Main Logo

Friday 4 June 2021

සුද්දෝත්තමවාදය

 

සුද්දෝත්තමවාදය

 

අදත් මා ඉංගිරිසි පුවත්පතක ලිපියක් කියෙවුවා වයිට් සුප්‍රිමසි ගැන. එය සිංහලට පරිවර්තනය විය යුත්තේ කෙසේ ද යන්න ප්‍රශ්නයක්. එය මා නිතර කියන බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය නම් නො වෙයි. ලිපිය ලියා තිබුණෙත් ක්‍රීඩා සම්බන්ධයෙන්. විම්බල්ඩන් ටෙනිස් ක්‍රීඩාගාරයේ සිදුවන අකටයුතු ගැන එහි සඳගන් වුණා. විම්බල්ඩන් ටෙනිස් ශූරතාව දිනාගත් කළු ක්‍රීඩිකාවකට ක්‍රීඩාගාරයේ කැසිකිළි පහසුකම් නොදීම ආදිය ඇතුළු කරුණු කිහිපයක් එහි තිබුණා. වයිට් සුප්‍රිමසි යන්න ධවල ශ්‍රේෂ්ඨත්වය කියා පරිවර්තනය කරන්න පුළුවන්. අපි එයට සුද්දෝත්තමවාදය කියා කියමු.

 

අපට ඇති ප්‍රශ්නය ක්‍රීඩාවට පමණක් සීමා වූ එකක් නො වෙයි. අපේ මුළු ජීවිත පුරා ම ඒ ප්‍රශ්නය තියෙනවා. අද ඉංගිරිසි කතා කරන ලෝකයේ ලංකාව වගේ රටවල  ක්‍රිකට් ක්‍රීඩාව අංක එකට ඇවිල්ලා. මා හිතන්නේ ලංකාවේ සියලු පාසල්වල පාහේ ප්‍රධාන ක්‍රීඩාව ක්‍රිකට්. සමහර පාසල්වල රගර් හා ටෙනිස් ක්‍රීඩා ද තියෙනවා. බොහෝ දෙනකු පාපන්දු ක්‍රීඩාව කරන නමුත් ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට එතරම් තැනක් නැහැ. ලෝකයේත් වැඩියෙන් ම ක්‍රීඩා කරන්නේ පාපන්දු වෙන්න ඕන. එහෙත් අපේ ධුරාවලිය නියම කෙරුනේ එංගලන්තයෙන්.

 

එංගලන්තයෙත් පාපන්දු ක්‍රීඩාව තියෙනවා. වැඩි දෙනෙක් පාපන්දු ක්‍රීඩාව කරනවා. ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයන් එංගලන්තයෙනුත් බිහි වෙලා තියෙනවා. අපේ ධුරාවලිය අපට ලැබුනේ ප්‍රභූ පාසල් මගින්. ප්‍රභූ පාසල්වල පාපන්දු ක්‍රීඩාවට වැදගත් තැනක් ලැබුණේ නැහැ. වොලිබෝල්  ක්‍රීඩාව ගැන කතා කරල වැඩක් නැහැ. ඒ දවස්වල ගම්පහ වැඩියෙන් ම ප්‍රසිද්ධ වුණෙ වොලිබෝල් ක්‍රීඩකයන් නිසා. දැන් නම් කොවිඩ් නිසා. ඒක වෙන ම කරුණක්. මියන්මාහි ක්‍රිකට් නැහැ. පාපන්දු තමයි අංක එකට එන්නෙ. ඔවුන්ගේ ම පාපන්දු ක්‍රීඩාවකුත් තියෙනවා. ප්‍රභූන් නම් ගෝල්ෆ් ක්‍රීඩාවත් කරනවා.

 

තානාපති කාර්යාල සියල්ල ම කටයුතු කරන්නේ ඉංගිරිසි ආකෘතියක. ඇතැම් ලිපි ආරම්භ කරන්නේත් අවසන් කරන්නේත් එකම වාක්‍යවලින්. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කඩා වටුණත් ඉංගිරිසි කළමනාකරණය තව කාලයක් ලෝකයේ තියේවි. ඒ නිසා ම වෙනත් ව්‍යුහයක් ඇති කිරීම පහසු වන්නෙ නැහැ. මේ නූතනත්වය කියන සංකල්පය ඉක්මනින් ඉවත් කරන්න ඕන. ඉංගිරිසින් තම ආධිපත්‍ය යුගය නූතනත්වය ලෙස සැලකුවා. මේ නූතනත්වය කියන සංකල්පය දුර්වල නිසාම තමයි පසුගිය කාලයේ ඉතාමත් බංකොළොත් පශ්චාත් නූතනත්වය කියන සංකල්පය බිහිවුණෙ.

 

අප සුද්දෝත්මවාදයට දොස් කියන අතර ම ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් දැන් නම් හාවඩ් ප්‍රින්ස්ටන් එම්අයිටී ගැන ඉහළින් කතා කරනවා. ලන්ඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකයන්ට පමණක් නොව අර රාජකීය වෛද්‍ය සංගමයේ මේ රාජකීය වෛද්‍ය සංගමයේ  අධිසාමාජිකයන්ටත් ඉහළින් සලකනවා. ඉස්සර නම් නීතිඥයන් ගැනත් එසේ කතා කෙරුණා. දැන් ඒ ටිකක් අඩුයි. බටහිර වෙද මහතුන්ගෙ නම අග ඒ අධිකතා තියෙනවා ද කියා බලනවා. කවුරු හරි කියාවි ඒ ඉංගිරිසින්ගේ මට්ටම් ප්‍රමිතීන් ඉහළ නිසා කියා.

