Main Logo

Monday 10 May 2021

අපි වෙනුවෙන් බටහිර වෙද මහතුන් නැහැ

 

අපි වෙනුවෙන් බටහිර වෙද මහතුන් නැහැ

 

ඉස්සර පළපුරුදු රියැදුරන් කියන කතාවක් තිබුණා. තමන් රිය පදවන්න ඕන ඉස්සරහින් එන රියැදුරා වැරැද්දක් කරන්න එන්නෙ කියල හිතාගෙන. ඒකෙ තේරුම අපි පුළුවන් තරම් පරෙස්සම් වෙන්න ඕන කියන එක. අපේ වැරැද්දක් නැතත් ඉස්සරහින් එන රියැදුරා වැරැද්දක් කළොත් අපිටත් ගැලවීමක් නැහැ කියන සිතුවිල්ලෙලන් රිය පදවන්න ඕන.  මා හිතනවා මේ කොවිඩ් කාලෙ අපි ජීවත් වෙන්න ඕන ඒ වගේ සිතිවිලි එක්ක. අප හමුවෙන තැනැත්තාට කොවිඩ් තියෙන්න හොඳට ම ඉඩ තියෙනවා කියල හිතා ගෙන.

 

හොඳ ම දේ තමයි වෙනත් අය හැකි තාක් හමු නොවී සිටීම. ඒත් අප රැකියා කරන්න ඕන. අද රැකියා නොකර ජීවත් වෙන්න බැහැ. මියන්මාහි නම් තත්වය එතරම් නරක නැහැ. මිනිසුන් රැකියා නැතිව ජීවත් වෙනවා. තම දෙමවුපියන් බලා ගැනීමට සිදු වුණොත් රැකියාවෙන් අස්වෙලා යනවා. අපට එහෙම කරන්න බැහැ. මියන්මා මිනිසුන් අප තරම් දියුණු නැතිව ඇති.

 

රට වහන්න කියන එක ස්ථිර මාසික වැටුපක් ලබන්නවුන්ට ඉතා පහසුවෙන් කියන්න පුළුවන්. එහෙත් ස්ථිර රැකියාවක් නැති අය රට වැහුවොත් මොනව කරන්න ද? රට වැහුවොත් නොවෙයි ගමක් ප්‍රදේශයක් පොලිස් වසමක් හුදකලා කරත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මෙරට මධ්‍යම පංතියේ සාක්‍ෂරතාව වැඩි වෙන්න පුළුවන්. ඔවුන්ට කියවන්න පුළුවන්. ඒත් ඔවුන්ට තේරුම් ගන්න බැහැ. හිතන්න බැහැ. ඒ අපේ අධ්‍යාපනයේ සාර්ථකත්වය. අපට මුල ධර්ම අනුව නම් හිතන්න කොහොමටවත් බැහැ.

 

මූල ධර්ම අනුව හිතන එක බටහිර අධ්‍යාපනයෙ තියෙන එක අංගයක්. ග්‍රීකයන් තමයි ඒකෙ මුල ඉන්නව කියල දැනට හිතන් ඉන්නෙ. ඔවුන් ස්වසිද්ධිමය ක්‍රමය ලෝකයට හඳුන්වාදුන් බවයි කියන්නෙ. බටහිර ගණිතය මේ ස්වසිද්ධිමය ක්‍රමය මත පදනම් වුණු දෙයක්. වෛදික ගණිතය එහෙම නො වෙයි. වෛදිකයන්ට ජ්‍යාමිතියක් ගොඩනගා ගන්න බැරි වුණු ප්‍රධාන හේතුව එයයි. වෛදිකයන් ජ්‍යාමිතියක් නැතිව ත්‍රිකෝණමිතියක් සංස්කරණය කළා, ගොඩනගා ගත්තා.

