Main Logo

Monday 31 May 2021

ක්‍රිස්තියානි නූතනත්වය පැතිර වූ වයිරය හා වයිරස

 ක්‍රිස්තියානි නූතනත්වය පැතිර වූ වයිරය හා වයිරස


කොවිඩ් 19 නිසා වෙනත් බොහෝ දේ මගහැරෙනවා. නේස්බි සාමිවරයා එංගලන්තයේ සාමි මන්ත්‍රී මණ්ඩලය අමතා ලංකාව ගැන කළ කතාව එසේ  මගහැරුණු එකක්. පසු දවසක හරි ඒ ගැන කතා කරන්න ඕන. විග්නේස්වරන් උතුරට හා නැගෙනහිරට  ඉන්දියාවෙන් එන්නත් ඉල්ලපු කතාවකුත් තියෙනවා. ඔහුට කොහොම වෙතත් යාපනයට චීනෙන් එන්නත් ලැබෙන පාටයි. ඒත් විග්නේස්වරන්ට තම නිජ බිම වූ තමිල්නාඩුව අමතක කරන්න බැරි කම තමයිි ඒ සියලු කතාවලින් පෙන්නුම් කරන්නෙ.  කාබනික පොහොර කතාත් තියෙනවා. කිසිම පොහොරක් නැතිව වගා කරන අයත් ඉන්නවා. ගොම ටික, කොළ රොඩු ආදිය තමයි ඔවුන්ගේ පොහොර. මියන්මාහිත් එවැන්නන් ඉන්නවා. මී හරකුන් මෙන් ම එළ හරකුන් ද බැඳ නගුලෙන් සීසාන අයත් ඉන්නවා. ඒ ගැනත් ලියන්න ඕන. ඒ ගොවිතැනෙන් එතරම් අස්වැන්නක් නැතැයි කාට හරි කියන්න පුළුවන්. ඒ ගොවිතැනට එතරම් වියදමක් යන්නෙත් නැහැ. අප කුඩා කල පාසලේ ශෂ්‍ය මාරුව කියා ගොවිතැනක් ඉගෙන ගත්තා. එයින් පස සකස්වෙන බවත් ඉගෙන ගත්තා. පාසලේ ඉගෙන ගත් දේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් දේට වඩා රටට වැඩදායකයි. 


ඔය පාසල හා විද්‍යාලය අතර වෙනස මොකක් ද කියන එක මා පසුගිය දා දැනගත්තා. ඒ අර අභාවප්‍රාප්ත ආනන්ද ඩයස් ජයසිංහ මහතාගේ පොත කියවන අතර. ඒ මහතා මා කියන දේ ඒ අයුරින් ම කියා නැහැ. කොහොමටත් ඒ කතාවලට මගෙනුත් යමක් එකතු වෙනවා. අපි විශ්වවිිද්‍යාලයට යන එකට කියන්නෙ කැම්පස් යනවා කියලා. අපේ ශිෂ්‍ය අවධියෙ නම් කිවුවෙ වාසිටි යනවා කියලා. යුනිවර්සිටි කියන එක තමයි වාසිටි කියල කෙටි කෙරුණෙ. ඒ දවස්වල වාසිටි කොල්ලෝ වාසිටි කොල්ලෝ කියල බයිලාවකුත් තිබුණා. කොහොමත් වාසිටිය ම බයිලාවක් තමයි. ඒ අවස්වල වාසිටි සිලෙක්ටඩ් නැත්නම් විශ්වවිද්‍යාලයට තේරුණු අයගෙ නම් ඩේලි නිවුස් පත්තරේ පළ කෙරුණා. මා ඉංජිනේරු පීඨයට නොව විද්‍යා පීඨයට ඇතුල් වී ඇති බව දැන ගෙන කම්පා වූ අයත් හිටියා. මොනව කරන්න ද ඒ ඔවුන් ලබා උපන් හැටි තමයි. 


ඉතා කෙටියෙන් හරි පාසල හා විද්‍යාලය අතර වෙනස කියන්න ඕන. එක්සත් ජනපදවල (ඇමරිකාවෙ) විශ්වවිද්‍යාලයට යනවට කියන්නෙ කොලේජ් යනව කියල. එතකන් ඒ දරුවන් පාසල් යන්නෙ. ප්‍රාථමික පාසල, මධ්‍යම පාසල, උසස් පාසල කියල ශ්‍රේණි අනුව පාසල් වර්ග කෙරෙනවා. හයි ස්කුල් නැත්නම් උසස් පාසලෙන් පසු කොලේජ් නැත්නම් විශ්වවිද්‍යාලයට යනවා. ලංකාවෙ අපි සමහරු හෝඩියෙ ඉඳල ම කොලේජ් යනවා. 


