Main Logo

Saturday 26 June 2021

ගාලු පාරේ දමා ආ තානාපතිනිය විදුලකරට ගෙන ඒම

 

ගාලු පාරේ දමා ආ තානාපතිනිය විදුලකරට ගෙන ඒම

 

ඊයේ ලිපියේ මාතෘකාව වූයේ දුමින්ද හා තානාපතිනිය යන්නයි. එහෙත් බොහෝ දෙනා කියවා තිබුණේ දුමින්ද යන්න පමණයි. මෙරට සිංහලයන්ගේ සංයමය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඉක්මණින් නිගමනවලට ඒමට බොහෝ දෙනාට අවශ්‍යයි. දුමින්ද සිල්වාට සමාව දීම හරි ද වැරදි ද යන්න තීරණය කළ හැක්කේ නඩු විභාගය කියවීමෙන් පමණයි. හිරුණිකා ද වරක් පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ තම පියාට වෙඩි තැබුවේ දුමින්ද නොවන බවත් පළමුවෙන් වෙඩි තැබුණේ දුමින්දට බවත්. ඇයට අනුව දුමින්ද සිල්වාට මරණ දඬුවම නියම කෙරී ඇත්තේ මිනී මැරුම සැලසුම් කළාට. නඩු තීන්දුව සංගත නම් දුමින්දට සමාව දීම ප්‍රශ්නයක්. එහෙත් නඩු තීන්දුවෙත් පරස්පර ඇත්නම් සමාව දීම ප්‍රශ්නයක් නො වෙයි.

 

කෙසේ වෙතත් මට අවශ්‍ය වූයේ දුමින්දගේ සමාව සම්බන්ධයෙන් එක්සත් ජනපද තානාපතිනිය කරන මැදිහත්වීම අවධානයට ලක් කිරීමයි. තානාපතිනිය කොටි සංවිධානයේ කිහිප දෙනකු නිදහස් කිරීම සම්බන්ධයෙන් තම සතුට පළ කර තිබුණා. තානාපතිනිය කියන දේ ම ඊනියා සාම මණ්ඩලයේ ජෙහාන් පෙරේරාත් කියා තිබුණා. ඔහු ක්‍රිස්තියානි සංවිධානයක ප්‍රධානියෙක්. තානාපතිනිය සමග එකඟ වන්නන් බොහෝ දෙනෙකු සිංහල බෞද්ධ රාජ්‍යයකට විරුද්ධ අය.   මෙරට පඬියන් පඬිපෝතකයන් පඬිනැට්ටන් ආදීන් සිංහල බෞද්ධ රාජ්‍යයක් අපේක්‍ෂා කරන අය නො වෙයි. ඔවුන් මූලික වශයෙන් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ දාසයන්.

 

කිහිප දෙනකුට හැරෙන්න තානාපතිනිය අමතක වූයේ අප හැඟීම් මත පදනම් වන නිසා. ඇතැමකු තමන් තාර්කිකයන් කීවත් ඊනියා විද්‍යාත්මක විධික්‍රමය අනුගමනය කරන්නන් යැයි කීවත් ක්‍රියාත්මක වන්නේ හැඟීම් මත පදනම් වෙමින්. මා කියන්නේ අප තාර්කික හෝ න්‍යායික හෝ වීමෙන් පමණක් නිගමනවලට පැමිණිය යුතු ය කියා නොවෙයි. බුදු හාමුදුරුවන් කාළාම සූත්‍රයෙන් දේශනා කර ඇත්තේත් ඒ නිසාමත් නිගමනවලට නොපැමිණිය යුතු ය කියා.

 

අපට නිගමනවලට පැමිණීමට පළමු විවිධ පැතිකඩ බලන්න වෙනවා. මා වැඩ කරන්නේ මෙරට නැවත සිංහල බෞද්ධ රාජ්‍යයක් ඇති කිරීමේ අරමුණින්. සිංහල බෞද්ධ රාජ්‍යයක් ඇති කිරීම කියන්නේ බරකරත්තයෙන් ආපසු අනුරාධපුරයට යෑම නො වෙයි. සිංහල බෞද්ධ රාජ්‍යයේ ව්‍යුහය අනුව රාජසභාව හා සංඝයා වහන්සේ එක ට සිටිය යුතුයි. අද රාජසභාව පාර්ලිමේන්තුව බැවින් සංඝයා වහන්සේ පාර්ලිමේන්තුවට උපදෙස් දෙන ක්‍රමවේදයක් සකසා ගන්න ඕන. සංඝයා වහන්සේ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සම්ප්‍රදාය විරෝධීයි.

