Main Logo

Sunday 30 May 2021

නූතනත්වය නිසා නැතිවුණු ආධ්‍යාත්මික ගුණය හා වයිරස ප්‍රභේද

 

නූතනත්වය නිසා නැතිවුණු ආධ්‍යාත්මික ගුණය හා වයිරස ප්‍රභේද

 

නූතනත්වය ගැන බොහෝ බටහිරයන් ලියා තියෙනවා. මෙරට පඬි නැට්ටන් ද ඒ සමහරක් පුනරුච්චාරණය කර තියෙනවා. මා ලියන්නේ බටහිර කතා නොවෙයි. බටහිර නූතනත්වය මට දැනෙන හැටියි. ඒ මගේ ඊනියා කියවීමක් නො වෙයි. මා පඬි නැට්ටන් මෙන් කියවන්නේ නැහැ. බටහිරයන් නූතනත්වය කියන දේ ම නූණත් මා බටහිර ක්‍රිස්තියානි නූතනත්වයක් ගැන කියනවා. ඒ ගැන නැවතත් ටිකක් කතා කරන්න ඕන.

 

එයට හේතුව කොවිඩ් 19 යැයි කීම පුදුමයක් වෙන්න බැහැ. අද එන්නත ගැන ලොකු උනන්දුවක් තියෙනවා. මෙරට නිලධාරීන්ගේ දක්‍ෂතාව නිසා ජනතාව පොරකකා එන්නත ලබා ගන්නවා. එන්නත ලබා ගන්න. ඒ අතර මේ ටිකත් හිතන්න. කොවිඩ් 19 ගැන බිය වන්න එපා. එහෙත් කොවිඩ් 19 ඉක්මණින් ලෝකයෙන් තුරන් වේය කියා හිතන්නත් එපා. කොවිඩ් 19 පාලනය කෙරී ඇතැයි සිතූ ඕස්ත්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ හා වියට්නාමයේ නැවතත් කොවිඩ් පැතිර යනවා.

 

වියට්නාමයේ සාම්ප්‍රදායික ක්‍රම ද අනුගමනය කෙරුණා. ඔවුන්ට නවත ම කොවිඩ් 19 ව්‍යාප්තිය නැත්නම් රැල්ල නවත්තන්න ද පුළුවන් වේවි කියා ප්‍රාර්ථනය කරනවා. වියට්නාමයෙහි අලුත් ම වයිරස ප්‍රභේදයක්, දෙමුහුන් ප්‍රභේදයක් ඇතැයි කියනවා. කොවිඩ් 19 වයිරසයේ තියෙන ප්‍රධාන ම ප්‍රශ්නය එහි ප්‍රභේද ඇති වීම. මේ ඇතැම් ප්‍රභේද ඊනියා විකෘතීන්. වියට්නාමයේ අලුත් ම දෙමුහුන් ප්‍රභේදය වාතය ඇසුරෙන් පැතිර යනවා කියනවා. මා අහන්නේ නැහැ තිස්ස විතාරණ ඒ ගැන මොකද කියන්නෙ කියා. ඇහුවත් ඔහුට බටහිර පොතක් පතක් බලන්නෙ නැතිව කිසිවක් කියන්න බැහැ.

 

එන්නත අවුරුදු පතා ලබා ගන්න ඕන කියා කියනවා. එය නම් තරමක ප්‍රශ්නයක් වුණත් සැලසුමක් ඇතිව කෙරුණොත් කරදරයක් වෙන එකක් නැහැ. එහෙත් එක්තරා බටහිර විද්‍යාඥයෙක් තරමක වෙනස් කතාවක් කියනවා.  ඒඩ්ස් වයිරසය හඳුනාගැනීම වෙනුවෙන් 2008 දී නොබෙල් ත්‍යාගය දිනාගත් ප්‍රංශ වයිරස්වේදියකු වූ ලු මොන්ටැනියර් (Luc Montagnier - නමේ උච්චාරණය නිවැරදි ද කියා මා දන්නේ නැහැ)  පසුගිය දා පියරි බානේරියස්  (Pierre Barnérias) සමග කරන ලද සාකච්ඡාවක දී කියා සිටියේ එන්නත නිසා අලුත් වයිරස ප්‍රභේද ඇති වන බවයි. ඔහු කියා සිටියේ බටහිර විද්‍යාඥයන් ප්‍රතිදේහ පරායත්ත වර්ධනය (antibody dependent enhancement) යනුවෙන් කියැවෙන මේ සංසිද්ධිය දන්නා බවයි. ඔහුට අනුව එන්නතට ඔරොත්තු දිය හැකි ප්‍රභේද වයිරසය විසින් තැනෙනවා.

 

මොන්ටැනියර් මින් පෙර සයන්ස් සඟරාව සමග 2010 දී කරන ලද සාකච්ඡාවක දී හෝමියෝපති වෙදකම වෙනුවෙන් පෙනී සිටියා. ඔහුගේ කතාවෙන් ඊට කලින් 1988 දි යක් බෙන්විනිස්ට් (Jacques Benveniste)  නේචර් සඟරාවේ පළ කළ පත්‍රිකාවක් පිළිබඳ මතකය අවදි කළා.  බෙන්විනිස්ට කියා සිටියේ ඉතාමත් තණුක ද්‍රාවනයක වුවත් දිය වූ අණුවේ ස්මරණයක් (මතකයක්) තිබිය හැකි බවයි.

