Main Logo

Saturday 15 May 2021

දෙවියන් වහන්සේ බටහිර විද්‍යාව මාක්ස්වාදය හා මාස්ක්වාදය

 දෙවියන් වහන්සේ බටහිර විද්‍යාව මාක්ස්වාදය හා මාස්ක්වාදය


බටහිර විද්‍යාව ගැන තව කරුණු ටිකක් කියන්න ඕන. විශේෂයෙන් ම එක්සත් ජනපදිකයන් (ඇමරිකානුවන්) බටහිර විද්‍යාව ගැන තිබූ විශ්වාසය නැති වීම ගැන කියන්න ඕන. එක්සත් ජනපදිකයන් දෙවියන් වහන්සේ ගැන විශ්වාස කරනවා. ඒ විශ්වාසය බටහිර විද්‍යාව ගැන තියෙන විශ්වාසයට වඩා වැඩියි. මා සඳහන් කරන්නේ සමස්තයක් ලෙස. බුද්ධිමතුන් ගැන නො වෙයි. බටහිර විද්‍යාවේ ප්‍රධාන ම චරිත දෙක නිවුටන් හා අයින්ස්ටයින්. ඔවුන් දෙවියන් වහන්සේ විශ්වාස කළා. 


නිවුටන් ඉංගිරිසි ජාතිකයෙක්. ඔහුගෙන් පසු බිහි වූ එක ම ප්‍රධාන ඉංගිරිසි ජාතික විද්‍යාඥයා වූයේ  ඩිරුක්. මැක්ස්වෙල් ස්කොට්ලන්ත සම්භවයක් තිබූ අයෙක්.  හෝකින් ජනමාධ්‍ය මගින් පුම්බනු ලැබූවෙක්. නිවුටන් කියා සිටියේ තමා දෙවියන් වහන්සේ ලෝකය මවා ඇති ආකාරය තේරුම් ගැනීමට උත්සාහ කරන බවයි. අයින්ස්ටයින් යුදෙවු ගෝත්‍රිකයෙක්. ඔහු වියුක්ත චින්තනයෙහි ඉහළ ම අයෙක්. යුදෙවුවන්ගේ සංස්කෘතිය තමයි වඩාත් ම වියුක්ත චින්තනයක් ඇති සංස්කෘතිය. අද බටහිර කතා කෙරෙන දෙවියන් වහන්සේ ඔවුන්ගේ සංස්කෘතියේ යෙහෝවා දෙවියන් වහන්සේ. ක්‍රිස්තියානි දෙවියන් වහන්සේත් ඉස්ලාම් ආගමේ අල්ලා දෙවියන් වහන්සේත් යෙහෝවා දෙවියන් වහන්සේගේ විවිධ ස්වරූප. ක්‍රිස්තියානින් හා යුදෙවුවන් අතර තිබූ වෙනස්කම් මේ වන විට බොහෝ දුරට සමනය වූ බවක් මතුපිටින් පේන්න තියෙනවා.  එය මතුපිටින් පමණයි. අල්ලා දෙවියන් වහන්සේ හා යෙහෝවා දෙවියන් වහන්සේ අතර ප්‍රශ්නය නම් අදත් නැවතත් ඊශ්‍රායලයේ කරළියට ඇවිත්. අද කොවිඩ් 19ත් මේ අරගලයේ ම කොටසක් ලෙසයි මා දකින්නේ. එහි දී චීනය මේ ගැටුම යොදා ගන්නා බව පැහැදිලියි. 


මට කීමට අවශ්‍ය එයට වඩා අයින්ස්ටයින්ගේ දෙවියන් වහන්සේ ගැන. යුදෙවුවන්ගේ යෙහෝවා දෙවියන් වහන්සේ වියුක්තයේ එහා කෙළවරේ. ඒ දෙවියන් වහන්සේගේ රූපයක් මවා ගන්න බැහැ. ප්‍රතිමා හදන්න බැහැ. අල්ලා දෙවියන් වහන්සේටත් ඒ කරුණු පොදුයි. එහෙත් කතෝලික බැතිමතුන්ගේ දෙවියන් වහන්සේ එපමණ වියුක්ත නැහැ. දහනවවැනි සිය වසේ අග වන විට ක්‍රිස්තියානි බුද්ධිමතුන් අතර දෙවියන් වහන්සේ ප්‍රශ්න කෙරුණා. එහි විකාශයක් ලෙස තමයි අද ඇතැමුන් දෙවියන් වහන්සේ ප්‍රතික්‍ෂෙප කරන්නේ. අයින්ස්ටයින්ටත් මේ ප්‍රශ්නය බල පෑවා. ඔහු ප්‍රශ්නයෙන් ගැල වී ගියේ තම දෙවියන් වහන්සේ පෞද්ගලික දෙවියන් වහන්සේ කෙනකු බව කියමින්! ඔහු දෙවියන් වහන්සේ ප්‍රතික්‍ෂෙප කෙළේ නැහැ. පෞද්ගලික දෙවියන් වහන්සේ හා පොදු දෙවියන් වහන්සේ අතර වෙනස කුමක් ද? 


