Main Logo

Monday 3 May 2021

එංගලන්තෙන් ලැබෙන වයිරස

 

එංගලන්තෙන් ලැබෙන වයිරස

 

පිලපිටිය වාර්තාව නැත්නම් බටහිර වෛද්‍ය පීඨවල ප්‍රධාන බටහිර වෙද මහත්තුරු එකතු වී දීල තියෙන වාර්තාව ගැන බොහෝ දේ කියන්න තියෙනවා. ඒත් මේ ඒ සඳහා වෙලාව නො වෙයි. ඒ වාර්තාවට අත්සන් කරල තියෙන එක බටහිර වෙද මහත්තයෙක්වත් ධම්මික වෙද මහත්තයා කරල තියෙන දෙයින් දාහෙන් එකක්වත් කිසිම වෙදකමකට කරල නැහැ. මා ඒ සමහර අය දන්නවා. ඔවුන් බුද්ධිමතුන් විද්වතුන් වෙන්න ඇති. ඒත් ඔවුන් අලුතෙන් එකතු කරපු අදහසක්, හරියන්නෙ නැති  අදහසක්වත් තියෙනවා ද? අදහස්වලින් සීයෙන් එකක්වත් හරියන්නෙ නැහැ. ලංකාවෙ ප්‍රශ්නය හරියන්නෙ නැති අදහසක්වත් බටහිර විද්‍යා ක්‍ෂෙත්‍ර මධ්‍යයෙහි ඉදිරිපත් වෙන්නෙ නැති එක.  

 

මේ බටහිර වෙද මහත්තුරු ටික එකතුවෙලා පරීක්‍ෂණයක් කරල තියෙන වගයි පේන්නෙ. ඒක එහෙම ම ද කියල හරියට කියන්න බැහැ. ඒත් මේ බටහිර වෙද මහත්තුරු පරීක්‍ෂණ කරන්න ඉස්සෙල්ල වතුපිටිවල හා ගම්පහ බටහිර වෙද මහත්තුරු ධම්මික පැනිය ගැන පරික්‍ෂා කරල කිවුව ඒකෙන් පීසීආර් + පීසීආර් - බවට පත්වෙනව කියල. ඔය ප්‍රධාන බටහිර වෙද මහත්තුරු ඒ වෙලාවෙ කිවුවෙ වතුපිටිවල හා ගම්පහ පරීක්‍ෂණවලට සහභාගි වූ රෝගීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නැහැ කියල. පඬි භාෂාවෙන් කියනව නම් නියැදිය ප්‍රමාණවත් නැහැ කියල. කොහොමත් පී සී ආර් + කියන එකෙන් රෝගී කියල කියන්න බැහැ. 

 

බටහිර ප්‍රධාන වෙද මහත්තුරු මා දන්නා විධියට අනුරාධපුරේ හමුදා මධ්‍යස්ථාන ආයතනයක පරීක්‍ෂණ කරලා. ඒ ආයතනයේ ප්‍රධානියා ගැන නොයෙක් ප්‍රශ්න තියෙනවා. අවශ්‍ය නම් පසුව ඒ සාකච්ඡා කරමු. එක්තරා ආගමක් අදහන්නන් විවිධ දෙවිවරුන් ඉන්න බව විශ්වාස කරන්නෙ නැහැ. ඔවුන් වෙනත් දෙවිවරුන්ගෙ කියල හිතන පිළිම කඩනවා. ඔවුන්ගෙ දෙවියන්ගෙ පිළිම හදන්නෙ නැහැ.  ඔවුන් කාලි අම්මගෙන් හරි වෙනත් දෙවි කෙනකුගෙන් හරි ලබන දැනුමක් ගැන විශ්වාස කරන්නෙ නැහැ. ඒ කතා පැත්තකින් තියමු.

