Main Logo

Sunday 27 June 2021

සුනිල් හා වයිමා

 

 

සුනිල් හා වයිමා

 

"කොරෝනා වසංගතයේ මෙරටින් තුරන් කරන්නේ කවදාදැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිශ්චිතව පැවසිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

 

එම පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසන්නේ එසේ කළ නොහැකි නම් කළ හැකි අයෙකුට රට බාර දී යන්නට යන බව ප්‍රකාශ කල යුතු බවයි.”

 

ඉහත සඳහන් ප්‍රවෘත්තිය පළ වූයේ වෙබ් අඩවියක. එය නිවැරදි ද කියා දැනට දැන ගැනීමට ක්‍රමයක් නැහැ. එහෙත් එය නිවැරදි වීමට ඇති ප්‍රධාන හේතුව එය ජ වි පෙරමුණේ ප්‍රකාශයක් යැයි සඳහන් වීමයි. අවුරුදු පනහකට වැඩි කාලයක් තිස්සේ ජ වි පෙ එක් පැත්තකින් ජනතාව බියෙන් මුසපත් කර ඝාතනය කරන අතර අනෙක් පැත්තෙන් ජනතාව හාස්‍යයෙන් මුසපත් කිරීමටත් කටයුතු කරනවා. කොරෝනා වසංගතය මෙරටින් තුරන් කරන්නේ කවදා දැයි ජනාධිපති නොකියන්නේ ඇයි? ඒ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් ද? ජනාධිපති වසංගතය තුරන් කරන දිනය නො දන්නේ ද? නැත්තන් දැන ගෙන නොකියන්නේ ද? පෙරේදා ජාතිය අමතා කළ කතාවේදීවත් ජනාධිපති ඒ දිනය කිවුවේ නැහැ. හඳුන්නෙත්තිට කියන්න පුළුවන් ද කොරෝනා වසංගතය මෙරටින් තුරන් කරන්න පුළුවන් දිනය දන්නා අයකු ගැන. ජනාධිපතිට පුළුවන් ඔහුට (ඇයට) රට භාර දීල යන්න.

 

මාක්ස්වාදී හැව සමාජයේ දක ගන්න පුළුවන්. ජාතිකවාදීන් යැයි කියා ගන්නවුන් අතරත් ඔවුන් ඉන්නවා. ඔවුන් අති පණ්ඩිත ආකාරයකින් මාර්ග සිතියම් ක්‍රම උපායන් ගැන කියවනවා. ඔවුන් ද විවිධ කතා කියමින් ජනතාව හිනස්සනවා. මේ අතර බැසිල් ආවම ඔක්කොම හරියනවා කියන අයත් ඉන්නවා. ඔය කියන බැසිල් කලින් හිටපු බැසිල් වෙන්න බැහැ. හිටපු බැසිල් පැරදිලා ගිය අයෙක්. මේ අලුත් බැසිල් කෙනකු වෙන්න ඕන. හිටපු බැසිල් මෙරට ආර්ථිකය හරි ගස්සලා නැති බවයි ඔවුන් කියන්නෙ. හිටපු බැසිල් ආර්ථිකය හදල තිබුණ නම්  අලුත් බැසිල්ට කරන්න දෙයක් තියෙන්න බැහැ. මෙරට ඉන්න ආර්ථික මහාචාර්යවරු ගැන මෙන් ම වෙනත් මහාචාර්යවරු ගැනත් මට හොඳ අවබෝධයක් තියෙනවා.

 

මේ කොයි කවුරුත් දත් දොස්තරලාත් නොදත් දොස්තරලාත් එක් අරමුණකින් ක්‍රියා කරනවා. ඒ තම තමන්ගේ අපේක්‍ෂකයා 2024 ජනාධිපති අපේක්‍ෂකයා කරන්න. ඒ කිසිවකුටවත් තම පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයකු විය හැකි වුණත් ජනාධිපති වෙන්න නම් බැහැ. ගෝඨාභය රාජපක්‍ෂ මෙරට ජනාධිපති කෙරුණේ සිංහලයන්ගේ ඡන්දවලින් බව අමතක නොකළ යුතුයි. සිංහලයන් ඔහුට ඡන්දය දුන්නේ යම් යම් බලාපොරොත්තු ඇතුව.

 

ඒත් ඔහු ජනාධිපති වී මාස කිහිපයකින් කොවිඩ් වසංගතය ආවා. කොවිඩ් එන විට සජිත් ජනාධිපති වෙලා හිටිය නම් මෙරට විසාලා මහා නුවරක් වෙලා හුඟක් කල්. කොවිඩ් ගැන මෙරට ඉන්න බටහිර වෙද මහතුන්ට කියන්න පුළුවන් දෙයක් නැහැ. ඔවුන් මූලික ව කියන්නෙත් අපි කියන එකමයි. පරෙස්සන් වෙන්න. ඒත් ඔවුන් අපට එහා ගොස් රට වහන්න ආදී කතා කියනවා. ඒ අතර මෙරට ඉන්න ඊනියා ආර්ථික විශේෂඥයන් කියන්නේ රට වහන්න එපා කියා. රට වැහුවොත් ආර්ථිකය කඩා වැටෙන බව කියනවා.

