Main Logo

Wednesday 12 May 2021

විවිධ වෙද කල්ලි

 

විවිධ වෙද කල්ලි

           

පහුගිය දා රාජ්‍ය ඇමති චන්න ජයසුමන ඉතා වැදගත් දෙයක් හෙළිකළා. ඒ තමයි විජාතික වෛද්‍ය ජුන්ටාවක් චීන එන්නත ලබා දීමට විරුද්ධ ව කටයුතු කළ බව. ඇතැමකු කියා තිබෙනවා චීන එන්නත ගැන කතා කරන්නවත් එපා කියා. එක් පුවතකට අනුව ජනාධිපතිතුමාත් කණස්සල්ල පළ කරල තිබුණ චීන එන්නත ලැබීත් එය ජනතාවට ලබා දීම පමා වීම ගැන. කෙසේ වෙතත් අවසානයේ දී පාණදුරේ සනීපාරක්‍ෂක කාර්යාලයේ දී එන්නත ලබා දීම ඇරඹුණා.

 

ඒ සනීපාරක්‍ෂක කාර්යාලය අපේ පවුලේ මටත් සහෝදර සහෝදරියන්ටත් පුරුදු තැනක්. අප කුඩා කළ සිංහල ගුරුවරියක වූ අපේ මව එකල තිබූ වාතාවරණය අනුව බටහිර සෞඛ්‍ය නීති රීති අනුව කටයුතු කළ පළමු පරම්පරාවේ අයකු වූවා. ඇය ද කුඩා කළ විවිධ එන්නත් ලබා ගෙන තිබුණා. ඇය අප රැගෙන සනීපාරාක්‍ෂක කාර්යාලය වෙත විවිධ කටයුතු සඳහා රැගෙන ගියා. එන්නත් ලබා දීමට විරේකයක් ලබා දීමට ඇය අප රැගෙන ගියා. බටහිර වෙදකමේ ආධිපත්‍යය එලෙස පාණදුරේ වැනි නගරයකට   ක්‍රමයෙන් පැතිරෙමින් තිබුණා.

 

එකල එක් එන්නතක් දීම හැඳින්වුණේ අත් විදීමක් ලෙස. අත් විදීමෙන් පසු අතේ ලප දෙකක් ඉතිරි වුණා. ඒ ලප කොහොම වෙතත් පාසලට ඇතුල් වීමට අත් විද තිබිය යුතු වුණා. අත් විදල නැත්තන් පාසලක් නැහැ. අදත් පාසලට ඇතුල් වීමට පෙර විවිධ එන්නත් ලබා ගන්න ඕන. ඒ විවිධ එන්නත් මගින් කෙරුණේ බටහිර වෙද කමේ ආධිපත්‍යය පැතිරවීම. මා හිතන්නේ දැන් කුඩා කළ රත කල්කය නොදෙන තරම්.

 

අප ඒ ආධිපත්‍යය පැතිරීම කුඩා කළ දැන සිටියේ නැහැ. මා ඒ බව දැන ගත්තේ බොහෝ කලකට පසු මට බටහිර විද්‍යාඥයකු වීමට නොහැකි බව දැන ගැනීමෙන් පසුවයි. මෙහි දී මා නිතර කියන කතාවක් තරමක් විස්තර කරන්න ඕන. මට බටහිර විද්‍යාඥයකු වීමට නොහැකි වීම ඇතැමුන් දකින්නේ මට විද්‍යාව ඉගෙනීමට බැරි වීමක් ලෙසයි. සමහරු හිතන්නේ මට සාමාන්‍ය පෙළ සාමාන්‍ය විද්‍යා දැනුමක්වත් නැති බවයි. සමහරු අසා තිබුණා මා විශ්වවිද්‍යාලයක විද්‍යා පීඨාධිපති වූයේ කෙසේ ද කියාත්. මා ඒ විස්තර කිරීමට වෙහෙසෙන්නේ නැහැ.

 

