Main Logo

Friday 25 June 2021

දුමින්ද හා තානාපතිනිය

 

දුමින්ද හා තානාපතිනිය

 

මා දුමින්ද සිල්වා දැක ඇත්තේ එක් දවසක් පමණයි. ඒ ඕඩෙ පන්සලේ (ශ්‍රී ලංකා විද්‍යාලය) පැවති උත්සවයකදි. ඒ උත්සවයට ඇල්ලෙ ගුණවංශ හාමුදුරුවොත් චම්පක රණවකත් සහභාගි වුණා. එදා මා දුමින්ද සමග වචන කිහිපයකට වඩා කතා කළේ නැහැ. ඉන් පෙරවත් පසුවවත් ඔහු සමග වචනයක්වත් කතා කර නැහැ.

 

දුමින්ද සිල්වාට ජනාධිපති සමාවක් ලැබිල. සමාව ගැන විවිධ අය විවිධ කතා කියනවා. සිංහලයන් තරම් සිද්ධි පාදක කතා හදන්න පුළුවන් පිරිසක් ලෝකයේ නැතිව ඇති. සිද්ධි පාදක කතාවක් යනුවෙන් මා හඳුන්වන්නේ යම් සිද්ධියක් තේරුම් ගැනීම සඳහා හදන සංයුක්ත  කතාවක්. ඒ කතා අර බටහිර විද්‍යාවෙ හදන සිද්ධි ගණනාවක යම් පොදු ගුණයක් සඳහා හදන වියුක්ත  කතාවලින් හාත්පසින් වෙනස්. සිංහලයන්ට වියුක්ත කතා හදන්න බැහැ. ඒ නිසා සිංහල විද්‍යාඥයන් බිහිවෙලත් නැහැ. විද්‍යාඥයන් බිහි නොවුණත් සංයුක්ත කතා බිහි වෙනවා. කිතුලට ගිය මිනිහටත් හොඳ කතාවක් තිබුණ.

           

දුමින්ද සිල්වට දුන් තීන්දුව ගැනත් විවිධ කතා තියෙනවා. උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ රන්ජන් රාමනායකත් දුමින්ද සිල්වට දුන් තීන්දුව ගැන කියා තියෙනවා. මෙරට අධිකරණ පද්ධතිය ගැනත් විවිධ කතා තියෙනවා. තීන්දු ලබා ගැනීම, තීන්දු වෙනස් කිරීම ආදිය ගැන විවිධ පුද්ගලයන් විවිධ කතා කියනවා. රන්ජන් රාමනායක ගැන විශ්වාසයක් තබා ඔහු කියන දේ මත පදනම් ව කටයුතු කරන එක කිසිම පද්ධතියක් සම්බන්ධයෙන් වුවත් මතභේදයට තුඩු දෙන ක්‍රියාවක්.

 

දුමින්ද සිල්වාට සමාවක් දෙන ලෙස ඉල්ලා මන්ත්‍රීවරුන් පිරිසක් ද මනෝ ගනේෂන් හා ඔහුගේ පක්‍ෂයේ අය ද පෙත්සම් අත්සන් කර තිබුණා. මනෝ ගනේෂන්ටත් ඒ සඳහා කතාවක් තිබුණා. එහෙත් වාර්තා වන ආකාරයට මනෝ ගනේෂන් එකී පෙත්සමෙන් තම අත්සන අස් කර ගෙන. එහෙත් පක්‍ෂයේ අනෙක් අය අත්සන් අස් කරගෙන නැති බවයි කියන්නෙ.

 

දුමින්ද සිල්වාට දුන් සමාව යුක්තියුක්ත කරන්න මට අවශ්‍ය නැහැ. ඒ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටි කොටි සංවිධානයේ කිහිප දෙනකු නිදහස් කෙරිලා. මේ සියල්ල දේශපාලන ක්‍රියා. ඒ ගැන පළවෙන්නෙත් දේශපාලන මත. එය එතරම් ප්‍රශ්නයක් නො වෙයි. ලංකාවෙ රටවැසියන්ට ඒ සම්බන්ධයෙන් තමන් දන්නා දෙයක් මත පදනම් වෙලා යමක් කියන්න පුළුවන්.

 

එහෙත් මේ ගැන මෙරට එක්සත් ජනපදවල තානාපති ටෙප්ලිට්ස් නෝනා ට්විටර් පණිවුඩ නිකුත් කරල. ඇයට අනුව කොටි සංවිධානයේ කිහිප දෙනකු නිදහස් කිරීම හොඳ වැඩක්. ඇය ඒ නිදහස් කිරීම අගය කරනවා. එහෙත් ඇයට අනුව දුමින්ද සිල්වාට සමාව දීම නීතිය බාල්දු කිරීමක්. එහෙත් ඇය කර ඇත්තේ තානාපති සේවය ගණිකා වෘත්තියේ යෙදවීමක්. ඇය තානාපතිනියක් ලෙස ඉන්න අතර අපේ දේශපාලන කටයුතු ගැන මත ප්‍රකාශ කරනවා. ඇගේ දේශපාලන මතය අනුව ඇයට කොටි ගැන හරි දුමින්ද ගැන හරි අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් ද?

