Main Logo

Wednesday 5 May 2021

ලැජ්ජ නැති කම දොස්තරකමටත් වඩා ලොකුයි

 ලැජ්ජ නැති කම දොස්තරකමටත් වඩා ලොකුයි


බටහිර වෙද මහත්තුරුන් සමහර දෙනකුගෙ ක්‍රියා කලාපය ගැන හිතන විට මට අපේ කියමන් දෙකක් මේ විධියට වෙනස් කරන්න කල්පනා වුණා. මා මේ සඳහන් කරන්නෙ සියලු බටහිර වෙද මහතුන් ගැන නො වෙයි. ඒත් සමහරු ගැන කියන්න වෙන්නෙ  ලැජ්ජ නැති කම දොස්තරකමටත් වඩා ලොකුයි, කන්න බැරි බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන්න පුළුවන් ගොණාට කන්න දෙන්නෙත් නැහැ. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කියන්නෙ තමන්ගෙ වෛද්‍ය ක්‍රමයට වෙනස් එකක් එයටත් පැවැත්මක් තියෙනවා එයටත් ප්‍රතිකාර තියෙනවා කියන එක බටහිර වෙද මහතුන් දන්නෙ නැතුව ද? 


අද කොවිඩ් 19 රෝගයට බටහිර වෙදකමට ප්‍රතිකාරයක් නැහැ. ඔවුන්ට අඩු තරමෙන් රෝගය හඳුනා ගැනීමට ක්‍රමවේදයක් තියෙනවා ද? මා නැවත නැවතත් කියනවා පීසීආර් + වූ පළියට ම යමකු රෝගියකු නොවන බව. අද බටහිර වෙද මහතුන් පීසීආර් + අය සියල්ලන් ම රෝහල්වල නිරෝධායන ආයතනවල ලැගුම් ගන්වන්නේ තමන්ට රෝගීන් හඳුනා ගන්න බැරි නිසයි. අද අර එංගලන්ත වයිරසය ඉක්මනට පැතිරෙනවා කියනවා. ඒකෙන් නිව්මෝනියාව ඉක්මනට වැළඳෙන්න පුළුවන් කියනවා. ඒ කී දෙනකු සුව වෙනවා ද? අද සුව වෙලා කියල පිට කරන්නෙ අර ආයතනයක ටික කලක් ඉන්න කොට පීසීආර්-   වෙච්ච අය. ඔවුන් පීසීආර් - වුණෙ මොන ප්‍රතිකාරෙට ද? 


ඇලොපති ක්‍රමය කියන්නෙ එක් වෛද්‍ය ක්‍රමයක් පමණයි. ආයුර්වේදය කියන්නෙ තවත් දැනුම් පද්ධතියක්. පාරම්පරික වෙදකම තවත් එකක්. තව තියෙනවා, හෝමියෝපති, යුනානි, සිද්ධ ආදී වශයෙන්. මෙරට දේශීය වෛද්‍යවරුන් තමන්ට කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර තියෙනවා කියනවා. ඒ සම්බන්ධ ප්‍රත්‍යක්‍ෂ සාක්‍ෂිත් තියෙනවා. හෝමියෝපති යුනානි සිද්ධ වෙද මහතුන්ටත් සමහර විට ප්‍රතිකාර ඇති. ඔවුන් ගැන වැඩිය කතා වෙන්නෙ නැහැ. ඇලොපති ක්‍රමයෙ වෙදකම් කරන්නෙ රෝගයට. අපේ දේශීය ක්‍රමයෙ වෙදකම් කරන්නෙ රෝගියාට. අවුරුදුු විසිපහකට පමණ ඉහත මේ ගැන කාලෝ ෆොන්සේකා මා සමග වාදයක් කළා. ඔහුට වෙනත් බොහෝ දේ වගේ ම ඒ වෙනසත් තේරුණේ නැහැ. ඔහු කෙතරම් බටහිර විද්‍යාව ගැන කතා කළත් රෝගයට වෙදකම් කිරීම වියුක්ත ක්‍රියාවක් බවත් රෝගියාට වෙදකම් කිරීම සංයුක්ත ක්‍රියාවක් බවත් තේරුම් ගන්න බැරි වුණා. මෙරට බොහෝ බටහිර වෙද මහතුන්ට බටහිර විිද්‍යාඥයන්ට හා වෙනත් ඊනියා උගතුන්ට වියුක්ත කතාව එතරම් තේරෙන්නෙ නැහැ. බටහිර වෙද මහතුන් වියුක්තය කියන්නෙ මොකක් ද කියල දන්නෙ නැතිව රෝගයට වෙදකම් කරනවා. ඒක කරන්න පුළුවන්. ඒත් කොවිඩ් 19 රෝගයට ප්‍රතිකාර නැහැ. ප්‍රතිකාර කරන්න ඉස්සෙල්ල රෝගය හඳුනාගන්න එපායැ.  