මා නිතර කියන තවත් කතාවක් නම් මා උගතකු බුද්ධිමතකු වියතකු නොවන බවයි. මට කෙටි විස්තරයක් කිරීමට අවශ්‍ය ඒ ගැනයි. යමකු බුද්ධිමතකු වියතකු උගතකු ආදී වශයෙන් සැලකෙන්නේ සමාජයට සාපේක්‍ෂවයි. පළමු බුද්ධිමතා කවුද යන්න දැන ගත නොහැකි දෙයක්. එහෙත් සමාජයේ උගතුන් බුද්ධිමතුන් වියතුන් ආදී වශයෙන් හැඳින්වෙන කුලකයක්, පිරිසක් ඉන්නවා. එය සංවිධානයක් නොවුණත් එයට යමකු ඇතුල් කර ගන්නේ එහි යම් ආකාරයකට සාමාජිකයන් වූ අයගේ පිළිගැනීමෙන්. මේ කුලකය කිසි දා මා උගතකු බුද්ධිමතකු වියතකු ලෙස පිළිගෙන නැහැ. කලක් එහි ඉහළින් ම වැජඹුණු කාලෝ ෆොන්සේකා කියා සිටියේ මා කී කිසි ඇත්තක් අලුත් නොවන බවත් මා අලුතින් කී දෙයක් ඇත්ත නොවන බවත්. ඒ මට ඔහු දී තිබූ සහතිකය. ඔහු ජාතික කඳවුරේ අයකු නොවූ නිසා එය බැහැර කළත් ජාතික කඳවුරේ පතාක යෝධයකු වූ ද බුද්ධිමතකු වූ ද ගුණදාස අමරසේකරත් කිසි දිනෙක මා බුද්ධිමතකුවත් වියතකුවත් ලෙස පිළිගෙන නැහැ. මා උගතකු බුද්ධිමතකු වියතකු නොවන්නේ මා එකී කුලකයට නැත්නම් කල්ලියට ඇතුළත් කරගෙන නොමැති බැවින්. ඒ කල්ලියේ කිසිවකු මා කී දෙයක් උපුටා දක්වන්නේ නැත්තෙත් මා කල්ලියට ඇතුල් කර ගැනීමට තරම් වැදගත් දෙයක් කියා නොමැති බැවින් කියා මා හිතනවා.

 

මේ කුලකයේ විවිධ උපකුලක තියෙනවා. බටහිර වෙද මහතුන්ගේ උපකුලකය ඉන් එකක්. ඒ උප කුලකයත් තව තවත් උපකුලකවලට බෙදෙනවා. මා ඉන් කිසිම උපකුලකයකට අයත් නොවන බව අමුතුවෙන් කිව යුතු නැහැ. අප දකිනවා මේ විවිධ උපකුලකවල විද්‍යායතන (colleges) ලෙස හඳුන්වන සංවිධානවල වාර්ෂික සැසිවාර. හේවිසි හොරණෑ පෙරදැරි කරගෙන විවිධ වර්ණිත නිල ඇඳුමෙන් සැරසී ඒ සැසිවාරවලට සහභාගි වන්නන්ගේ ඡායාරූප ජනමාධ්‍යයෙහි දැක ගන්න පුළුවන්.

 

මේ උපකුලකවලට නැත්නම් කල්ලිවලට අප නොසිතන ආකාරයේ බලයක් තියෙනවා. ඒ උපකුලකවල සාමාජිකයන් ඒ ඒ ක්‍ෂෙත්‍රවල විශේෂඥයන්. මා දන්නේ නැහැ ගණිතඥයන්ගේ උපකුලකයක් තියෙනවා ද කියා. මෙරට බටහිර භෞතික විද්‍යාඥයන්ගේ උපකුලකයක් නම් තියෙනවා. මා එහි සාමාජිකයකු නො වෙයි. එහෙත් අපට අද වැදගත් වන්නේ අර බටහිර වෛද්‍ය උපකුලක, නැත්නම් බටහිර වෙද මහතුන්ගේ හා වෙද හාමිනේලාගේ කල්ලි.

 

මේ කල්ලිවල ප්‍රධානීන්ට මේ දවස්වල විවේකයක් නැහැ. ඔවුන් මාධ්‍ය සාකච්ඡා පවත්වනවා. අත් හෝදා ගන්න කියනවා. මීටරයක දුරින් ඉන්න කියනවා. දැන් එය මීටර දෙක වෙලා. මුව ආවරණ පළඳින්න කියනවා. පුළුවන් තරම් ගෙදර ඉන්න කියනවා. හමුදාපති ෂවේන්ද්‍ර සිල්වාත් ඒ සියල්ල කියනවා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ එසේ නොකරන්නන් අල්ලලා පොලිසි බස් රියවලට නංවනවා. ඒත් ෂවේන්ද්‍ර සිල්වාවත් අජිත් රෝහණවත් අර කල්ලියක සාමාජිකයන් නො වෙයි. ඔවුන් වෙනත් කල්ලිවල සාමාජිකයන් වෙන්න ඇති.

 

අර කල්ලිවල සාමාජිකයන්ට විශේෂ බලතල තියෙනවා. සමාජයට ඒ බව පෙනෙන්නේ නැහැ. සමාජයට පෙනෙන්නේ දේශපාලනඥයන්ගේ හමුදාවේ පොලීසියේ රජයේ විවිධ නිලධාරීන්ගේ බලතල. ඒත් මේ බටහිර වෙද කල්ලිවලට දේශපාලනඥයන්ටත් නැති බලතල තියෙනවා. ඔවුන්ට වඩා බලතල ඇත්නම් ඒ බස් කල්ලියේ සාමාජිකයන්ට. බස් කල්ලිය කිවුවෙ භාෂාව පිළිබඳ උනන්දුවක් දක්වන පිරිසකට නො වෙයි. පෞද්ගලික බස් හිමියන්ට හා සේවකයන්ට. චීන එන්නත දී ගන්න මෙතරම් ප්‍රමාද වුණෙ අර එක් බටහිර වෙද කල්ලියක බලතල හින්දා.