 

මධ්‍යම පංතික උගතුන් කියන අයට අහන්න පුළුවන් අර රටේ මෙහෙම කරා නම් අපේ රටේ එහෙම කරන්න බැරි ඇයි කියල. රටවල් ඔක්කොම එක වගේ නම් එහෙම අහන එකේ වැරැද්දක් නැහැ. ඒත් ඕස්ත්‍රේලියාවෙ රට වැහුව ම ආණ්ඩුව ස්ථිර රැකියා නැති අය සියල්ලන්ට දිමනාවක් දෙනවා. අපට ඕන වුණත් එහෙම කරන්න පුළුවන් කියා මා හිතන්නෙ නැහැ. දැන් බලන්න දඹුල්ල වෙළෙඳ මධ්‍යස්ථානය වැහුව ම සිද්ධ වෙලා තියෙන දේ. ගොවියන්ට තම එළවළු විකුණ ගන්න බැහැ. ආණ්ඩුව ඒ අයගෙ එළවළු මිළ දී ගන්න ක්‍රමයක් හැදුව නම් හොඳයි. ඒත් ලංකාවෙ නිලධාරි තන්ත්‍රය ක්‍රියාත්මක වෙන ආකාරයට ඒ වගේ දෙයක් එක දවසකින් කරන්න බැහැ. නිලධාරි තන්ත්‍රය ක්‍රියාත්මක වෙන විට එළවළු කුණු වෙලා. ඒත්  දැන්වත් ඒ ගොවීන්ට සෙතක් සලසන්න පුළුවන් නම් හොඳයි. ඒකට පෝර්ම විස්සක් විතර පුරවන්න වෙනව නම් සහතික දහයක් විතර ගන්න වෙනව නම් ඒකෙනුත් වැඩක් වෙන්නෙ නැහැ.

 

අප කැමති වුවත් අකමැති වුවත් අපට හඳට රොකට් අරින්න බැහැ. හඳට රොකට් අරින්න පුළුවන් ඉන්දියාවට වුණත් අද වන විට කොවිඩ් පාලනය කරන්න බැහැ. අපට අවශ්‍ය එන්නත් මිළ දී ගන්න රටවල් හොයා ගන්න ඕන. අප එන්නත හදන්නෙ නැහැ. චීනය උදවු කරාවි ද දන්නෙ නැහැ.  සජිත්ට දුරකතනයෙන් විවිධ රටවල තානාපතිවරුන්ට කතා කරල මාධ්‍ය ප්‍රචාරයක් ලබා ගන්න පුළුවන්. ආණ්ඩුවත් හැම රටකට ම වගේ කතා කරල තියෙනවා. සජිත් කතා කරනකම් ආණ්ඩුව බකංනිලාගෙන හිටියෙ නැහැ. කතා කළ පලියට ආණ්ඩුව ප්‍රචාරය දෙන්නෙ නැහැ. තානාපති කෙනකු හැටියට මට සමහර තොරතුරු ලැබෙනවා. එන්නත නිපදවන රටවල් තියෙන්නෙ ටිකයි. අද එන්නත ඕන රටවල් ඒ වගේ විසි තිස් ගුණයක්වත් වෙන්න ඕන. ඒ හැමෝමත් වගේ එන්නත බලාපොරොත්තු වෙනවා.

 

අපි වෙනුවෙන් අපි තමයි හොඳ ම ප්‍රතිපත්තිය. අනෙක් තැනැත්තාට කොවිඩ් කියල හිතාගෙන වැඩ කරමු. ඉස්සරහින් එන රියැදුරා වැරැද්දක් කරන්න ඉඩ තියෙනවා. අපි ඒ කතාව හිතට ගනිමු. හැකි තාක් අපේ ගමන් බිමන් අඩු කරමු. උත්සව සාද අවශ්‍ය නැහැ. ක්‍රීඩා තරග බලන්න යන්න අවශ්‍ය නැහැ. තරග පැවැත්තුවත් ගෙදර ඉඳන් තරග බලමු. අපි තාක්‍ෂණය යොදා ගනිමු. අප බටහිර දැනුම ප්‍රතික්‍ෂෙප කරන්නෙ නැහැ. බටහිර දැනුම් ආධිපත්‍යයටයි විරුද්ධ වන්නෙ. සාක්‍ෂරතාව ඇති උගත් මධ්‍යම පංතියට ඒ පොඩි කතාව තේරෙන්නෙ නැහැ. ඒ ඔවුන්ගේ උගත්කමේ තරම. ඔවුන්ට අවුරුදු තිස්පහක් තිස්සෙත් ඒ පොඩි කතාව තේරුම් ගන්න බැරි වෙලා.