බටහිර ලෝකය සමස්තයක් ලෙස ගත් කළ දෙවියන් වහන්සේ අතහරින්නේ නැහැ. බුද්ධිමතුන් පිරිසකට දෙවියන් වහන්සේ ප්‍රශ්නයක් වුණත් සාමාන්‍ය ජනයාගේ විශ්වාසය බිඳෙන්නේ නැහැ. සාමාන්‍ය ජනයා බටහිර විද්‍යාවට වඩා දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. නිවුටන් හා අයින්ස්ටයින් විශ්වාස කළ දෙවියන් වහන්සේ ඔවුන්ට වඩා අඩු මට්ටමේ බටහිර විද්‍යාඥයන් විසින් ප්‍රතික්‍ෂෙප කරනු ලැබීමේ ප්‍රතිඵලය වී ඇත්තේ බටහිර ලෝකයේ බටහිර විද්‍යාව ක්‍රමයෙන් ප්‍රතික්‍ෂෙප වීමයි. එක්සත් ජනපද මේ සම්බන්ධයෙන් ඉදිරියෙන් ම ඇති රටයි. එක්සත් ජනපදිකයන් කොවිඩ් එන්නතකට ආකර්ෂණය කර ගැනීමට ලොතරැයි පිහිට පතන්න වෙලා. 


ඒත් අපේ රටේ බටහිර විද්‍යාව ගැන ඇත්තේ තදබල විශ්වාසයක්. මා හිතන්නේ දේශපාලනඥයන් සියල්ලන් ම පාහේ බටහිර විද්‍යාව ගැන තදින් විශ්වාස කරනවා. සජිත් එ ගැන පැහැදිලි ප්‍රකාශයක් කර නැතත් ඔහු එන්නත හා විද්‍යා උපකරණ ලබා ගැනීමට ලංකාවේ ඉන්න විදේශීය තානාපතිවරුන්ට දුරකතන පණිවුඩ ලබා දෙනවා. තානාපතිවරු තමාට මොනවා කිවුව ද කියා සජිත් ජනමාධ්‍යයට කියන්නේ නැහැ. අනුර රනිල්දාස නම් බටහිර විද්‍යාව ඉගෙන ගත්තෙක්. ඔහු කියන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ බටහිර විද්‍යා මතයට සවන් නොදී හිතුවක්කාර මානාධික ආකාරයකින් කටයුතු කරන බවයි. රනිල්දාසට අනුව විවිධ වයිරස ලංකාවට ගෙනැවිත් තියෙන්නෙ ගෝඨාභය රාජපක්‍ෂ බටහිර වෙද මහතුන්ට ඇහුම්කම් නොදීම හේතුවෙන්. 


මා දන්නා තරමින් බටහිර වෙද මහතුන් කොවිඩ් 19 සම්බන්ධයෙන් ඊනියා වෛද්‍ය විද්‍යාත්මක කිසිවක් කියා නැහැ. රවි කුමුදේශ් සහ තවත් අය කියන මීටරයක් දැන් නම් මීටර දෙකක් දුරින් ඉන්න මුව ආවරණයක් දැන් නම් දෙකක් පළඳින්න අත් හෝදන්න වැනි දේ හැරෙන්න ඔවුන් කියා ඇත්තේ කුමක් ද? විවිධ කොවිඩ් වයිරස ජාති (විකෘතීන්) තියෙන බව කියනවා. ඒවට බටහිර දාල තියෙන නම් ද අපට කියනවා. සමහරු රට වහන්න කියනවා. තවත් සමහරු ප්‍රදේශ හුදකලා කරන්න කියනවා. ගමන් බිමන් සීමා කරන්න කියනවා. තවත් සමහරු  දේශීය ප්‍රතිකාර කරන්න එපා කියනවා. ආයුර්වේද වෙදමහතුන් පන්නල ආයුර්වේද රෝහලත්  තමන්ට දෙන්න කියනවා. අවාසනාවකට ආණ්ඩුව  එයට නම් කන් දී ඇති බවක් පේනවා. 


රට වහන එක ප්‍රදේශ හුදකලා කරන එක ඊනියා සමාජ දුරස්ථභාවය ආදිය දෙයියන්නෙ ලෙඩ හැදුනම අපේ ගෙවල්වල කෙරෙන වෙන් කිරීම පළල් ව කිරීමක් පමණයි. ඒත් එය ගෙදරක රෝගියකු වෙන් කිරීම තරම් සරල නැහැ. එය බටහිර වෙද මහතුන් කීවත් වෙනත් අයත් කීවත් අවසානයේ දී දේශපාලන තීන්දුවක් වෙනවා. 