 

ඒ අය විශේෂඥයන් ලෙස පෙනී සිටිනවා. විශේෂඥභාවය පෙන්වීමට සහතිකත් ඇති. සහතික ගැන මා ප්‍රශ්න කරන්න යන්නෙ නැහැ. එහෙත් ඒ අයටත් දේශපාලනයක් තියෙනවා.  ඒ වගේ ම ආගමික මතිමතාන්තරත් තියෙනවා. අද ආගමික මතිමතාන්තරත් දේශපාලනය එක්ක ගැට ගැහිලා. අද බෝන් අගේන් කල්ලි හැම තැනක ම දකින්න පුළුවන්.

 

ආණ්ඩුව ඊනියා විශේෂඥ කමිටුවල මතවලට සවන් දෙන්න ඕන කියල මතයක් සමාජයෙ තියෙනවා. එහෙත් ඒ විශේෂඥ කමිටු දේශපාලන හා ආගමික මතිමතාන්තරවලිනුත් සන්නද්ධ නම් කුමක් කරන්න ද? ආණ්ඩුව විශේෂඥ කමිටුවලට සවන් දිය යුතු ම නැහැ. ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕන ඒ විශේෂඥ මතයේ ආගමික හා දේශපාලන හැව අරින්න. චීන එන්නත එපා යැයි කී බටහිර වෙද කල්ලි, චන්න ජයසුමන කියන විධියට විජාතික වෛද්‍ය ජුන්ටා,  අද වන විට මොකද කියන්නෙ. ඔවුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ එල්ලිලා තම ජාම බේර ගන්නවා ද? චීන එන්නත ලබා දීම ප්‍රමාද වූයේ මේ බටහිර වෙද කල්ලි නිසා නො වේ ද?

 

ඊනියා පළමු රැල්ල මැඩීමේ දී ලංකාව දැක් වූ සාර්ථකත්වය ඉන් පසු දකින්නට නොලැබුණේ ඇයි? දේශීය ප්‍රතිකාර ලබා දීම නැවතුණේ කාගේ ඕන කමට ද? අප මේ ප්‍රශ්න නගන්නේ භේද ඇති කිරීමට නො වෙයි. ලෝකයේ ඇත්තේ එක ම එක දැනුම් පද්ධතියක් පමණක් යැයි සිතන උද්ධච්ඡයන්ගේ ආධිපත්‍යය බිඳ දැමීමට පමණයි. ඔවුන් හා අනෙක් සියල්ලන් එකතු විය යුතු අවස්ථාවක තමන් පමණක් හරිය කියා හිතා ගෙන වැඩ කිරීමෙන් සිදු වන්නේ ජනතාව මරණය කරා යැවීමක්.

 

අද වන විට විවිධ කමිටු කඩා වැටිලා. දැනට ක්‍රියාත්මක වැඩක් කෙරෙන්නේ ත්‍රිවිධ හමුදාවෙන් හා පොලීසියෙන් පමණයි. සංචරණ සීමා පැනවීම ආදිය සාමාන්‍ය දැනීමකින් හා බුද්ධියකින් කළ හැකි දේ. බටහිර වෙද කමට අද ඇත්තේ එන්නත පමණයි. ඒ අයට ඒ වැඩේ භාර දෙමු. ආයුර්වේද හා පාරම්පරික වෙද මහතුන්ට ඔවුන්ට කළ හැකි දේ කිරීමට ඉඩ දෙමු. ඒ වෙද මහතුන්ටත් බටහිර රෝහල් විවෘත කරමු.

 

ඒ අතර ආධ්‍යාත්මික පැත්ත ගැනත් අවධානය යොමු කරමු. උතුරේ දේව කන්නලව්වක් කරන්න යන බවට ආරංචියක් තියෙනවා. එය අගය කරන්න ඕන. එය මුළු ලංකාවට ම බලපාන අයුරින් කරනවා නම් හොඳයි. ඒ වගේ ම රතන සූත්‍රය සහ තවත් සූත්‍ර දේශනා කිරීමට පන්සල් මගින් කටයුතු කරන්න ඕන. එක වෙලාවක සියලු නාළිකාවල එක ම සූත්‍ර විකාශය කිරීමට කටයුතු කරන්න පුළුවන්. මා හිතන්නේ ජනාධිපතිතුමා හා අගමැතිතුමා මැදිහත් වී ඒ කටයුත්ත කරන්න පුළුවන්.