Main Logo

Sunday 2 May 2021

කෝ අර පෙළපාලි

 කෝ අර පෙළපාලි


මා ඊයේ සවස 6.55 ප්‍රවෘත්ති බැලීමට වාඩි වුණේ කොළඹ දෙවනත් කරමින් ගිය කෙකරගාමී හා ජ වි පෙ පෙළපාලි නැරඹීමට.  එහෙත් ප්‍රවෘත්ති සංස්කාරක ඒ සියල්ල මකා දමලා. ප්‍රවෘත්ති සංස්කාරකලා ගැන මගේත් අත්දැකීම් තියෙනවා. ඒ නිසා මා කෙකරගාමින් ගැන එතනින් එහාට සිතුවේ නැහැ. කෙකරගාමින් පසු දවසක තම දැවැන්ත පෙළපාලිය අපට පෙන්වාවි. එහෙත් මට ප්‍රවෘත්ති සංස්කාරක ගැන තරමක සැකයක් ඇති වුණේ ජ වි පෙ මැයි දින රැළියක් පෙන්වීම නිසා. ඔවුන්ගේ දැවැන්ත පෙළපාලිය පැලවත්ත පැත්තෙ කුඩා කාමරයකට රිංගෙව්වෙ කොහොමද කියන එක මගේ හිතට ප්‍රශ්නයක් වුණා. අනුර රනිල්දාස නියම වැඩ කාරයෙක්. දැන් කියන විධියට වැඩ්ඩෙක්. ඔවුන් වැවු දාහක් හදල පරාක්‍රමබාහු රජුටත් පාඩමක් දෙකක් උගන්නපු අය. පරාක්‍රමබාහු රජු දැන් ඉන්නව ද වගේ පඬි ප්‍රශ්න අහන්න ඕන නැහැ. රනිල්දාස අතිවිශාල ශාලාවක් කුඩා කරල පෙන්නුව වෙන්න පුළුවන්. එහෙමත් නැත්තන් මහා සෙනගක් පොලීසිය රැවටීමට කිහිප දෙනකු බවට පත්කළා ද කියන්න බැහැ. ඒ රැළියෙදි ජ වි පෙ බටහිර වෙදමහත්තයා 2006 ඉඳන් තිබුණු ආණ්ඩුවලට කරන්න බැරි වුණු දෙයක් ගැන කිවුව. මා ඔවුන් කියන දේට සවන් දෙනවා. ඒත් මට මතක් වුණෙ ඔය සමහර ආණ්ඩුවලට ජ වි පෙ සම්පූර්ණ සහාය දුන් බව. 


කෙකරගාමින් ගැන කිසිම දෙයක් ප්‍රවෘත්ති ප්‍රචාරයෙ තිබුණෙ නැහැ. කෙකරගාමීන්  විද්වතුන්, බුද්ධිමතුන්, විප්ලවවාදීන්. ප්‍රබුද්ධයන්. පුබුදු ජාගොඩ කියන්නේ හයිසන්බර්ග් වැරදි බව යථාර්ථවාදී විප්ලවවාදී ප්‍රබුද්ධයකු වූ කාලෝ ෆොන්සේකාට පවා කියා දුන්නෙක්. ක්වොන්ටම් යාන්ත්‍රිකයේ හයිසන්බර්ග් අනිශ්චය මූල ධර්මය වැරදි බවත් අංශුවක පිහිටුම හා ගම්‍යතාව  එකවිට මැණිය හැකි බව පෙන්වා දුන් විප්ලවවාදී විද්‍යාඥයෙක්. මට පොඩි ප්‍රශ්නයක් වන්නෙ රවි කුමුදේශ් හා පුබුදු ජාගොඩ දෙන්නගෙන් වඩා විප්ලවවාදී විද්‍යාඥයා කවුද කියන එකයි. 


රනිල්දාසලා ජාගොඩල පාරම් බෑවෙ ආණ්ඩුව මැයි පෙළපාලි තහනම් කළත් ඔවුන් පෙළපාලි යන බව කියමින්. ඔවුන් කියා හිටියෙ ආණ්ඩුව නිර්ධන පංතියට එහෙම නැත්නම් ධනදාස පංතියට බයවෙලා මැයි පෙළපාලි තහනම් කර ඇති බව. සජිත්ලගෙ කවුදත් කියල තිබුණ ආණ්ඩුව තම අසමත්කම වහන්න කොවිඩ් රැල්ලක් මවල කියලා. එහෙම නම් ඒකත් සමත්කමක් . කොවිඩ් නැතිව කොවිඩ් රැල්ලක් මවන එක ලෙහෙසු පහසු වැඩක් නොවෙයි.


