Main Logo

Sunday 20 June 2021

නැගෙනහිර පර්යන්තය හා වාම දේශපාලනය

 

නැගෙනහිර පර්යන්තය හා වාම දේශපාලනය

 

කුම්බලා මාළු කෑවා නම් දිරවා ගනින් බළලෝ කියා කතාවක් තියෙනවා. ඒ අතර අනේ සකෝ බල ලෝ කියා කතාවකුත් තියෙනවා. දෙවැන්නෙන් කියන්නේ ශක්‍රයාට ලෝකය දිහා බලන්න කියා. මා හිතන්නේ කාලයකින් ශක්‍රයා තබා වයිමාවත් ලෝකය දිහා බලා නැහැ කියා. විජය ඇවිත් අවුරුදු දෙදහස් පන්සීයකට වැඩි වුණත් දිව්‍ය ලෝකයේ එය ඔවුන්ගේ දිනවලින් විසිපහක් පමණ. කොවිඩ් 19 ඇවිල්ල තාම තත්පර ගණනක් වෙන්න ඇති. ශක්‍රයා දැන් ම නම් බලන එකක් නැහැ. කොහොමටත් මිනිසුන් අධර්මිෂ්ඨ නම්  ශක්‍රයා බලන්නේ නැහැ. ලංකාවත් මුළු ලෝකයමත් අධර්මයෙන් වැහිලා. ශක්‍රයාට බැලුවත් නොපෙනෙන තරමට ලෝකය වැහිලා.

 

මෙරට වම්මු මිස වමක් නැති බව මා නිතර කියන කතාවක්. මේ කතාවට මෙරට වම්මු විරුද්ධයි. මෙරට වම්මු ඉන්නෙ මාක්ස්වාදී කම්කරු පංතියක නො වෙයි. එහෙම පංතියක් ලෝකෙ නැහැ. මෙරට වම්මු ඉන්නෙ මධ්‍යම පංතියෙ. සමහරු ඉහළ මධ්‍යම පංතියෙ තවත් සමහරු පහළ මධ්‍යම පංතියෙ. ඉංගිරිසියෙන් ලියන වම්මු හිතන්නෙ සජිත් හා විරුද්ධ පක්‍ෂය ටිකක් වමට බර වෙන්න ඕන කියල. ඒත් වමක් නැතිව බර වෙන්නෙ කොහාට ද?

 

මෙරට වමාලා වමක් නැතිවත් බොරු වාම දේශපාලනයක් ගැන කියවනවා. එහෙම කියවන දේශපාලන පක්‍ෂත් කිහිපයක් තියෙනවා. ජනතා විරෝධී පෙරමුණ හා කෙකරගාමීන් හැරෙන්න තවත් පක්‍ෂත් තියෙනවා. ඒ ඇතැම් පක්‍ෂ ජාතිකත්වයක් වෙනුවෙනුත් පෙනී ඉන්නවා. ජාතිකත්වය හා වාම කතා අතර සම්බන්ධයක් නැහැ. ජාතිකත්වයක් තියෙනව නම් වාම කතා තියෙන්න බැහැ. දැන් අර ඉංගිරිසියෙන් ලියන වමකු කියන්න පුළුවන් ජාතිකත්වය දක්‍ෂිණාංශික කියල.

 

ඉංගිරිසිය ෂේක්ස්පියර්ගෙ කාලෙ ඉඳන් හැඩ ගැහිල තියෙන්නෙ ද්විකෝටික න්‍යාය මත. ටු බී ඔර් නොට් ටු බී කියල හැම්ලට් නාට්‍යයේ හැම්ලට් කියනවා. ජීවත් වෙනවා ද මැරෙනවා ද? ඒක ද මේක ද? අපට නම් ඒකයි මේකයි දෙක ම තියෙනවා. අප කියනවා මැරි මැරී ජීවත්වෙනවා කියා. පුළුවන් නම් ෂේක්ස්පියරීය ඉංගිරිසියෙන් ඒ බව කියන්න. වම්මු මැරි මැරී ජීවත් වෙනවා. ඒ එක පැත්තක්. අනෙක් පැත්තට ජාතිකත්වය වාමාංශිකවත් දක්‍ෂිණාංශිකවත් වෙන්න ඕන නැහැ. ඉංගිරිසියෙන් ලියන වමාලාට ජාතිකත්වය ගැන එහෙම බලන්න බැහැ. ඔවුන්ට චතුස්කෝටිකය තේරෙන්නෙ නැහැ.