මා දන්නවා බොහෝ දෙනා ගණිතයේදීත් ඒ වගේ ගණනක් ආවෙත් මේ විධියට කරන්න කියා ඉගෙන ගන්නවා. ගණන පොඩ්ඩක් වෙනස් කළොත් ඉවරයි. රට වහන එක හරි වෙනත් දෙයක් හරි අර රටේ කරල තියෙන විධියට මේ රටෙත් කරමු කියා කියන්න බැහැ. අනෙක් අතට මෙරට නිලධාරි පෙළැන්තිය ආණ්ඩුව ගන්නා තීරණත් අවුල් කරනවා. තොග වෙළෙඳුන්ට වෙළෙඳ පොල විවෘත කරල සිල්ලර වෙළෙඳුන්ට වෙළෙඳ පොළ වහනවා. තොග වෙළෙන්දා තම නිෂ්පාදන විකුණන්නේ කාට ද? 


ගමන් බිමන් සීමා කිරීමේ දී තවත් බොහෝ දේ කල්පනා කරන්න ඕන. අප දුප්පත් රටක් බවත් අමතක කරන්න බැහැ. මෙරට වැඩි පුර ඉන්නෙ මාසික වැටුපක් ලබා ගන්න අය නො වෙයි. රනිල්දාස කියන විධියට රෝගීන් මරා දාන්නෙ ආණ්ඩුව. එතකොට අනෙක් බොහෝ රටවලත් රෝගීන් මරා දාන්නෙ මේ ආණ්ඩුව ද? රෝගීන් මරණයට පත්වීමට ඇති පොදු හේතුව බටහිර වෙදමහතුන්ගෙ උද්ධච්ඡකම. ඒ කොහොම වුණත් මා එකක් දන්නවා. රනිල්දාසලා 1971 දී 1987-90 කාලයේ දී මෙරට මරා දැමූ සංඛ්‍යාව ඉක්මවා යන්න නම් කොවිඩ් 19ට බැහැ. 


මේ අතර කෙකරගාමියකු කියා තිබුණා ධනපති ක්‍රමයට වසංගතයක්වත් මර්දනය කරන්න බැහැ කියා. ධනපති ක්‍රමය කියන එක බටහිර විද්‍යාවෙන් හා තාක්‍ෂණයෙන් වෙන් වුණු එකක් නො වෙයි. ධනපති ක්‍රමය බටහිර විද්‍යාව හා තාක්‍ෂණය සමග අත්වැල් බැඳ ගන්නවා. කෙකරගාමියාගෙ නායකයකු තමයි හයිසන්බර්ග්ට අනිශ්චය මූලධර්මය වැරදි බව කියා දුන්නෙ. ඒ නායකයාට නොබෙල් තෑග්ග දෙන්න පරක්කු වෙන්නෙ මොකද කියලයි මා කල්පනා කරන්නෙ.  බටහිර භෞතික විද්‍යාවට තිස්ගණන්වලින් පස්සෙ එකතු වෙච්ච දෙයක් නැහැ. බටහිර භෞතික විද්‍යාව ඇණ හිටල. බටහිර වෙදකමත් ඇණ හිටල. කොවිඩ් 19 ඒ බව පෙන්නල. වසංගතයක්වත් මර්දනය කරන්න බැරි බටහිර විද්‍යාවටයි, බටහිර වෙදකමටයි. ධනපති ක්‍රමයට බැරි බටහිර දැනුමට ඒ බැරි නිසයි. ධනපති ක්‍රමයට බැණල බටහිර විද්‍යාව හා පොදුවේ බටහිර දැනුම බේර ගන්න බැහැ. 


මාක්ස්වාදය කියන්නෙත් බටහිර දැනුමක්. මාක්ස්වාදීන් කිවුවෙ තමන්ගෙ දැනුම විද්‍යාත්මක කියල. මාක්ස් ධනවාදය බටහිර විද්‍යාවෙන් වෙන් කරල බටහිර විද්‍යාව ආරක්‍ෂා කර ගන්න බටහිර විද්‍යාවට මාස්ක් දැම්මා.  බටහිර දැනුමේ අංගයක් වූ මාක්ස්වාදය මාස්ක්වාදයක් වුණෙ කලකට පෙර. බටහිර විද්‍යාව ආරක්‍ෂා කරපු මාක්ස්වාදය විසින් අවසානයේ දී ධනවාදය ආරක්‍ෂා කෙරුණා.  ඒත් දැන් ඒක කරන්නත් බැහැ. මාක්ස්වාදීන්ට මාස්ක් පැළැඳ ගෙන මාධ්‍ය සාකච්ඡා තියන එක ඇරෙන්න වෙන එකක් කරන්න බැහැ.