ආයුර්වේදයේ හා පාරම්පරික වෙදකමේ කොවිඩ් 19 රෝගීන්ට බෙහෙත් තියෙනවා. ඒ කියන්නෙ ප්‍රතිකාර තියෙනවා කියන එක. කොවිඩ් 19 සම්බන්ධයෙන් බටහිර වෙද මහතුනට වඩා සේවයක් හමුදාවෙන් සිදුවෙනවා. හමුදාව යම් ව්‍යුහයක් යටතේ කොවිඩ් පරිපාලනයක යෙදෙනවා. බටහිර වෙද මහතුන් කරන්නෙ මොනවා ද? වැඩිම වුණොත් කොවිඩ් 19 වයිරසයේ විකෘතීන් එහෙමත් නැත්නම් ප්‍රභේද අඳුනා ගනීවි. සමහර විට රවි කුමුදේශ්ටත් ඒ වැඩේ කරන්න පුළුවන් වේවි. අද රවි කුමුදේශුත් බටහිර වෙද මහතුන් එක්ක හරි හරියට ජනතාවට හා ආණඩුවට උපදෙස් දෙන්නෙ ඒ නිසා ද දන්නෙ නැහැ.  


ඒත් මෙහි සරදම ඒ එකක්වත් නොවෙයි කොවිඩ් රෝගීන් ආයුර්වේද හා පාරම්පරික වෙද මහතුන් වෙත නොයැවීම. දැන් තීරණයක් අරන් තියෙනවා කොවිඩ් රෝගීන් ආයුර්වේද රෝහල් තුනකට යවන්න. ඒත් ඇතැම් වාර්තා අනුව එහි ප්‍රතිකාර කෙරෙන්නෙ බටහිර වෙද මහතුන්ගෙ අධීක්‍ෂණය යටතේ. ඒක මහා පුදුම කතාවක්. රෝගීන්ට ප්‍රතිකාර කරන්න පුළුවන් ආයුර්වේද වෙද මහතුනට ඒ වැඩේ භාර නොකර රෝගයට ප්‍රතිකාර නැති බටහිර වෙද මහත්වරු අනුන්ගෙ රෝහලකට ගිහින් එතැන දන්න වෙද මහතුන් යටපත් කරගෙන. ආයුර්වේද වෙද මහතුන්ට වෙදකම් කරන්න තියෙන අයිතිය බටහිර වෙද මහතුන්ට නවත්තන්න පුළුවන් ද? රෝගීන්ට තමන්ට කැමති ප්‍රතිකාරයක් ගන්න තියෙන අයිතිය නැති කරන්න පුළුවන් ද? කෝ අර තෝරා ගැනීමට ඇති නිදහස? 


පාරම්පරික වෙද මහතුන්ටත් ඔවුන්ගේ ම වූ ප්‍රතිකාර තියෙනවා. මා කොවිඩ් සම්බන්ධයෙන් කරන්නෙ පාරම්පරික වෙදකම්. ඇතැම් ආයුර්වේද වෙද මහතුන් පාරම්පරික වෙද මහතුන්ට තැනක් දෙන්නෙ නැහැ. අපට එකල වැදගත් වුණෙ භාරතය අද ඉන්දියාව හා එංගලන්තය. බටහිර වෙද මහතුන් බොහොමයකට වගේ ම ඇතැම් ආයුර්වේද වෙද මහතුන්ටත් අපේ පාරම්පරික වෙද කම රුස්සන්නේ නැහැ. මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය බොහෝ ඊනියා උගතුන්ට අපේ කම රුස්සන්නෙ නැති වීම. අපි වෙනුවෙන් තොපි කියන ප්‍රතිපත්තියක් අනුගමනය වෙන්නෙ. මෙහි තොපි කියල කිව්වට මේ ඊනියා උගතුන් තොපි කියන්නෙ නැහැ. ඔවුන් කියාවි අපි වෙනුවන් සර්ලා කියලා. මෙරට අයිතිවාසිකම් කියන්න බැරි සිංහල බෞද්ධයන්ට විතරයි. මෙරට සිංහල බෞද්ධයනට හිමි තැන අහිමි කරලා. සර්ලා ඒ තැන අරගෙන! ඒ කිවුවෙ ගෝඨාභය රාජපක්‍ෂ නො වෙයි.  බටහිර දැනුම ලබාගත් සර්ලා.


චීනයෙන් එන්නත ගන්නවට විරුද්ධ අයත් ඉන්නවා. ඔවුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීරණය එන තුරු ඉන්නවා. මෙහෙමත් විගඩමක්. මෙහෙමත් වැඳ වැටීමක්. චීන එන්නත චීනයේ දසලක්‍ෂ ගණනකට දී අවසන්. ඔවුන්ට වරදක් වෙලා නැහැ. තවත් සහතික ඕන ද? චීන එන්නත ගැන වාර්තාවක් ඉදිරිපත් කිරීමට පිලපිටිය කමිටු සාමාජිකයන් චීනයට යවමු ද? කලින් කී පිරිස සමහර විට රුසියාවෙන් ගන්නවටත් විරුද්ධ ඇති. එංගලන්තෙන් ගත්ත එන්නතේ ප්‍රශ්න තියෙනවා. ඒ එන්නත ලබා ගත් අයට දෙවැනි මාත්‍රාව දීම ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නවලට පිළිතුරු තියෙනවා. එන්නත් මිශ්‍ර කරන්න බැරි නම් එංගලන්ත එන්නතේ ක්‍රියාත්මක බව නැති වෙනකම් ඉඳල  ස්පුට්නික් හරි චීන හරි එන්නත මාත්‍රා දෙකක් ලබා දෙන්න පුළුවන්. ඒත් චීන එන්නත?