 

2024 ජනාධිපතිවරණ තරගය පටන් ගත්තෙ 2019 ජනාධිපතිවරණය පවත්වන්නත් කලින්. මගේ නම් බලාපොරොත්තුව වුණෙ 2019 ජාතිකත්වයට බර ආණ්ඩුවක් පිහිටුවා ගෙන 2024 දි ජාතිකත්ව ආණ්ඩුවක් පිහිටුවා ගන්න. ඒත් ජාතිකත්ව සමාජවාදීන්ට වුවමනා වුණෙ 2024 දි ජාතිකත්ව සමාජවාදී  ආණ්ඩුවක් පිහිටුවන්න. සමහර විට ඒ එක බලාපොරොත්තුවක්වත් ඉටු නො වෙන්න පුළුවන්.

 

වත්මන් දේශපාලනය කොවිඩ් විසින් අවුල් කෙරිලා. 2019 දි දේශපාලනය ගමන් ගත් මග නොවෙයි දැන් දේශපාලනය ගමන් කරන්නෙ. කොවිඩ් වයිරසය එතරම් ම බලවත්. මුළු ලෝකය ම අසමත් වෙලා. ඒ කියන්නෙ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය අසමත් කියන එකයි. පශ්චාත්නූතනත්වය නූතනත්වයට කලින් මිය ගියා. ඊනියා පශ්චාත්නූතනවාදීන් දැන් බෙහෙතකටවත් හොයා ගන්න බැහැ. මුළු ලෝකය ම අසමත් වෙලා ඉන්න කොට ලංකාව අසමත් වෙන එක පුදුමයකුත් නො වෙයි. ඒත් අපට මගක් නැතුවාත් නො වෙයි. ඒත් ඒ මග යෑමට වත්මන් සිංහලයන් කැමති වෙන එකක් නැහැ. ඉතා කෙටියෙන් කියනවා නම් ඒ මගට පිවිසෙන්න ඇතැම් වත්මන් මධ්‍යම පංතික ආකල්ප හා දැනුම් ඉවත දාන්න ඕන. ඒක සොතාපන්න වීමට සක්කායදිට්ඨි විචිකිච්චා සීලබ්බත පරාමාස හලනවා වගේ උත්තරීතර  නූණත් හැලීමක්.

 

ජාතිකත්ව සමාජවාදයත් හලන්න ඕන දෙයක්. පුනබ්භවයක් නැතැයි යන්න, සත්‍යයක් ඇතැයි යන්න ආදියත් හලන්න ඕන. ලෝකයේ ඇත්තේ බටහිර දැනුම් පද්ධතිය පමණක් ය යන්නත් හලන්න ඕන. ඒත් ගුණදාස අමරසේකරවත් එයට කැමති වෙන එකක් නැහැ. අපට මගක් ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියෙහි බවත් සිංහල බෞද්ධ නොවන්නට ද ඒ මග ගැනීමට සිදු වන බවත් කියන්න ඕන. අද මුළු ලෝකය ම අසමත් වෙලා තියෙන්නෙ ක්‍රිස්තියානි නූතනත්වය පසුපස ගිය බැවින්! එය ක්‍රිස්තියානි ආගම සම්බන්ධ කතාවක් නො වෙයි. ක්‍රිස්තියානි හා ක්‍රිස්තියානි නොවන සියල්ලන්ට ඒ මග යන්න වුණා. කිසිවකු ඒ ගැන විරුද්ධත්වයක් පළ කළේ නැහැ.  ජාතිකත්ව සමාජවාදය උස්සන්න ගිහින් ඒ සඳහා ජනාධිපති අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා කඩිමුඩියේ වැඩ කිරීමෙන් අද අර කුම්බලා මාළු කෑ බළලාගේ තත්වයට පත් වී තියෙනවා. දැන් එළඹෙන්නේ මැරි මැරී ජීවත්වෙන කාලයකට. අර තවත් සිංහල කියමනක් තියෙනවා ඉක්මන් කොටයි කියල.

 

ජාතිකත්ව සමාජවාදය හා කොවිඩ් විසින් අපේ බලාපොරොත්තුවටත් බාධා කෙරිලා. අනවශ්‍ය ප්‍රමාණයට ආණ්ඩුව විවේචනය කිරීමෙන් තම බලාපොරොත්තුව ඉටු කර ගැනීමට විවේචකයන් අසමත් වෙලා.  කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය  ගැන ඉන්දියාව තම ස්ථාවරය වෙනස් කර ගෙන නැහැ. නැගෙනහිර පර්යන්තයට මොක ද කරන්නෙ.