Main Logo

Thursday 27 May 2021

සාමාන්‍ය මිනිසුන්ගෙ හා වැදගත් බටහිර වෙද මහතුන්ගෙ සුද්දෙ

 

සාමාන්‍ය මිනිසුන්ගෙ හා වැදගත් බටහිර වෙද මහතුන්ගෙ සුද්දෙ

 

උස්වැටකෙයියාව හා මීගමුව අතර වෙරළ තීරයට ගිනිගත් නැවේ තිබූ ඇතැම් ද්‍රව්‍ය පාවෙලා ඇවිල්ලා. මිනිසුන් සංචරණ නීති බල්ලට දමා (බල්ල කීයටවත් සංචරණ නීති පිළිපදින්නෙ නැති වුවත්) ඒ ද්‍රව්‍ය අහුලන්න ගිහින්. ඇතැමුන්ට ඒක සාමාන්‍ය මිනිසුන්ගෙ සිද්ධියක් වෙන්න පුළුවන්.  අද සිංහල මිනිසුන් වැඩ කරන විධිය ගැන එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් ටික කලකට පෙර ප්‍රකාශ කෙළේ නොමිළේ දෙනව නම් සිංහල මිනිසුන් තමන්ට නොතේරෙන දෙමළ පත්තරයක් ගැනීමට වුණත් හැතැප්ම ගණනක් පයින් යාවි කියා. ඒ හාමුදුරුවන් එක්තරා ආකාරයකට නූතන ධර්මසේන හිමි නමක්.

 

ඒත් ඉංගිරිසින්ගෙ මුල් කාලෙ හා මැද කාලෙ සිංහල මිනිසුන් එහෙම නො වෙයි. ඉංගිරිසි ඒජන්ත ම කියනව පොසොන් දාට අනුරාධපුරේට එක්වෙන සෙනග ආපහු යන්න ඉස්සෙල්ල හිටපු තැන් අතුගාල සුද්ද කරල යන්නෙ කියල. ඒ විතරක් නොවෙයි ජය ශ්‍රී මහා බෝධියෙ පිං පෙට්ටිය ආරක්‍ෂා කරන්න කිසිවකු නොහිටියත් එයට කිසිවකු අත නොතියන බවත් ඔහුගෙ වාර්තාවෙ සඳහන් වෙනවා. දැන් ඒ වාර්තාවට මූලාශ්‍ර ඉල්ලන්න එපා. මූලාශ්‍ර ගැන දන්න අය අදාළ වාර්තාව ගැන කියාවි.

 

එකල සිංහල මිනිසුන් තමන් හිටි තැන සුද්ද කරල ගියෙ. අද ඉන්න සිංහල මිනිසුන් අවස්ථාවක් ලැබුණොත් පිං පෙට්ටිය සුද්ද කරාවි. දෙක ම සුද්ද කිරීම්. එකක් සුද්ද එන්න ඉස්සර, අනෙක සුද්ද ආවට පස්සෙ. අපේ ප්‍රශ්නය සුද්ද සුද්ද කිරීමට නොහැකි වීම. ඒ වෙනුවට සුද්ද අප සුද්ද කරගෙන ගිහින්. තවමත් සුද්ද කරනවා. අපත් සුද්ද අනුව හැකි අවස්ථාවල සුද්ද කරනවා.

 

මේක සාමාන්‍ය මිනිසුන්ගෙ ගතියක් නොවෙයි. සාමාන්‍ය මිනිසුන් යමක් ඉගෙන ගන්නෙ ඉහළ අයගෙන්. ඉහළ අය අනුකරණය කිරීම අවශ්‍ය නම් අනුගමනය කිරීම සාමාන්‍ය සිරිත. කාට හරි පුළුවන් ඊනියා සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක් කරල ඒකෙ තුන්හුලස් ඇර ගන්න. සුද්ද අප සුද්ද කරන හැටි බලන් ඉඳලා ඔවුන් ළඟින් ඇසුරු කළ ඊනියා ප්‍රභූන් සුද්දන්ගෙ සුද්ද කිරීම් ඉගෙන ගන්න ඇති. සුද්දන් අපෙන් වැඩ ගත්තෙත් අපේ දේ ලබා ගත්තෙත් කුණු කොල්ලයට. අපේ පුස්කොළ පොත් වටින ප්‍රතිමා එංගලන්තෙට අරන් ගියෙ අප සුද්ද කරල නෙවෙයි ද?

 

කවුරු හරි කියන්න බැරි නැහැ ඒ දේ එංගලන්තෙ කෞතුකාගාරවල සහ වෙනත් ආයතනවල තියෙන එක හොඳයි කියල. සුද්දගෙන් අප ඉගෙන ගත් සුද්ද කිරිල්ල අනුව ඒව ආපහු ගෙනාවොත් හොඳ සුද්දයක් දාවි කියල කියන්න ඉඩ තියෙනවා. සුද්ද කිරිල්ල ශුද්ධොදන රජුගෙ නමින් දැන් කියවෙන්නෙ කාගෙ වුවමනාවට ද කියලත් හොයල බලන්න ඕන. ඊයෙ මැදගොඩ අභයතිස්ස හාමුදුරුවො මහාමායා දේවිය නැති වන විට එහෙමත් නැත්නම් සිදුහත් කුමරු උපදින විට එතුමියගෙ වයස ගැන සඳහන් කළා. ඒ කියන විධියට ශුද්ධෝදන රජුටත් ඒ කාලෙ අවුරුදු හතළිස් පහක් පනහක් පමණ වෙන්න ඇති. එතුමා ඔය සුද්දන් වගේ සුද්ද කරපු අයෙක් නො වෙයි. එතුමාට අවසානයේ දී කිසිවකු නැති වුණා. එතුමා සුද්ද වුණා. එහෙත් අවසානයේ දී එතුමා කෙළෙස්වලින් සුද්ද වී පිරිනිවන් පෑවා.

