ජනමාධ්‍යවේදීන් මොන තරම් හයියක් ද? කවුරු හරි මට කියනවා ද සුව වී (පීසීආර් - වී) පන්සලට වැඩිය බද්දේගම සමිත හාමුදුරුවන් අපවත් වුණේ කොහාමද කියල. උන්වහන්සේගේ පක්‍ෂයේ නායක තිස්ස විතාරණට ඒ ගැන කියන්න තියෙන්නෙ මොකක් ද? උන්වහන්සේට වෙනත් ප්‍රභේදයක් වැළඳුනා ද?

 

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නි ආරච්චි කියා තිබුණා පීසීආර් + අයගෙන් රෝහල්වලට ඇතුල් කරන්න ඕනෙ සියයට විසිපහක් පමණ කියා. ඔය කතාව මුල ඉඳන් කිවුව නම් රෝහල්වල ඉඩ නැති වෙන්න යනවා වගේ කී කතා නවත්ත ගන්න තිබුණා. දැන් වන කොට ජනතාවගෙන් විශාල ප්‍රමාණයක් හිතන්නෙ පීසීආර් + නම් රෝගී කියල. ඒ ජනමාධ්‍යයට හා සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ විවිධ වර්ගවල වොයිස්කට්වලට පින් සිද්ද වෙන්න.

 

ඊයේ කොළඹ ආ රථවාහන ගැන යමක් කියන්න ඕන. වත්මන් ලංකාවේ පිරිමි සමස්තයක් ලෙස ගත්ත ම ව්‍යාජ වීරයන්. ඔවුන් පාසල් වියේ වීරකම් හැටියට දන්නේ බසයේ පා පුවරුවේ යෑම, දුවන බසයට නැගීම හරි ඉන් බැසීම හරි, පාසල් නොගොස් චිත්‍රපට බැලීම, පොලීසියට ගුරුවරුන්ට දෙමව්පියන්ට හොරෙන් සමාජ විරෝධී වැඩ කිරීම ආදියයි. පාසල් හැර යෑමෙන් පසුවත් ඔවුන්ගේ මනස නොවැඩී පාසල් මට්ටමේ ම තියෙනවා. ඇතැම් ස්ත්‍රීන්ට හිතෙන්නේ තමන් විවාහ වී ඇත්තේ වයසින් පමණක් වැඩි ළමයකු සමග කියා.

 

රැකියාවකට ගිය පසුත් අර ළමා ගති නැති වන්නේ නැහැ. ඔවුන්ට අද නම් සංචරණ නීතිවලින් රිංගා යෑම ලොකු දෙයක්. අධ්‍යාපනය විසින් ඔවුන්ගේ පෞද්ගලිකත්වය වර්ධනය කරලා. ඔවුන්ට රැක ගන්න ක්‍රිස්තියානි නූතනත්වයකුත් නැහැ. රටක් සමාජයක් ගැන හිතන්න අවශ්‍යතාවක් නැහැ. සාමූහිකත්වය නැති කරලා. අවශ්‍ය පාසල් මට්ටමේ වීරයන් වීම පමණයි. පොලීසියේ ඇස් වසා රවුමක් දාල එන එක කයිය ගහන්න පුළුවන් ලොකු වැඩක්. ඔවුන් යන්නේ අත්‍යවශ්‍ය තියා අවශ්‍ය ගමනක්වත් නො වෙයි. හුදෙක් ඊනියා වීර චාරිකාවක්. ඉන් සමාජයට වන අයහපත ගැන ඔවුන්ට කිසිම හැඟීමක් නැහැ. යාන වාහන තියෙන අය එසේ යද්දී යාන වාහන නැති අය හොර පාරවල යනවා. ඒ අය නම් සමහර විට කුලියක් හොයා ගෙන යනව වෙන්නත් පුළුවන්. අර වාහනවලින් ගිය ඇතැමුන් ගැන නම් අපට කීමට ඇත්තේ චී චී කැතයි යන්නයි. අර සින්දුවක තියෙන්නෙ දැන්වත් හැදෙන්නකෝ කියල. ඒත් කවුරු හරි කියන්න බැරි නැහැ ඔවුන් මැකුවත් හදන්න බැහැ කියල. පොලීසියට දෙයියන්නෙ පිහිටයි.