 

බටහිර වෙද මහතුන් අපට කියන්නෙත් අපි කියන ටික ම පමණයි. ඔවුන්ට පුළුවන් ද කොවිඩ්  රෝගියකු හඳුනාගන්න විධිය සරල ව කියන්න. අර පීසීආර් කතාව නම් කියන්න එපා. පීසීආර් + කියන්නෙ රෝගියකු හඳුනාගන්න ක්‍රමයක් නො වෙයි. 

 

අප සතුව තියෙන සම්පත් කොවිඩ් මර්දනයේ දී ප්‍රයෝජනයට ගන්නෙ නැත්තෙ ඇයි? අපට කොවිඩ් 19 සඳහා ප්‍රතිකාර තියෙනවා. බටහිර වෙද කමේ නම් ප්‍රතිකාර නැහැ. ඒත් අප අපේ දැනුම පැත්තකට විසි කරලා. එය මිථ්‍යාවක් කියන්න බටහිරයන් උගන්නලා. අපේ ඊනියා උගත්තු ඒක විශ්වාස කරනවා. කොවිඩ් 19 පළමු රැල්ල කියන එක පාලනය කිරීමේ දී හමුදාවට අමතරව ආධ්‍යාත්මික පැත්තත් අප සැලකිල්ලට ගත්තා. හාමුදුරුවරු පිරිත් දේශනා කළා. දේශීය ප්‍රතිකාර ක්‍රම යොදා ගත්තා. එහි සාර්ථකත්වයක් තිබුණ. වාසනාවකට එකල බටහිර වෙද මහතුන්ට එතරම් බලපෑමක් කරන්න බෑරි වුණා.

 

එහෙත් අද තත්වය වෙනස්. බටහිර වෙද මහතුන් ප්‍රශ්නයට මැදිහත් වීමෙන් පසුව රෝගය උත්සන්න වුණා කිවුවොත් හරි ද? අද හාමුදුරුවරු නැහැ. දේශීය ප්‍රතිකාර ප්‍රයෝජනයට ගන්නේ නැහැ. අවශ්‍ය දේශීය ඇඳන් පමණයිලු! 

 

අප ලෝකය හැටියට ම අධාර්මික වෙලා. ආත්මාර්ථකාමීත්වය රජයන ලෝකයකයි අප ජීවත් වෙන්නෙ. අද ලෝකයේ මිනිසුන් ජීවත් කරවීම සඳහා සතුන් කී දෙනකු මරණවා ද? කුකුළන් හරකුන් ඌරන් හා වෙනත් සතුන් මැරෙන්නෙ අප කෙරෙහි අනුකම්පාවෙන් නම් නො වෙයි. ඊනියා විද්‍යාත්මක පරීක්‍ෂණ සඳහා මීයන් කොතරම් මරණවා ද?  එ සතුන් අපට කළ වරදකුත් නැහැ. දෙවියන් අප දිහා බලන්නෙ නැත්ද කියල අහනවා. අප දිහා බලන දෙවියන් ඉන්නවා. ඒ අර තිස්තුන් කෝටියක් දෙවියන් නම් නො වෙයි. හැම දෙවියන් ම හොඳය කියල හිතන්න එපා. වසවර්ති මාරයාත් දෙවියෙක්.

 

මේ කතාවලට පඬි නැට්ටන් හිනහවේවි. මා නම් හිනා වෙන්නෙ කළු කුහරවලට, මහා පිපිරුමට,  අඳුරු ශක්තියට (dark energy), අඳුරු ද්‍රව්‍යයට (dark matter), බහුවිශ්වවලට, හා බටහිර භෞතික විද්‍යාවෙ තවත් බහුබූතවලට. මා එහෙම කියන්නෙ මට විද්‍යාඥයකු වීමට නොහැකි වීම නිසා යැයි පඬි නැට්ටකු කියන්න පුළුවන්. ඒකට කමක් නැහැ.