 

බද්දේගම සමිත හාමුදුරුවන් තමයි මේ සම්ප්‍රදාය මුලින් ම කැඩුවේ. උන්වහන්සෙත් තවත් භික්‍ෂූන් වහන්සේත් දේශපාලන පක්‍ෂවල සාමාජිකයන් වුණා. මෙය වරදක්. සංඝයා වහන්සේ කිසිම දේශපාලන පක්‍ෂයක සාමාජිකයකු වීම වරදක්. සංඝයා වහන්සේ දේශපාලන පක්‍ෂයක සාමාජිකයකු වූ විගස ගිහි බහුතරයකින් සමන්විත මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලයේ යටතට පත් වෙනවා. හෙළ උරුමය හා ජාතික හෙළ උරුමය සමිත හාමුදුරුවන්ගේ වැරදි ආදර්ශය තවත් ඉදිරියට ගෙන යමින් පාර්ලිමේන්තුවට හාමුදුරුවරුන් වැඩම කෙරෙවුවා. ඒ පක්‍ෂවලින් නොවූවත් අදත් අතන  මෙතන පනින රතන හාමුදුරුවන් පාර්ලිමේන්තුවේ. ගලගොඩඅත්තේ හාමුදුරුවන්ට පොරොන්දුවක් වී ඇත්නම් උන්වහන්සේට එපමණකින් සැනසෙන්න වේවි.      

 

සංඝයා වහන්සේ රාජසභාවට ධර්මයෙන් පමණක් නොව අර්ථයෙන් ද අනුශාසනා කළ යුතුයි. මේ අර්ථයෙන් යන්න වැදගත්. සංඝයා වහන්සේ ලෞකික දැනුමත් දැනගෙන ඉන්න ඕන. එයින් කියන්නේ සෑම භික්‍ෂූන් වහන්සේ නමක් ම සෑම ලෞකික දැනුමක් දැන සිටිය යුතු බව නො වෙයි. එහෙත් බටහිර ගණිතය බටහිර විද්‍යාව බටහිර ආර්ථික විද්‍යාව බටහිර දේශපාලන විද්‍යාව ඉගෙන ගත් භික්‍ෂූන් වහන්සේ වැඩ ඉන්න ඕන. පඬි නැට්ටකු අහන්න පුළුවන් පට්ටපල් බොරු ඉගෙන ගන්නෙ අහවල් දේකට ද කියල. ඉගෙන ගන්න ඕන එ පට්ටපල් බොරු කියල දැන ගැනීම සඳහා.

 

මා යෝජනා කරන්නේ ඊනියා භික්‍ෂු දේශපාලනයක් නොවෙයි. භික්‍ෂු දේශපාලනය යන්න අද පාර්ලිමේන්තු දේශපාලනය සමග බැඳිල තියෙන්නෙ. සුප්‍රසිද්ධ විද්‍යාලංකාර ප්‍රකාශය මා සඳහන් කරන සිංහල බෞද්ධ රාජ්‍ය සමග යම් තරමකින් බැඳිලා. භික්‍ෂූන් වහන්සේගේ දේශපාලනය පක්‍ෂ දේශපාලනයෙන් තොර වූවක්.

 

මා කවදාවත් කියා නැහැ ගෝඨාභය රාජපක්‍ෂ මෙරට සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවන බවක්. එහෙත් ඒ දිශාවට යෑමට යම් වැඩ පිළිවෙළක් මේ ආණ්ඩුවෙන් සකස් කර ගන්න බැරි නම් මා හිතන්නේ නැහැ දැනට තියෙන වෙනත් පක්‍ෂයකින් ඒ කර ගන්න පුළුවන් කියා. සජිත් රනිල් එක්ක ද සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවන්නෙ. එහෙමත් නැත්නම් චම්පක එක්ක ද? මාක්ස්වාදය යම්තමින් හරි ගෑවිච්ච දේශපාලන පක්‍ෂයකටත් සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවන්න බැහැ. ධනදාසලාට යටත්විජිතලාට ක්වොන්ටම් ජාගොඩලාට ඒබ්‍රහම් සුමන්දිරන්ලාට බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙන් පිට කිසිවක් නැහැ.

 

ජනාධිපතිතුමා මහානායක හාමුදුරුවරුන් මුණ ගැසීම සංචරණ සීමා නිසා නැවතිලා. ඒ හමුව තව තවත් වර්ධනය කර ගන්න ඕන. ඒ සඳහා සූම් සාකච්ඡා යොදා ගන්නා ක්‍රමයක් කල්පනා කරන්න ඕන. සංඝයා වහන්සේ අවසානයේ දී රාජසභාවට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න ඕන. විදේශීය තානාපති පතිනියන්ටත් දැනෙන්න අනුශාසනා කරන්න ඕන.