අපේ කාලෙ උසස් පෙළ කියල විභාගයක් තිබුණෙ නැහැ. අපි පෙනී හිටියෙ විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට. ඒ ප්‍රශ්න පත්‍ර ලංකා විශ්වවිද්‍යාලෙ ප්‍රශ්න පත්‍ර. අප පෙනී සිටි පරීක්‍ෂණයට ප්‍රාරම්භ පරීෂණය නැත්නම් ප්‍රිලිමිනරි එක්සැමිනේෂන් කියලත් කිවුව. ඒ කියන්නෙ ලංකා විශ්වවිද්‍යාලයෙ ප්‍රාරම්භ පරීක්‍ෂණය.  වෛද්‍ය පීඨවලට ඇතුල් වීමෙන් පසු පැවැත්වෙන පළමු පරීක්‍ෂණයට කියන්නෙ සෙකන්ඩ් එම්බීබීඑස්  නැත්නම් දෙවැනි වෛද්‍යවේදී හා ශල්‍යවේදී පරීක්‍ෂණය කියා. එවිට පළමු පරීක්‍ෂණය කුමක් ද? ඒ තමයි එදා ප්‍රාරම්භ පරීක්‍ෂණය. අද නම් උසස් පෙළ පරීක්‍ෂණය. උසස් පෙළ පරීක්‍ෂණය සමත් වෙලා වෛද්‍ය පීඨයකට ඇතුල් වන අයකු පළමු පරීක්‍ෂණය සමත් වී අවසන්. වෙනත් සමහර පීඨවල නම් ඒ බව අමතක වෙලා. අපේ කාලෙ විද්‍යා පීඨයෙ පළමු පරීක්‍ෂණය වුණේ සාමාන්‍ය විද්‍යා යෝග්‍යතා පරීක්‍ෂණය. අද සමහර පීඨවල පළමු වසර පරීක්‍ෂණය නමින් හැඳින්වෙනවා. 


මේ සියල්ල පිටුපස ඉතිහාසයක් තියෙනවා. ඉංගිරිසින් ලංකාවේ ඇති කළ පළමු පාසල්වල අද කියන විධියට නම්  සාමාන්‍ය පෙළ දක්වා පමණයි වැඩිම වුණොත් ඉගැන්නුවෙ. පසු කලෙක සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පළමු වසර දෙක සමහර පාසල්වල පැවැත්වීමට කටයුතු කළා. එවැනි පාසල් විිද්‍යාලයීය ආයතන ලෙස හඳුන්වනු ලැබුවා. ඒ වසර දෙක විශ්වවිද්‍යාලයීය නැත්නම් විද්‍යාලයීය ස්වභාවයක් ගත්තා. ඒ වසර දෙක ඇති පාසල් තමයි විද්‍යාල ලෙස හඳුන්වනු ලැබුවේ. ඒ සමහර ශිෂ්‍යයන් කොල්කතා චෙන්නායි ආදී විශ්වවිද්‍යාලවලින් උපාධි ලැබුවා. 


උසස් පෙළ පංතිවල ලැබෙන අධ්‍යාපනය විශ්වවිිද්‍යාලවල ලැබෙන අධ්‍යාපන අච්චුවේ. උසස් පෙළ පංතිවල දේශන ක්‍රමය යොදා නො ගන්නවා වෙන්න පුළුවන්. එහෙත් අප බටහිරයන් ලෙස හිතන්න (හිතන්න නම් බැහැ, හිතනව වගේ හිතන්න) පුරුදු කෙරීම ආරම්භ වන්නේ උසස් පෙළ පංතිවල දී.  ඊනියා උගත් ගැමි තරුණ පරපුර වැඩි වැඩියෙන් බටහිරයන් වෙන්න හදනවා. තමන් බටහිරයන් මෙන් හිතනවා කියා හිතනවා.


