Main Logo

Monday 7 June 2021

ඉංගිරිසි හා ඉංගිරිසි

 

ඉංගිරිසි හා ඉංගිරිසි

 

ඊයේ ලිපිය ගැන ප්‍රතිචාර රාශියක් ලැබී ඇති බව වාර්තා වෙනවා. අවුරුදු තිස්පහක පමණ කාලයක එකම චෝදනාවක් විවිධ ස්වරූපවලින් එල්ල වෙනවා. ඒ මා ඉංගිරිසි ඉගැන්වීමට විරුද්ධ බවත් එහෙත් මගේ දරුවන්ට පිටරට යවා උගන්වන බවත්. කොළඹ විශ්වවිද්‍යාලයේදීත් මේ චෝදනාව අසූවේ දශකයේ අගභාගයේ එල්ල වුණා. අසූවේ දශකයේ මුල ඒ චෝදනාව ඉදිරිපත වූයේ මා අනෙක් ළමයින්ට ඉංගිරිසි ඉගෙන ගන්න එපා කියමින් මගේ දරුවන්ට ඉංගිරිසි උගන්වන බව කියමින්.

 

මා ඊයේ ලිපියෙන්වත් එයට පෙරවත් ඉංගිරිසි ඉගෙනීමට විරුද්ධ වෙලා නැහැ. ඉංගිරිසි ඉගෙන ගත යුත්තේ ලෝකයේ ඇති විවිධ දැනුම් ලබා ගැනීමටත්, අපෙන් ලෝකයට නව දැනුමක් දීමටත්, ඉංගිරිසි පමණක් දන්නේ ය කියන සිංහලයන්ට බැණ වැදීමටත් බව මා දේශනවලදීත් කියා තිබෙනවා. ඒ එකක්වත් අවශ්‍ය නැති අය ඉංගිරිසි ඉගෙන ගත යුත්තේ ඇතැම් රැකියාවන්ට යෑමට අවශ්‍ය නම්.

 

රජයේ සේවයේත් විදේශ අමාත්‍යාංශයේ විවිධ තනතුරු සඳහා ඉංගිරිසි අවශ්‍ය වෙනවා. තවත් එවැනි අංශ රජයේ සේවයේත් ඇති. පෞද්ගලික අංශයේත් ඇතැම් රැකියා සඳහා ඉංගිරිසි අවශ්‍යයයි. එවැනි රැකියාවලට යෑමට බලාපොරොත්තු වන අය ඉංගිරිසි ඉගෙන ගන්න ඕන. එහෙත් එක් කාරණයක් කියන්න ඕන. ඔය ඇතැම් රැකියාවලට ඉංගිරිසි අවශ්‍ය ද යන්න ප්‍රශ්නයක්.

 

ඉංගිරිසි අවශ්‍ය රැකියාවල වුවත් ඒ රැකියාවල නිරතවූවන් එකිනෙකා සමග කතාබහ කරන්නේ සිංහලෙන්. අවුරුදු අසූවට පමණ අඩු අයට මනා  සිංහල දැනුමක් තියෙනවා. ඉංගිරිසියෙන් ම අධ්‍යාපනය ලබා ගෙදර ඉංගිරිසි කතා කළ අවුරුදු අසූවට වැඩි අයට නම් සමහර විට සිංහල ගැන එතරම් පරිචයක් නැති ව ඇති. ප්‍රභූ පෙළැන්තියේ ගෙවල්වල පෘතුගීසීන්ගේ පැමිණීමෙන් පසු කතාබහ කර ඇත්තේ පහත් පෘතුගීසි යැයි කියන උපභාෂාවකින්. ලන්දේසීන් පැමිණීමෙන් පසුවත් තත්වයේ වෙනසක් සිදු වී නැහැ. ඉංගිරිසින් පැමිණීමෙන් පසුවත් කලක යන තුරු අර පෘතුගීසිය ඇතැම් නිවෙස්වල භාෂාව වුණා. ඔස්මන්ඩ් ජයරත්න මා සමග කියා තියෙනවා ඔහුගේ දෙමව්පියන්ට පෘතුගීසි කතා කිරීමට හැකි වූ බව.

 

ලන්දේසීන් මෙන් ම ඉංගිරිසින් ද මුල දී පාසල් ඇති කෙළේ තම ආගම ප්‍රචාරය කිරීම සඳහා. ඉංගිරිසි සමයේත් 1830 පමණ වන තුරු පාසල් ඇති කෙළේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි, මෙතෝදිස්ත ආගම් ප්‍රචාරය කිරීම සඳහා. එහෙත් ඒ සාර්ථක වූයේ නැහැ. පෘතුගීසීන්ගේ කතෝලික ආගම වැළඳගත් ප්‍රමාණයවත් රෙපරමාදු ඇංග්ලිකන් මෙතෝදිස්ත ආගම් වැළඳ ගත්තේ නැහැ. කෝල්බෘක් කැමරන් කොමිසමේ නිර්දේශවලින් පසුවයි ඉංගිරිසින්ගේ සුළු තනතුරු සඳහා පුහුණු කිරීමට ඉංගිරිසි ඉගැන්වීම පටන් ගත්තේ. එවැනි සුළු තනතුරු සඳහා එංගලන්තයේ සිට ඉංගිරිසින් ගෙන්වනවාට වඩා ලංකාවේ පිරිසක් ඒ සඳහා පුහුණු කිරීම ලාබදායක බව කොමිසම තේරුම් ගත්තා. 