 

සුද්දන්ගෙන් ඊනියා ප්‍රභූන්ටත් ඔවුන්ගෙන් සමාජ ධුරාවලියේ පහතට පහතට ඇවිත් අද වන විට සිංහලයන් නොමිළේ දෙන ඕන දෙයක් ලබා ගන්න පුරුදු වෙලා. අර මුහුදු වෙරළට ගසා ගෙන ආ ද්‍රව්‍ය මොනවද කියලවත් ඒ සුද්ද කරපු සමහරු දන්නෙ නැතිව ඇති.  සමහරු හිතනව ඇති ඒ විකුණගන්න. කවුරු හරි පඬියකු කියන්න පුළුවන් අද සියලු දෙනා මුදල් පස්සෙ යනව කියල. ඒක වැරදියි. මිනිසුන්ට ඕන ඊනියා ලස්සන ජීවිත ගත කරන්න. හොඳ ගෙයක්, හොඳ පාසලක්, හොඳ නගරයක්, ආදී වශයෙන් ගිහිල්ල හොඳ අවමංගල්‍යයක් අර රෙස්පෙක්ටබල් එකක්, අවශ්‍ය වෙන්නෙ. හොඳ පුනබ්බයක් අවශ්‍ය නැහැ. පඬියන් කියල තියෙනව නොවැ පුනබ්බවයක් නැහැ කියලා.

 

හොඳ කියන එක වැදගත් කියන එකත් එක්ක සම්බන්ධයි. ඉංගිරිසින් වෙන්න ඇති, සමහරවිට ලන්දේසීන් වෙන්නත් පුළුවන්, ඔය වැදගත් සංකල්පයෙ නිර්මාතෘවරුන්. මා කිවුවෙ සංකල්පය වැදගත් කියන එක නොවෙයි. වැදගත් කියන සංකල්පය ගැනයි කිවුවෙ. අර චරිත සහතිකවල ඒ දවස්වල වැදගත් පවුලක සාමාජිකයෙක් කියල ලිවුව. ඉංගිරිසියෙන් රෙස්පෙක්ටබල්. දැනුත් ඒ වචනෙ ඇහෙනවා. අද නම් බිෂොප්, දොස්තර, නීතිඥ, ව්‍යාපාරික අය වැදගත්. කම්කරුවන් ද ඒ සංස්කෘතියෙ වුණත් ඔවුන් වැදගත් නැහැ.

 

ගිනිගත් නැවේ බඩු අහුලන්න ගිය අය වැදගත් ද නැද්ද යන්න අපි දන්නෙ නැහැ. ගිනිගත්හේනෙ නම් මොනවක්වත් අහුල ගන්න එකල ඒකෙ වැඩ නොකරපු අය යන්නෙ නැතිව ඇති. අද එහෙම නොවෙයි. අද මේ කොවිඩ් 19 එක්ක ගිනිගත් හිසින් වැඩ කරන අය ඉන්නවා. ඒ අස්සෙ එන්නත් පන්නපු අයත් ඉන්නවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ සංගමය තම පවුල්පල සාමාජිකයන්ට කියල එන්නත් අරගෙන. මේ පවුල් සාමාජියන් කවුද කියල හොයන්න කොමිසමක් පත් කරන්න කියල මා කියන්නෙ නැහැ. ඒත් පවුල් අවුල් තියෙනව කියල දන්න අය කියනවා.

 

මේ වැදගත් ය කියන පිරිසක් වැඩ කරල තියෙන හැටි. ඒ අයගෙ වැදගත්කම සභාපතිතුමාගෙන් පේනවා. ඔහු මහනුවර පැවති සජිත් ජනාධිපති අපේක්‍ෂකත්වයට යෝජනා කරපු රැස්වීමෙත් හිටියා. මේ සාමාන්‍ය මිනිසුන් නො වෙයි. ඔවුන් කරන්නේ තම බල පුලුවන්කාරකම් යොදා ගෙන සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය් ම වෙනත් අත්‍යවශ්‍ය පුද්ගලයන්ට ලැබෙන්න තියෙන එත්නත් තමන්ට ලබා ගැනීම. අනෙක් අතට එම සංගමයේ සියල්ලන්ට ම ඔය බලපුලුවන්කාර පහසුකම ලැබෙනව කියල හිතන්නත් බැහැ. ඕක ලැබෙන්නෙ ඒ සංගමයෙත් ටික දෙනකුට හා ඔවුන්ගේ ඊනියා පවුල් සාමාජිකයන්ට. මේකත් අහුලා ගැනීමක්. උස්වැටකෙයියාවෙ ම වගේ අහුලා ගැනීමක්. අහුලා ගත් දේ ඒක රෝද, ද්වි රෝද, ත්‍රිරෝද රියවල ගෙනි යන්න අවශ්‍ය නැහැ.

 

මේකත් සුද්දයක්. ඊනියා වැදගතුන්ගේ සුද්දයක්. ඔය මහත්තුරු කොවිඩ් 19 වෙනුවෙන් කරල තියෙන්නෙ මොනවා ද? මිනිසුන් බය කිරීම හැර වෙනත් දෙයක් කරල තියෙනවා ද? අහුලන් කන අය සාමාන්‍ය මිනිසුන් අතරත් ඊනියා වැදගතුනුත් අතර ඉන්නවා. පනුවන් (අහුලන්) කන සාම පරෙවියන් වැදගත් ද සාමාන්‍ය ද කියා  පඬි නැට්ටකුගෙන් අහන්න ඕන.