 

අනුරාධපුර පරීක්‍ෂණයට රෝගීන් කී දෙනකු සහභාගි කරගෙන තියෙනවා ද? ඔය පරීක්‍ෂණය ගැන මුල ඉඳන් අපට තිබුණේ විරුද්ධත්වයක් පමණයි. එක් වෛද්‍ය ක්‍රමයකට තවත් වෛද්‍ය ක්‍රමයක් ගැන පරීක්‍ෂණ  පැවැත්වීමට ඇති නෛතික, සදාචාරාත්මක අයිතිය කුමක් ද?  ඒකත් පැත්තකින් තියමු. ඔය පරීක්‍ෂණයේ නියැදි තෝරා ගත්තේ ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් අනුගමනය කරල ද? මා මේ ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් ගැන විශ්වාසයක් තියෙන නිසා අසන ප්‍රශ්නයක් නො වෙයි. මට අවශ්‍ය බටහිර වෙද මහත්තුරු තම ක්‍රමය අනුගමනය කළා ද යන්න දැන ගැනීමට පමණයි.

 

මේ නියැදියට රෝගීන් කී දෙනකු ඇතුළත් වුණා ද? වාර්තාවේ හැටියට නම් හැට ගණනක්. එය ප්‍රමාණවත් නියැදියක් ද? වතුපිටිවල නියැදියට වඩා අනුරාධපුර නියැදිය ඊනියා විද්‍යාත්මක ද? අනුරාධපුර ආයතනයේ ප්‍රධාන බටහිර වෙද මහතා කෙසේ වෙතත් වාර්තාවට අත්සන් කර ඇති බටහිර ප්‍රධාන වෙද මහත්තුරු බොහෝ දෙනකු බෞද්ධයන් කියා මා හිතනවා. ඔවුන් විශ්වාස කරන්නේ අග්ගඤ්ඤ සූත්‍රය ද නැත්නම් මහා පිපිරුම ද? මා නම් විශ්වාස කරන්නේ අග්ගඤ්ඤ සූත්‍රය. මහා පිපිරුම වගේ ම කළු කුහරත් පට්ටපල් බොරු. කවුරු හරි බටහිර විද්‍යාඥයකු මට කියා දෙනව ද කළු කුහරවල පින්තුර හදන්නෙ කොහොමද කියලා. කළු කුහරයකට පෘෂ්ඨයක් තියෙනවා ද? නැත්තන් පෘෂ්ඨවල පින්තූර හදන්නෙ කොහොමද? බොහෝ බටහිර වෙද මහතුන්ට අමාරු ම විෂය බටහිර භෞතික විිද්‍යාව බව මා නොදන්නවා නො වෙයි.

 

ඒක පැත්තකින් තියලා නැවතත් කොවිඩ් 19ට එමු. බටහිර වෙද මහතුන්ට වෙද හාමිනේලාට ඒකට ප්‍රතිකාරයක් තියෙනවා ද? ඔවුන්ට අවසානයේ දී කියන්න පුළුවන් අපි වෙනුවෙන් අපි කියා පමණයි. අපි පරෙස්සම් වෙමු. ඒ බව කියන්න සංඛ අමර්ජිත් බටහිර වෙද හාමිනේලා එක්ක එන්නෙ අහවල් දේකට ද? ඔහුටත් ඒක කියන්න පුළුවන්. මටත් කියන්න පුළුවන්. ධම්මික වෙද මහතාට ඊට එහා ගිහින් තවත් දේ කියන්න පුළුවන්. අපි ඒකට ඉඩ නොදෙන්නෙ ඇයි? ධම්මික වෙද මහතාගෙ පැනිය බීල කිසිවකු මැරිල නැහැ. එන්නත් ලබා ගත්තු කිහිප දෙනකු නම් ලේ කැටි ගැහීමෙන් ඇති වූ ආබාධ නිසා ලංකාවෙත් ලෝකයේත් මැරිල. 

 

අද පත්තරවල තියෙනවා කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ආයුර්වේද රෝහල් තුනක් විවෘත කරන්න යනව කියල. ඒ අතර මෝනින් පත්තරේ කියනවා ඒ රෝහල්වල ප්‍රතිකාර කරන්න බැහැ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීම පමණයි කරන්න පුළුවන් කියල. ඒ ප්‍රවෘත්තිය නිවැරදි නම් මට කියන්න තියෙන්නෙ අනේ මගේ කට කියලා. අර අප අතර කතාවක් තියෙනවා පස්ස පැත්ත කසා ගන්න නියපොතු නැති අය ගැන.