අද මුළු මහත් සමාජය ම පිරිහිලා. මා කියන්නේ ලංකාවේ පමණක් නො වෙයි. මුළු ලෝකය ම ආධ්‍යාත්මික ව පිරිහිලා. අද කොවිඩ් ආරම්භය ගැන ලොකු කතාවක් තියෙනවා. එක්සත් ජනපදවලට අවශ්‍යතාවක් තියෙනවා කොවිඩ් චීනයේ ආරම්භ වූ බව පෙන්වන්න. ඔවුන් ඒ සඳහා විශාල උත්සාහයක් ගන්නවා. වෙනත් වයිරස ආරම්භ වන්නේ කෙසේ ද? ඒ කුමක් වුවත් කොවිඩ් 19 ආරම්භයේ දී ශ්‍රී පාද අඩවියේ වැඩ වසන භික්‍ෂූන් වහන්සේ නමක් ප්‍රකාශ කෙළේ මෙහි අමනුෂ්‍ය බලපෑමක් ඇති බවයි. අමනුෂ්‍යයන් වයිරය ආහාරය කරගෙන ජීවත් වෙනවා. අද ලොව පුරා ඇත්තේ වයිරය හා වයිරස. ලොව පුරා වයිරය පැතිරෙවුවේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයයි. වෙනත් වචනවලින් කියනවා නම් පහළොස්වැනි සියවසේ බිහි වූ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි  චින්තනයයි. 


අද එය කඩා වැටීමට එක් හේතුවක් වී ඇත්තේ වයිරයයි. අපට හිතන්න පුළුවන් පැතිරී ගොස් ඇති වයිරයත් සමග අමනුෂ්‍යයන් ශක්තිමත් වෙලා කියලා. අමනුෂ්‍යයන් වයිරසය ගෙනයනවා ද කියා මා ඇහුවෙත් සියලුම පඬියන් මට හිනහ වේවි. අප දන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ආශ්‍රිත බටහිර වෙදකම අනුව ස්පර්ශය වාතය ආදීයෙන් වයිරසය ව්‍යාප්ත වන බවයි. අප පංචෙන්ද්‍රිය ගෝචර උගතුන් බවට පත් වෙලා. ඒ වුණත් මා කෙතරම් කිවුවත් ඔය විද්‍යාඥයන් කියන අය තේරුම් ගන්නෙ නැහැ ගුරුත්වාකර්ෂණය පංචෙන්ද්‍රිය ගෝචර නොවන බව. ඔවුන් අඩු තරමෙන් වැටෙනවා කියන එක හා ඊනියා ගුරුත්වාකර්ෂණ බලය අතර ඇති වෙනසවත් තේරුම් ගන්නේ නැහැ. අමනුෂ්‍යයන් විශ්වාස නොකරන මේ විද්‍යාදාසයන් ගුරුත්වාකර්ෂණය විශ්වාස කරනවා. 


බටහිර ක්‍රිස්තියානි නූතනත්ව දැනුම බෙදා දෙන අධ්‍යාපනය විසින් අප අතර තරගය වයිරය වැඩි කරලා. අපට පින් පවු තේරෙන්නේ නැහැ. සසරක් ගැන විශ්වාසයක් නැහැ. අප ලස්සනට ජීවත් වෙන්න ඕන නිසා ජීවිතයේ ගොඩ ඒමට ඕන නිසා ඉගෙන ගන්නවා. පවුල් පවුල් අතර අධ්‍යාපන තරගයක් ඇති වෙලා. බටහිරයන්ගේ රුකඩ වීම නිසා අප වයිරය හා වයිරස පතුරවන්නන් බවට පත් වෙලා. 


කොවිඩ් සඳහා එන්නත ලබා ගන්න. ඒ සමග විවිධ දේශීය ප්‍රතිකාරවලට ද තැනක් දෙන්න. ඒ අතර මෛත්‍රිය වඩන්න. වයිරය වෙනුවට මෛත්‍රිය වැඩීමෙන් අමනුෂ්‍යයන්ගේ ශක්තිය අඩුකරන්න පුළුවන්. ඔවුන් දුර්වල කරන්න පුළුවන්. මා විද්‍යාදාස කියා කියන්නේ වයිරයෙන් නො වෙයි. දාසයන්ට අනුකම්පා කරනවා මිස වයිර කරන්නේ නැහැ. බෞද්ධ විද්‍යාදාසයන් බුදුහාමුදුරුවන් අමනුෂ්‍යයන් ගැන දේශනා කර ඇති දේ කියවනව නම් ලෝකයට යහපතක් වේවි.