 

මැකෝලිගෙන් පසුව තමයි ඉංගිරිසින්ගේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ වෙනසක් සිදුවුණේ. ඔහු 1835 දී එකල ඉංගිරිසින්ගේ ඉන්දීය ප්‍රධාන නගරය වූ කොල්කතාවේ ඉංගිරිසි නිලධාරියකු ලෙස සේවය කර තියෙනවා. එකල තමයි ඔහු කියා ඇත්තේ හමෙන් දුඹුරු වුවත් ඉංගිරිසින් මෙන් හිතන පිරිසක් ඉන්දියාවේ බිහි කළ යුතු ය කියා. ඉංගිරිසි අධ්‍යාපන ප්‍රතිපත්තියට එය තවත් මානයක් එකතු කර තියෙනවා. ඉංගිරිසින් මෙන් හිතන පිරිසක් මෙන් ම ඉංගිරිසින් ගේ ආවතේව කරන නිලධාරි පිරිසක් බිහි කිරීම ඉංගිරිසි අධ්‍යාපනයේ අරමුණ වුණා. මේ අධ්‍යාපනය ඉංගිරිසි මාධ්‍යයෙන් ලබා දීම අනිවාර්ය වුණා.

 

ඉංගිරිසින් මේ කරුණු දෙකේ දී ම අසාර්ථක වුණා. ඉංගිරිසින් මෙන් හිතන පතන පිරිසක් ආසියාවේ හරි අප්‍රිකාවේ හරි බිහිකරන්න බැහැ. එය සංස්කෘතික ප්‍රශ්නයක්. චින්තනයේ ප්‍රශ්නයක්. ඉංගිරිසි චින්තනයට ටිකක් හරි ළඟාවෙන්න පුළුවන් තරමක වියුක්ත චින්තනයක් බ්‍රාහ්මණයන්ගෙන් උරුම කරගත් ඉන්දියාවට පමණයි.   අපට ඉංගිරිසින්ගේ මෙන් නිලධාරි පෙළැන්තියක් ද බිහි කර ගැනීමට නොහැකි වුණා. ඉංගිරිසින් ඉන්න විට හා ගොස් ටික කලක් යන තුරු සිවිල් සේවයක් (සීසීඑස්) ක්‍රියාත්මක වූ නමුත් අද වන විට ශ්‍රී ලංකා  පරිපාලන සේවය කඩා වැටිලා.

 

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරාගේ ඊයේ උපුටා දැක් වූ අතාර්කික ප්‍රකාශයෙන් මෙන් ම කොවිඩ් 19 සම්බන්ධයෙන් දිනපතා වෙනස් කරන නිරෝධායන නීති රීිතිවලින් ද පෙන්නුම් කරන්නේ එයයි. බටහිර චින්තනය කඩා වැටෙන විට එහි දුරවල පිටපත් වූ රටවල නිලධාරීන් අන්ත  අසරණ වෙනවා. දේශපාලනඥයන් ගන්නා තීරණ ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි ඔවුන් දන්නේ නැහැ. ඔවුන්ට පුළුවන් අතීතයේ එවැනි ප්‍රශ්නයක් ඇති වූ විට ඉංගිරිසින් ක්‍රියා කර ඇත්තේ කෙසේ දැයි සොයා බලා ඒ අනුව ක්‍රියාත්මක වීමටයි. එහෙත් අලුත් ප්‍රශ්නයක් ඇති වූ විට ඔවුන් අමාරුවේ වැටෙනවා.

 

මෙරට ශිෂ්‍යයන් ගණිත ගැටළු විසඳීමේ දී ද ඒ ක්‍රමය අනුගමනය කරනවා. මූලධර්ම වෙනුවට ඔවුන් හදාරන්නේ පසුගිය වසරවල ගණන් හදල තියෙන අන්දම. ඒ වගේ ගණනක් ආවොත් හදා ගන්න පුළුවන්. පොඩි වෙනසක් කළොත් ඉවරයි. අඹ ගෙඩි දහහතරක් අට දෙනකු අතර බෙදීමට ඇති ක්‍රම හා  පදනම් කර ගත හැකි මූලධර්ම වේ ද? අඹ ගෙඩි පිටින් බෙදිය යුතු බව සැලකිල්ලට ගන්න.

 

අපේ දරුවන් මූලික උපාධියට ඉගෙන ගත්තේ ලංකාවේ බව මගේ විරුද්ධවාදීන් කිසි දිනෙක පිළිගන්නා එකක් නැහැ. අපේ ගෙදර භාවිතාවන එකම භාෂාව සිංහලයි. අප හා දරුවන් කිසි දිනෙක එකිනෙකා සමග ඉංගිරිසියෙන් කතා කර නැහැ. දරුවන් උසස් පෙළ දක්වා ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන්.  ඔවුන් දැනට උතුරු අමෙරිකාවේ පදිංචියට ගොස් තිබෙන බව නම් ඇත්ත. එහෙත් මුණුබුරන් ද ගෙදර කතා කරන්නේ සිංහලෙන්. ඔවුන් සිංහලෙන් අසන ප්‍රශ්න හා ඔවුන් ලබන අධ්‍යාපනය ගැන පසුව විස්තර කරන්නම්.     

 

මෙරට අධ්‍යාපනයේ ප්‍රතිඵල තමයි මගේ ලිපියට ඊයේ ලැබී ඇති ඇතැම් ප්‍රතිචාර. ඒ අයට සිංහල ලිපියක් කියවා තේරුම් ගන්න බැහැ. ඊයේ මා කතා කෙළේ ඉංගිරිසි මාධ්‍යයෙන් ඉගෙනීම ගැන. එහෙත් පඬි නැට්ටන් කතා කරන්නේ ඉංගිරිසි ඉගෙනීම ගැන. මේ දෙක දෙකක් බව තේරෙන විධියට ලියන්න බැරි වීමට හේතුව මා ලබා ඇති අධ්‍යාපනය කියා කියන්නත් බැරි නැහැ.