Main Logo

Monday 24 May 2021

කඩුව හා සංකේත බෞද්ධයෝ

 

කඩුව හා සංකේත බෞද්ධයෝ

 

රෝගයකට ප්‍රතිකාරයක් නොමැති පිරිසක් එකී රෝගය සම්බන්ධයෙන් කරන කතාවලදීත් ආධිපත්‍යය දරන්නේ කෙසේ ද යන්න ඇතැමකුට ප්‍රශ්නයක් වෙනන පුළුවන්. විශේෂයෙන් ම ප්‍රතිකාර ඇති අය සිටින විට ඔවුන්ට කිසිම තැනක් නොදීමට, පුළුවන් නම් ඔවුන්ගේ රෝහල් තමන්ට පවරා ගැනීමට සැලසුම් කිරීමට විශේෂිත බලයක් තියෙන්න ඕන. මේ බලය එන්නෙ ඉංගිරිසින්ගෙන් බව ඇත්ත. එහෙත් තවත් හේතුවක් වන්නේ මිනිසුන් ඒ ආධිපත්‍යය දෙකට තුනට නැවී පිළිගැනීමයි.  

 

මෙරට ජනමාධ්‍යවේදීන් දේශපාලනඥයන්ට වඩා බටහිර වෙද මහතුන්ට බය බවක් පේනවා. ඔවුන් දේශපාලනඥයන්ගෙන් අසන අන්දමේ ප්‍රශ්න බටහිර වෙද මහතුන්ගෙන් අහන්නෙ නැහැ. අඩු තරමෙන් කොවිඩ් 19ට ප්‍රතිකාරයක් තියෙනව ද කියලවත් අහන්නෙ නැහැ. ඒ වෙනුවට ජනමාධ්‍යවේදීන් බටහිර වෙදකමට කොවිඩ් 19 රෝගයට ප්‍රතිකාර ඇතැයි කියන මතය සමාජයට ගෙනි යනවා.

 

ඔවුන් තම ප්‍රවෘත්ති ප්‍රකාශවලින් කියන්නේ මෙපමණ රෝගීන් සංඛ්‍යාවක් සුව වී රෝහල්වලින් පිට ව ගොස් ඇති බවයි. මෙරට බටහිර වෙද මහතුන්ට ඒ කියන විධියට ප්‍රතිකාරයක් තියෙනවා නම් වහාම ඒ පිළිබඳ පත්‍රිකාවක් ඊනියා ජාත්‍යන්තර  පරයේෂණ සඟරාවක පළ කරන්න. 2021 වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය හිමිවේවි. කාට ද ආඩම්බරේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධිකාරි බලය ඇත්තේ බටහිර වෙද මහතුන්ට බව පැහැදිලියි. සෞඛ්‍යය කියන්නේ බටහිර සෞඛ්‍යයට පමණයි. පාසල්වල සෞඛ්‍යය කියා පාඩමක් එකල කියා දුන්නා. එහි ප්‍රතිඵල අද තියෙනවා.

 

රෝගීන්ට ප්‍රතිකාර ඇති ආයුර්වේද හා පාරම්පරික වෙද මහතුන්ට තම ප්‍රතිකාර කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ.  1814 දී රිච්මන්ඩ් විදුහල (පළමුව පාසලක්) ඇති කළ දින සිට කෙතරම් අපේ කමට අපේ දැනුමට ගැරහීමට ඒ නොතකා හැරීමට අප පුරුදු කෙරී ඇත් ද? ලන්දේසීන් ද පාසල් පිහිටුවා තිබූ නමුත් ඔවුන්ට තම රෙපරමාදු ආගම ප්‍රවාරය කිරීමේ දක්‍ෂතාවක් තිබී නැහැ. ඉංගිරිසින් එසේ නො වෙයි. ඔවුන් ලෝකයන්.

 

මුල දී සිංහල බෞද්ධයන් ඉංගිරිසි පාසල්වලට යෑම සඳහා ක්‍රිස්තියානි වූ විට තමන් හඳුන්වා දී ඇත්තේ ආණ්ඩුවේ ක්‍රිස්තියානින් කියා. ඔවුන් පිළිවෙතින් බෞද්ධයන්. ආණ්ඩුවට ක්‍රිස්තියානින්. මේ කරුණු පසුගිය දා අභාවප්‍රාප්ත වූ ආනන්ද ඩයස් ජයසිංහ මහතා ලියූ රිච්මන්ඩ් විදුහලේ අමතක වූ ඉතිහාසය පොතේ සඳහන් වෙනවා. දහනවවැනි සිය වසේ මුල ආණ්ඩුවේ ක්‍රිස්තියානින් හිටියා නම් ඉන් අවුරුදු දෙසීයකට පසු අද සංකේත බෞද්ධයන් ඉන්නවා. ඔවුන් දැනුමෙන් හා වෙනත් බොහෝ කරුණුවලින් ක්‍රිස්තියානින්.