 

මෙරට ඉන්න බටහිර රටවල තානාපතිවරු ඉන්දීය මහා කොමාසාරිස් ආදීන් හිතා ඉන්නේ මෙරට තම යටත්විජිතයක් කියා ද? මේ අය මෙරට දේශපාලනයට මැදිහත් වෙනවා. දේශපාලන තීන්දු ගැන විවෘත ව කතා කරනවා. මෙරට සිටින දෙමළ ජාතිවාදීන්ට, බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ගැත්තන්ට මේ ප්‍රකාශ කණට මිහිරක් ගෙන දෙනවා. බලන්න අහවල් ප්‍රජාතන්ත්‍රවාදී රටත් මේ වැඩේට විරුද්ධයි ආදී වශයෙන් කියනවා. ඒ පඬි නැට්ටන් කියන කතා පැත්තකට දාමු. ඔවුන් මෙරට දේශපාලනයට කිසිම බලපෑමක් කරන්නේ නැහැ.

 

එහෙත් මේ තානාපතිවරුන්ට තානාපතිවරියන්ට මහා කොමසාරිස්වරුන්ට මෙරට අභ්‍යන්තර දේශපාලන කටයුතුවල දී මැදිහත් වීමට දිගින් දිගට ම ඉඩ දෙන්නේ ඇයි? අප තරම් ඉංගිරිසින්ට නිවට වූ ජාතියක් ලෝකයේ තවත් නැති වෙන්න පුළුවන්. මොන මාධ්‍යයෙන් කෙරුණත් ඉංගිරිසි අධ්‍යාපනය විසින් අප නිවටයන් බවට පත් කරනු ලැබිලා. කැප්පෙටිපොළ පුරන් අප්පු ආදීන්ගෙන් පසුව විසිවැනි සියවසේ මුල අපට ලැබුණු ඊනියා නායකයන් අපට ඉංගිරිසින් ලබා දුන් නායකයන් මිස අපේ නායකයන් නො වෙයි. 

 

 ඔවුන් ඊනියා නිදහස ලබා ගත්තේ පෙත්සම් යැවීමෙන්. ඔවුන්ට අවශ්‍ය වූයේ ඉංගිරිසි රජු අපෙත් රජු ලෙස පිළිගන්නා ඩොමීනියන් නිදහසක්. අපට තවමත් ඉංගිරිසින් අපට දුන් ගෝල් කැන්ඩි නිගම්බු ආදී ව්‍යවහාරයන් වෙනස් කර ගැනීමට නොහැකි වී තිබෙනවා. අප සිංහලෙන් කතා කරන විටත් ඉංගිරිසි වචන හැකිතාක් යෙදා ගැනීමට උත්සාහ ගන්නවා. මේ දීන බව මා මියන්මාහි දකින්නේ නැහැ. මියන්මාහි මැනිං වෙළෙඳපොලවල් නැහැ. අවුං වෙළෙඳපොලක් නම් තියෙනවා.

 

අද මියන්මාහි පවතින ආණ්ඩුවේ තීරණ ගැන එහි එක්සත් ජනපද තානාපති තම අදහස් පළ කළොත් කුමක් වේදැයි මා කල්පනා කරනවා. අපේ රටේ විවිධ තානාපතිවරුන් විවිධ ක්‍රම මගින් රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම ඇඟිලි ගැසීම වහාම නවත්තන්න ඕන. අද මෙය කොවිඩ් වසංගතයටත් වඩා දරුණු ආකාරයකට ව්‍යාප්ත වෙනවා. ඉංගිරිසි ආණ්ඩුකාරයන්ගෙන් පසුවත් අග්‍රාණ්ඩුකාරයන් හා සේනානායකලා අතර තිබුණේ යටත්විජිත සම්බන්ධයක්. සෝල්බරි මෙරට අග්‍රාණ්ඩුකාරයකුට එහා ගිය කාර්යයන් ඉටු කළා. එංගලන්ත මහා කොමසාරිස්වරුන්ගෙන් ඉන්දීය මහා කොමසාරිස්ලා ද එක්සත් ජනපද තානාපතිවරු ද තම ඊනියා රාජකාරි ඉගෙන ගත්තා.

 

අප වහාම මේ ඇඟිලි ගැසීම් හා මැදිහත්වීම් නතර කිරීමට කටයුතු නොකළොත් අපට දෙයියන්ගෙ ම පිහිටයි.