 

එහෙත් මෙහි ඇත්තේ මට්ටම පිළිබඳ කතාවක් නොවෙයි.  මේ සුද්දෝත්තමවාදයේ කොටස්. ඉංගිරිසින් පමණක් නොව එක්සත් ජනපදිකයන් ද තම විශ්වවිද්‍යාල පවත්වාගෙන යෑමේ දී පිටරැටියන් ලබා ගන්නවා. බොහෝ විට යුදෙවු සංස්කෘතියේ අයගේ උපකාරය ලබා ගන්නවා. රදර්ෆර්ඩ් නවසීලන්තයේ. ෆොන් නිවුමාන් හංගේරියේ. අයින්ස්ටයින් ගර්ඩල් ගැන කවුරුත් දන්නවා. ෆොන් නිවුමාන් මෙන් ම ඔවුන්ද යුදෙවුවන්. ඒ තමයි කළමනාකාරීත්වය.

 

ඉංගිරිසි කළමනාකාරීත්වය ක්‍රිස්තියානි නූතනත්ව යුගයේ ප්‍රධාන අංගය. මේ යුගය නූතනත්වය ලෙස නොව කළමනාකාරී යුගය ලෙස හැඳින්නුවත් කමක් නැහැ කියා හිතෙනවා. ඉංගිරිසින් කළු ක්‍රීඩකයන්ට ඉහළට යන්න දෙනවා. ශූරතා දිනා ගන්න ඉඩ දෙනවා. එහෙත් ක්‍රමය ඔවුන්ගේ. ක්‍රමයට ආවඩමින් රාජකීය සංගමය දෙස භක්තියෙන් හා ගෞරවයෙන් බලමින් සුද්දෝත්තමවාදය පරදවන්න බැහැ. විම්බල්ඩන් ඉහළින් සලකමින් කළු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කරන කෙණෙහිලිකම් ගැන කතා කිරීමෙන් එතරම පලක් නැහැ. ඒ විවේචන හමුවේ ඔවුන් තම ආධිපත්‍යය තබා ගැනීම සඳහා වෙනත් ක්‍රම සකසා ගනීවි.

 

ඉංගිරිසින් තම කළමනාකාරීත්වය යොදා ගන්නා ආකාරය ක්‍රිකට් ක්‍රීඩාවේ කුමාර් සංගක්කාර යොදා ගත් ආකාරයෙන් පැහැදිලි වෙනවා. සංගක්කාර ලංකාවේ බිහි වූ හොඳ ම ක්‍රිකට් ක්‍රීඩකයා යැයි කිසිවකු කියන එකක් නැහැ. එහෙත් එම්සීසී කට්ටිය ඔහුට සැලකුවේ ඉතාම ඉහළින්. ඉංගිරිසින්ට වෙනත් දේශපාලන බලාපොරොත්තු තියෙන්න ඇති. එහෙත් අද වන විට ඒ කඩ වෙලා. මට කියන්න අවශ්‍ය ඉංගිරිසින් පුද්ගලයන්  තම ක්‍රමය පවත්වාගෙන යෑමට යොදා ගන්නා ආකාරය.

 

ක්‍රීඩාවේ සුද්දෝත්තමවාදය බටහිර ක්‍රිස්තියානි කළමනාකාරීත්වයේ එක් පැතිකඩක් පමණයි. බටහිර දැනුමේ ආධිපත්‍යය පිළිගනිමින් ක්‍රීඩාවේ සුද්දෝත්තමවාදය පරාජය කරන්න බැහැ. බටහිර දැනුමේ ප්‍රධාන අංගයක් වනුයේ බටහිර විද්‍යාව. අද කොවිඩ් හමුවේ බටහිර විද්‍යා අසරණ වෙලා. එහෙත් ඉංගිරිසි කළමනාකාරීත්වය එය වහනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවත්වාගෙන යන්නේ ඉංගිරිසි කළමනාකාරීත්වය මගින්. කොවිඩ් 19 සඳහා ප්‍රතිකාරයක් තබා රෝගය හඳුනාගැනීම සඳහා හරිහමන් ක්‍රමයක්වත් නැතිවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අපට කළ යුත්තේ කුමක් දැයි කියනවා. පීසීආර් මගින් රෝගය හඳුනාගැනීමට නොහැකි වුවත් පීසීආර් + නම් රෝගී කියනවා. එය උස නම් සෙක්‍යුරිටි කීවා වගේ. එන්නත් දීම පාලනය කරනවා. චීනයත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකේ ලබා ගන්න ඕන. මෙරට ඉන්නා ඊනියා විශේෂඥයන් දන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිවේදන කියවීමට පමණයි.

 

ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ ලෝකයෙක්. ඒකෙ ලොක්කා කළු මිනිසකු වීම නිසා එහි වෙනසක් සිදුවන්නේ නැහැ. ආධිපත්‍යයේ අණ පිළිපදින තාක් ඔහුට ඒ නිලයේ රැඳී ඉන්න පුළුවන්. ඔය විවිධ ලෝක සංවිධානවල තනතුරු අපේ රටවලට ද ලබා දෙනවා. එහෙත් අපට ඒ සංවිධාන මෙහෙයවන්න බැහැ. අර සුවපතිගෙන් අහන්න. එතනත් තියෙන්නෙ ක්‍රීඩාවෙ වගේ ම සුද්දෝත්තමවාදය.