 

ඇලොපති ක්‍රමයෙ ප්‍රතිකාර කියන්නෙ එකක්.  ආයුර්වේදයෙ ප්‍රතිකාර කියන්නෙ තවත් එකක්. පාරම්පරික වෙද කමේ ප්‍රතිකාර කියන්නෙ වෙන ම ම එකක්. ජී එල් පීරිස්ට අධ්‍යාපනය හදනව නම් කරන්න තියෙන පළමුවෙනි කාරණය තමයි සිසුන්ට විවිධ දැනුම් පද්ධති තියෙනව කියල උගන්වන එක. හැබැයි ඊට ඉස්සෙල්ල ජී එල් ඒක ඉගෙන ගන්න ඕන. ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර කරන්න බැහැ කියල කියන අයකු ඉන්නව නම් ඒ  කවුද? ආයුර්වේද වෙද මහත්තුරු වෙද හාමිනේලා ඒ අය දන්න දේ කරාවි. ඒකට තහංචි දාන්න පුළුවන් අර ලෝකයේ ඇත්තේ එකම දැනුම් පද්ධතියක් පමණයි ඒ දන්නෝ අපි වෙමු කියන උද්ධච්ඡයන්ට පමණයි. මා බටහිර වෙදකම විතරක් නොවෙයි වෙනත් බටහිර දැනුම් ද යොදා ගන්නවා. ඒත් මා එහි ආධිපත්‍යයට යට වෙන්නෙ නැහැ. මට වෙනත් දැනුම් පද්ධතීන් ද තියෙනවා.

 

කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කර ගන්න බැරුව අද බටහිර වෙද මහත්තුරු වෙද හාමිනේලා අනාථ වෙලා. ඔවුන්ගේ සරණට නාථ දෙවියන් එන්නෙත් නැහැ. ඉන්දියාව අද ඔය තත්වයට පැමිණ ඇත්තේ ගෝඨාභය රාජපක්‍ෂගේ වරදින් නො වෙයි. එහෙම කියන්න පුළුවන් නම් ඇතැමුන් සතුටු වේවි. එහි ආයුර්වේද වෙදකම කිරීමට බටහිර වෙද මහත්තුරු මෝදිට ඉඩ දුන්නෙ නැහැ. චීනයේ සාම්ප්‍රදායික වෙදකමත් කෙරුණා. ඔවුන් බොරුවට හරි නැති කම්කරු පංතියක මැයි දිනයක් පැවැත්තුව. අපේ අයත් පෙළපාලි ගියා. ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂවරු ඒව ප්‍රචාරය කළේ නැහැ. රනිල්දාසගෙන් අහල බලන්න.

 

කොවිඩ් 19 රෝගීන්ට  ප්‍රතිකාර කරන්න පාරම්පරික වෙද මහතුන්ටත් ඉඩ දෙන්න ඕන. ධම්මික වෙද මහතාටත් ඉඩ දෙන්න ඕන. මා නම් පැනිය බිවුවා. තවත් දේශීය ප්‍රතිකාර තියෙනවා. එන්නත් ගෙන්නන එක ප්‍රශ්නයක් නොවේවා කියා ප්‍රාර්ථනය කරනවා. ඉන්දියාවෙ එන්නත් හදන ලොක්කා එංගලන්තෙට පැන ගිහින්. වෙන කොහාට පනින්න ද? අපට බොහෝ වයිරස ලැබෙන්නෙ ලැබිල තියෙන්නෙ එංගලන්තෙන්. බටහිර දැනුම එක ම දැනුම ලෙස සලකන්න කියල කියන්නෙත් එංගලන්තෙ. ඒක කෙලින් ම පාසලේ කියන්නෙ නැහැ. ඒත් ඒක අපට කාන්දු කරනවා. ඒක තමයි අපට එංගලන්තෙන් ලැබිල තියෙන භයානක ම වයිරසය.