 

එහෙත් ඇලොපති හෙවත් බටහිර වෙද මහත්තුරු එයට විරුද්ධ වුණා. ඔවුන් එය නොපිළිගත්තා පමණක් නොව නේචර් සඟරාවට එම ලිපිය අස්කරන ලෙසට බලපෑම් කළා. අවසානයේ දී නේචර් සංස්කාරක මැඩොක්ස්ගේ සභාපතිත්වයෙන් පත් කෙරුණු කමිටුවක් මගින් එම පත්‍රිකාව අස්කිරීමට තීරණය කෙරුණා. මේ කතාව එකල මා කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන්ට කිවුවා. ඇතැමුන්ට ඒ බව මතක ඇති. බටහිර විද්‍යාවේ පොලීසියක් තියෙනවා. එය බටහිර විද්‍යාවේ ප්‍රධාන ධාරාවෙන් පිටත ඇති වන අදහස් මර්දනය කිරීමට කටයුතු කරනවා. ජී එල් පීරිස් හා කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු මා ජාතික චින්තනය උගන්වන බව කිවුවේ මෙවැනි දේ සඳහන් කිරීමට. බෙන්විනිස්ට් කී දෙය තවත් නොබෙල් ත්‍යාගලාභියකු වූ ජෝසෆ්සන් පිළිගත්තා. ජෝසෆ්සන් නමින් පරිපථ සන්ධි නම් කෙරී තියෙනවා.

 

ඔය කතා එකල කොළඹ ශාස්ත්‍ර පීඨයේ හා නීති පීඨයේ කඩු කිණිසි රැගෙන විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සැරිසැරූ සුවාදින ත්‍රස්තවාදීන් හා ජ වි පෙ ත්‍රස්තවාදීන් දන්නේ නැහැ. ඔවුන් සිතන්නේ විද්‍යාවට කෙරෙන  එවැනි පහරදීම් නිසා රට ගොඩ ගැනීමට බැරි තත්වයකට යන බවයි. ඒ මොකක් වුණත් බටහිර විද්‍යාවේ විකල්ප දැනුම්වලට තැනක් නැහැ. ඇලොපති වෙද මහත්තුරු තම අධිකාරිය යොදා හෝමියෝපති පමණක් නොව වෙනත් වෛද්‍ය දැනුම් පද්ධති ද මකා දැමීමට කටයුතු කරනවා. මේ කතා ගැන පසුව ඉඩ ලැබෙන පරිදි සාකචඡා කරමු.

 

අපට දැනට වැදගත් වන්නේ මොන්ටැනියර් කරන ප්‍රකාශයයි. අර එන්නත නිසා වයිරස් ප්‍රභේද බිහි වීමයි.  අප තවමත් කරන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය පසුපස යමින් හුදු භෞතික කරුණු මත පමණක් යැපීමයි. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ඇරඹුණේ පහළොස්වැනි සියවසේ ඉතාලියේ පිරෙන්ට්සි නගරය ආශ්‍රිත ව. එ නගරයට ඉංගිරිසින් කියන්නේ ෆ්ලොරන්ස් කියායි. ගාල්ලට ගෝල් කියනවා වගේ. පිරෙන්ට්සි නගරයේ තමයි අලුත් චිත්‍ර හා ප්‍රතිමා කලාවක් නිර්මාණය වුණේ.  එය වර්ධනය වී පෞද්ගලිකත්වය බිහි වුණා. මා මේ ගැන ලියා තියෙනවා.

 

බටහිර ක්‍රිස්තියානි නූතනත්වය රඳා පවතින් යුදෙවු වියුක්ත චින්තනය, ග්‍රීක ස්වසිද්ධිමය දැනුම හා ක්‍රිස්තියානි පෞද්ගලිකත්වය (වෙන් කිරීම) ආශ්‍රිතවයි. යුදෙවු හා ග්‍රීක දැනුම අවුරුදු දෙදහසකට වඩා පැරණි වුවත් ඒ එකතු කර පෞද්ගලිකත්වය නැත්නම් වෙන්කිරීම ද ඇතිව අලුත් චින්තනයක් ගොඩ නැගුණේ ඉතාලියේ දකුණු දිශාවේ. මේ අලුත් චින්තනයෙන් ආධ්‍යාත්මික සංරචකය නැත්නම් කොටස පළවා හැරුණා. ඒ චින්තනය මත තමයි යටත්විජිතවාදය ධනවාදය මෙන් ම බටහිර විද්‍යාව ද ගොඩ නගුණේ. අද ඒ චින්තනය, ධනපති ක්‍රමය වගේ ම බටහිර විද්‍යාව ප්‍රමුඛ බටහිර දැනුම ද කඩා වැටෙමින් පවතිනවා. පාප් වහන්සේ එකල බලවත් රටවල් වූ ස්පාඤ්ඤයට හා පෘතුගාලයට ලෝකය බෙදා දුන්නේ අලුත් චින්තනය නිසා තම බලතල ද අහිමි වන බව නොදැන.

 

අපි එන්නත විදගමු. හෝමියෝපති, ආයුර්වේද, සිංහල පාරම්පරික හා වෙනත් වෛද්‍ය ක්‍රම ද යොදා ගනිමු. ඒ අතර නැවතත් ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙමු. කොවිඩ්  කෙසේ ඇති වුණත් එය අවසානයේ දී පරාජය කළ හැක්කේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය නිසා නැති වුණු ආධ්‍යාත්මික ගුණය නැවත ඇති කර ගැනීමෙන්. පහුගිය අවුරුදු පන්සීයක පමණ කාලයක බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ අධාර්මික ජීවන රටාව වෙනස් කිරීමට කොවිඩ් 19 අපට බල කරනවා.