 

මා දන්නා පරිදි නම් ගෝඨාභය රාජපක්‍ෂ ආර්ථික විද්‍යාඥයකුවත් බටහිර වෙද මහතකුවත් නො වෙයි. ඔහු කටයුතු කරන්නෙ ඒ ඒ අයගෙන් උපදෙස් අරගෙන. ඊනියා සංචරණ සීමා පනවන්නෙත් වෙන අයගෙ උපදෙස් මත. ජනාධිපති හරි වෙනත් නායකයකු හරි කරන්න ඕන පළමු දෙය  උපදෙස් ගැනීමට සුදුසු අය පත් කර ගැනීම. මෙරට රාජ්‍ය සේවයේ නිලධාරි තන්ත්‍රය නිර්මාණශීලී නැහැ. ඔවුන් දන්නේ එක්කෝ කලින් කරපු විධියට කටයුතු කිරීම, එහෙම නැත්තන් වගකීම වෙනත් අයකුට පවරා වගකීමෙන් නිදහස් වීම. ඒත් ඉංගිරිසින්ගෙ කාලෙ කොවිඩ් තිබිල නැහැ. පහුගිය දෙයක් බලාගෙන දැන් ක්‍රියා කරන්න බැහැ. ඔය අතර රාජ්‍ය සේවයත් දේශපාලන වශයෙන් බෙදිලා. ඔවුන් සමහර දෙනකු තම දේශපාලන පක්‍ෂයට වාසි ගෙන දෙන ආකාරයට ක්‍රියාත්මක වෙනවා. තවත් සමහරු අනාගත පෞද්ගලික දේශපාලනයක් සඳහා සූදානම් වෙනවා.

 

කොවිඩ් මරණ වාර්තා කළ ආකාරය, පීසීආර් + අය ගණන් කළ ආකාරය (නැවතත් කියන්න ඕන පීසීආර් + අයකු කියන්නෙ අනිවාර්යයෙන් ම කොවිඩ් රෝගියකු නොවෙයි), ගැන හිතන විට බටහිර වෙද මහත්වරු සාමාන්‍ය පෙළ ගණිතයවත් හරියට දන්නවා ද කියන ප්‍රශ්නය ඇති වුණා. මේ අවුල්වලට හේතුව යම් දුරකට නිලධාරීන්. අපට විද්‍යාඥයන් වෙන්න බැරුව වගේ ම ඉංගිරිසි ක්‍රමයේ කළමනාකරුවන් වෙන්නත් බැහැ. සමහර නිලධාරීන් වුවමනාවෙන් ම අවුල් කරන්නත් ඇති. පීසීආර් පරීක්‍ෂාව එන්නත දීම කළමනාකරණය බටහිර වෙද මහතුනට වඩා හොඳින් හමුදාවට කරන්න පුළුවන්. එය තනිකර ම හමුදාවට භාරදුන්න නම් අවුල අඩුවෙන්න තිබුණා.            

 

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ජාතිය අමතා කළ කතාවේ දී යහපාලන කාලයේ ආර්ථිකය කඩා වැටුණු හැටි කිවුවා. අද වන විට සංචාරකයන් එන්නේ නැති තරම්. අපේ ආදායම අඩුවෙලා. ඒ අතර වියදම වැඩිවෙලා. පීසිආර් කට්ටල ගෙන්නන්න එන්නත් ගෙන්නන්න මුදල් ඕන. පීසීආර් + වෙන අය වැඩි වෙන විට ජීඑස්පී + නවත්තලා. ඒ නවත්තල තියෙන්නෙ දෙමළ ජාතිවාදය වෙනුවෙන් සිංහල බෞද්ධත්වයට විරුද්ධ ව.

 

අඩු ගණනෙ ලංකාවෙ එන්නත තවමත් දෙනවා. තව මාස තුනහතරක් ඉදිරියට දෙන්නත් සැලසුමක් තියෙනවා. ලෝකයේ සමහර රටවල එන්නත දීම නවත්තල.  යහපාලනේ සංචාරකයන්ගෙන් ලබා ගත් ඩොලර් තව ටිකක් ඉතුරු කරල ගියා නම් කොවිඩ් වසංගතයට මීට වඩා හොඳින් මුහුණ දෙන්න තිබුණා.

 

ඒත් මිනිසුන්ට ඒ කතාවලින් වැඩක් නැහැ. ඔවුන්ට අතීීතය ගැන කියල වැඩක් නැහැ. ඔවුන් හොඳ බෞද්ධයන් නූණත් හොඳ බෞද්ධයන් වගේ වර්තමානයෙහි ජීවත් වෙන්නෙ. අනාගතය ගැනත් හිතනවා. සජිත් හා ධනදාස බලන් ඉන්නෙ කොවිඩ් මගින් බලයට එන්න. අද ආණ්ඩුවට මුහුණ දෙන්න තියෙන ප්‍රශ්නය ආදායම අඩුවෙද්දි වියදම වැඩි වෙද්දි එදිනෙදා හම්බ කරන් කන ජනතාවට යම් යම් සහන දෙන්නෙ කොහොමද, කොවිඩ් පැතිරීම මර්දනය කරන්නෙ කොහොමද යන්නයි. එයට අතරමැදියන්ගෙ ප්‍රශ්නයත් එනවා. හංගල තියෙන පොහොර හාල් ගන්නෙ කොහොමද? ඒව බෙදා හරින්නෙ කොහොමද?

 

මේ සියල්ල ගැන ආණ්ඩුවට අලුතෙන් හිතන්න  වෙලා. විසඳුම් තියෙන්නෙ කාට ද? අලුත් බැසිල්ට ද පරණ විමල්ට ද සජිත්ට ද සුනිල්ට (හඳුන්නෙත්ති) ද (බන්දුලගෙ) වයිමට ද?   වයිමා අර දිනේ දන්නව ද?