 

පනස්හයේ සිදු වී ඇත්තේ සංකේතාත්මක වෙනසක් පමණයි. අප එදා සඟ වෙද ගුරු ගොවි කම්කරු කතාවක් කිවුවා. එහෙත් අද වන විට එය බිෂොප් දොස්තර නීතිඥ පොහොර වෙළෙඳ කම්කරු බවට පත් වී තියෙනවා. මියන්මාහි භික්‍ෂූන් වහන්සේට ඇති ගෞරවය ලංකාවේ නැහැ. අර ධීවරයන් දොළොස් දෙනා නිදහස් කර ගැනීමේ දී හමුදා ආණ්ඩුවට විශාල බලපෑමක් කෙළේ භික්‍ෂූන් වහන්සේ.  ඒ ලංකාවට ඇති ගෞරවය නිසා. ඒ ගෞරවය තව කෙතරම් කලකට ද? අද අප තානාපති කාර්යාල පරිශ්‍රය බෞද්ධ කොඩිවලින් සැරසුවා. මට නම් එය සංකේතයක් නො වෙයි.

 

මෙරට දේශපාලනඥයන් බෞද්ධ අබෞද්ධ සියල්ලන් මහානායක හාමුදුරුවන් බැහැ දැකීමට අටපිරිකර හා පූජා භාණ්ඩ උස්සා ගෙන නුවර දුවනවා. ඒ හුදු සංකේතයක් පමණයි. වැරදි කරන දේශපාලනඥයන්ට පන්සලේ පස් පාගන්න එපයි කියන්න, පත්තනික්කුංජනය පනවන්න හාමුදුරුවරුන්ට පුළුවන් ද? පසුගිය දා එවැනි තර්ජනයක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල්තුමා නම් කළා.

 

බණ්ඩාරනායක මහතා එකල තිබූ උත්තර මන්ත්‍රී මණ්ඩලයට වික්‍රමාරච්චි වෙද මහතා පත් කළා. එයත් සංකේතයක් පමණක් වුණා. අද පාර්ලිමේන්තුවේ ආයුර්වේද හරි පාරම්පරික හරි වෙද මහත්තුරු ඉන්නවා ද? දේශීය වෙදකම අද නීතිඥයකුට භාර දීලා. ඔහු යම් සේවයක් කිරීමට උත්සාහ කරනවා. එහෙත් උත්සාහය සාර්ථක වන්නේ නැහැ. අද වික්‍රමාරච්චි වෙද මහතා ඇරඹූ යක්කල වෛද්‍ය විද්‍යාලය විශ්වවිද්‍යාලයක් බවට පත් කෙරිලා. එයට විද්‍යොදය වි්‍යාලංකාර පිරිවෙන් දෙකට සිදු වූ දේ යථා කාලයේ දී සිදු වේවි. පාර්ලිමේන්තුවේ බටහිර වෙද මහතුන් වෙද හාමිනේලා ඉන්නවා. මට තේරෙන විධියට ඔවුන් ධම්මික පැනිය කඩාකප්පල් කළා. පාර්ලිමේන්තුවෙන් පිට ඉන්න අර කමිටුවේ හිටි එක් මහාචාර්යවරයෙක් ඒ ගැන උදම් අනලා. ඒ සඳහා ඇතැම් ජනමාධ්‍ය ද උදවු දුන්නා. මේ උදම් අනන්නේ තමන්ට ප්‍රතිකාරයක් නැතිව. පස්ස පැත්ත කසාගන්න නියපොත්ත නැතිව. ඒත් ඉංගිරිසි කඩුව තාමත් තියෙනවා.

 

පනස්හයේ කම්කරු කියන එක පංච මහා බලවේගයට ඇතුළත් වී ඇත්තේ වැරදි මාක්ස්වාදී සමාජවාදී චීන්තනය නිසා. එය වැරදීමක්. කම්කරු අපේ සංස්කෘතියේ නැහැ. අදත් කම්කරු බටහිර වෙද මහතුන් මෙන් බලයක් වන්නේ වෙනත් සංස්කෘතියක  නිසා. එදා හිටි ගුරුවරු අද වෘත්තීය සමිතිවලට පින් සිදු වන්නට කම්කරුවන් වෙලා. ඒත් කරුමය මේ සියල්ල සිදුවන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කඩා වැටෙද්දී. බටහිරයන්ට අදහස් නැහැ. ඔවුන්ගේ සංස්කෘතියෙන් තව දුරටත් අදහස් නිපදවන්න බැහැ. අද උදේත් මා ලිපියක් කියෙව්වා බටහිර භෞතික විද්‍යාඥවරියක් අයිස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතාවාදය ක්වොන්ටම් භෞතිකය තුළට ගැනීමට කරන උත්සාහයක් පිළිබඳ. එය අසාර්ථක වන බව පැහැදිලියි. මේ ප්‍රවාද සත්භාව දෙකක බව ඔවුන්ට ඇඟිල්ලෙන් ඇන කිවුවත් තේරෙන්නේ නැහැ.

 

අදහස් නැති වුවත් ඉංගිරිසින් කළමනාකරණය දන්නවා. අප නොදන්නේ ම ඔවුන්ගේ කළමනාකරණය. ඔවුන් අප රූකඩ මෙන් නටවනවා. අපත් නටනවා. කොවිඩ් 19ට බෙහෙත් නැහැ. ඒත් බෙහෙත් තියෙන බවක් ජනමාධ්‍ය හරහා පෙන්වනවා. තවමත් ආධිපත්‍යය තියෙනවා. තවමත් කඩුව මුවහත්.