රනිල්දාසලා ජාගොඩලා පෙළපාලියක් පවත්වන්නෙ නැතිව ඉන්නෙ නැහැ. මා හිතන්නෙ ආණ්ඩුව ප්‍රවෘත්ති සංස්කාරකල බය කරල පෙළපාලි පෙන්නන එක නවත්තන්න ඇති කියලා. මා හිතන්නෙ දැන් රනිල්දාසටයි ජාගොඩටයි තවත් මාතෘකාවක් හම්බවෙලා කියලා. ආණ්ඩුවට විරුද්ධ ව භාෂණයේ නිිදහස නාළිකාවල නිදහස සහ තවත් නිදහස් අටෝරාසියක් වෙනුවෙන් උද්ඝෝෂණ පැවැත්වීමට අවස්ථාව ලැබිලා . අපේ පෙළපාලිය අපට දියවු වගේ සටන් පාඨ කියන්න පුළුවන්. එහෙමත් නැත්තන් ජනතාවට අපේ පෙළපාලිය දැක ගැනීමට ඇති අයිතියට අත නොතබනු වගේ සටන් පාඨ කියන්න පුළුවන්. අර තොරතුරු දැන ගැනීමේ පනත යටතෙ උසාවි යන්න බැරි ද? 


ආණ්ඩුව ධනදාස පංතියට බයවෙලා පෙළපාලි පෙන්නන එක නවත්තල කියල තවත් සටන් පාඨයක් හදන්න පුළුවන්. සටන්පාඨ ද හදන්න බැරි. අවුරුදු පනහකට හැටකට ඉස්සර විශ්වවිිද්‍යාල ශිෂ්‍යයන් සමහර අවස්ථාවල පංති වර්ජනයක් කරන්න ඕන වුණා ම සටන් පාඨ නිර්මාණය කර ගත්ත. ප්‍රශ්න නිසා වර්ජන ඇති වුණා නොව වර්ජන නිසා ප්‍රශ්න ඇති වුණා. දැන් නම් එහෙමත් අවශ්‍ය නැහැ. වර්ජනයක් අවශ්‍ය නම් වර්ජනයක් කරනවා. මොන සටන් පාඨ ද? ශිෂ්‍ය අයිතීන් සුරකමු යන්න මදැයි. 


ඒකට කමක් නැහැ. අපට ජ වි පෙ හා කෙකරගාමී පෙළපාලි පහුවෙලා හරි බලන්න ඕන. ඒ වෙන එහෙකට නොවෙයි. සියයට තුන සියයට කීයට පහළට බැහැල ද කියල දැන ගන්න. ආණ්ඩුව අපට ඒක දැන ගන්න අවස්ථාව දෙන්නෙ නැහැ. මට හිතෙන්නෙ ආණ්ඩුව පෙළපාලි පෙන්නීම තහනම් කරල තියෙන්නෙ ධනදාසලගේ පැත්තෙ ඉඳන් ධනදාසලගෙ බලය අඩු වීම අප දැන ගන්න එක නවත්තන්න කියල. 


අනෙක් අතට මට බලා ගන්න ඕන අර සියේට හයේ කට්ටියට ලැබිල තියෙන අලුත් ටී ෂර්ට් කොහොම ද කියල. නෑ මට ටී ෂර්ට් එකක් අවශ්‍ය නැහැ. කොහොමත් ටී ෂර්ට් තියෙන්නෙ තේ බොන කොට අඳින්න නො වෙයි. සියේට හයේ කට්ටිය දැන් අධ්‍යාපනය වෙනුවෙන් හුඟක් වෙහෙසනවා ඇති. සියේට හයේ කට්ටියට සියේට තුනේ කට්ටියත් එක්ක සහෝදරාත්මක බැඳීමක් තියෙන්නෙ. සියේට හයේ කට්ටියත් ඔය පෙළපාලිවල යන්න ඇති. 


ආණ්ඩුවෙ උදවියත් පොඩි පොඩි රැස්වීම් තියල. දැන් හැම එකක් ම ඔන් ලයින් ක්‍රමයට. අතථ්‍ය රැස්වීම්.  ව්‍යවහාරික ගණිතය ඉගෙන ගන්න කොට අතථ්‍ය කාර්ය කියල පාඩමක් තියෙනවා. අතාථ්‍ය කාර්ය යොදා ගෙන ඊනියා යථාර්ථ වැඩ දැන ගන්න පුළුවන් වුණා. හැම යථාර්ථයක් ම අතථ්‍ය ද කියල අහන්න එපා. ආණ්ඩුව අතථ්‍ය රැස්වීම් පවත්වල ඒවා ප්‍රචාරය කර ගන්නවා. ඒ අතර රනිල්දාසලාගෙ කෙකරගාමීන්ගෙ යථාර්ථවාදී පෙළපාලි පෙන්නන එක තහනම් කරල.