Main Logo

Monday 17 May 2021

කොවිඩ් 19 හා මැකෝලි නැට්ටෝ

 

කොවිඩ් 19 හා මැකෝලි නැට්ටෝ

 

කොවිඩ් 19 වසංගතය ලංකාවේ තරමක් බරපතළ වෙලා.  පළමු අවස්ථා දෙකේ දී ම යම් පමණකට හරි කොවිඩ් පාලනය කරන්න අපට පුළුවන් වුණා. දෙවැනි අවස්ථාවේ යම් යම් ප්‍රශ්න නොතිබුණා නො වෙයි. එහෙත් අවුරුද්දකට පමණ ඉස්සර කොවිඩ් මරණ සංඛ්‍යාව ඉතා සුළු ප්‍රමාණයක්. එදා තිබූ අද නැති සාධක මොනවා ද? එදා නොතිබූ අද ඇති සාධක මොනවා ද? මා ඒ ගැන  ලියා ඇති බැවින් නැවතත් ලියන්න අදහස් කරන්නේ නැහැ. එහෙත් නොකියා ම බැරි කරුණ තමයි එකල තිබූ දේශීය දැනුම් හා ආධ්‍යාත්මික නැඹුරුව අද නොමැති වීම හා අද බටහිර දැනුම් ආධිපත්‍යය තහවුරු වීම. තවමත් ආයුර්වේද රෝහළේ ඇඳන් රෝගීන් ඉල්ලමින් උඩ බලන් ඉන්නවා.

 

කොවිඩ් සම්බන්ධයෙන් එයට අමතර ව එහෙමත් නැත්නම් ඒ හා අනුබද්ධ තවත් සාධක තුනක් තියෙනවා. අප දැන් වැඩ කරන්නේ බටහිර දැනුම් ආධිපත්‍යය යටතේ. සෞඛ්‍ය අමාත්‍යාංශය එයට යටවෙලා. ඒත් අපට බටහිර රටවල් මෙන් කටයුතු කරන්න බැහැ. අප ධනය අතින් දුප්පත්. එන්නත් ලබා ගැනීමත් අපට ප්‍රශ්නයක් වෙලා. ඒ මිළ නිසාමත් නොවෙයි. අද හැම රටකට ම එන්නත අවශ්‍යයි. ඒ අවශ්‍යතාව පිරිමසා ගැනීමේ දී දුප්පත් රටවල් ඉන්නේ ලැයිස්තුවේ අග.  අපට බටහිරයන්ට මෙන් ඕන ඕන විධියට රට වහන්න බැහැ. අප රටේ එදිනෙදා වැඩක් පළක් කරල ජීවත් වෙන ප්‍රමාණය අධිකයි. ඔවුන් ගැන ගොවීන් ගැන ධීවරයන් ගැන හොයන්න ඕන. රට වහලා ඔවුන්ට දීමනාවක් දෙන්නට තරම් අප පොහොසත් නැහැ.

 

අපට ඇති දෙවැනි ප්‍රශ්නය බටහිර වෙදකම හා සම්බන්ධයි. සෞඛ්‍යයට සම්බන්ධ නිලධාරීන් පවා තවමත් හිතන්නේ යමකු පීසීආර් + නම් ඒ රෝගීයකු  කියා. ඒ මතය ජනතාව අතරට යෑම ගැන ජනමාධ්‍ය මෙන් ම බටහිර වෙදකමට සම්බන්ධ බොහෝ දෙනා ද වග කියන්න ඕන. කොවිඩ් රෝගියකු හඳුනාගැනීම පිළිබඳ ප්‍රශ්නයක් අද තියෙනවා. ඒ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් නැති නිසා පීසීආර් + නම් රෝගියකු කියන්න පුරුදු වෙලා. පීසීආර් + අයට කොවිඩ් 19 වැළඳීමට ඉඩක් තියෙනවා වෙන්න පුළුවන්. ඇතැමුන් පීසීආර් + අය නිවෙස්වල තබා ගැනීමට විරුද්ධ වන්නේ පීසීආර්+ නම් රෝගී කියන්න මුල ඉඳන් ම අපි පුරුදු වුණ නිසා. පීසීආර් + බව දින කිහිපයකින් පීසීආර් - වෙන්න පුළුවන්. අද බටහිර රෝහල්වල ඊනියා ප්‍රතිකාර ලබ සුව වී ගෙදර යනවා කියන්නේ කිසිම ප්‍රතිකාරයක් නැතිව පීසිආර් + පීසීආර් - වුණු අය. ඔවුන්ට සුව වෙන්න රෝගයක් තිබුණෙ නැහැ.

 

පීසීආර් + අය ගැන අප පමණක් නොව සියලු දෙනා ගැන ම අප විමසිල්ලෙන් ඉන්න ඕන. අද පීසීආර් - අයකු හෙට පීසීආර් + වෙන්න පුළුවන්. අනිද්දා රෝගියකු වෙන්න පුළුවන්. රෝගියකු හඳුනාගැනීම සඳහා සරල නිර්ණායක කිහිපයක් කියන්න පුළුවන් ද? මට තේරෙන විධියට කොවිඩ් සෙම කිපීමෙන් ඇති වන රෝගයක්. සෙම කිපීමෙන් සිරුරේ තුන්දොස් අතර ඇති සමබර බව බිඳෙනවා. ප්‍රතිකාර අවශ්‍ය ඒ සමනය කර ගැනීමට. අපට මෙය අවශ්‍ය නම් සමතුලිතබව නැති වීම කියන්න පුළුවන්. එහි ස්වභාවය අනුව ඒ ගතික සමතුලිතතාවක්.

 

මෙය ප්‍රතිශක්තිකරණය නැති වීම හා වර්ධනය කිරීම ලෙසත් කියන්න පුළුවන්. එහෙත් එය සංකල්ප පටලවා ගැනීමක් ලෙසයි මට හිතෙන්නෙ. අපි අර තුන්දොස් කිපීමට හා සමනය කිරීමට සීමා වෙමු. අවශ්‍ය ම නම් ගතික සමතුලිතතා කතාව යොදා ගනිමු. නාඩි ශාස්ත්‍රයෙන් මේ තුන්දොස් කිපීම දැන ගන්න පුළුවන්. එහෙත් අපේ වෙදකම නාඩි ශාස්ත්‍රයට පමණක් සීමා නොවූ බවත් කියන්න ඕන. අපේ වෙද මහතුන් හරි රෝගීන් හඳුනාගැනීම සඳහා සරල ලක්‍ෂණ කිහිපයක් කියනවා නම් හොඳයි.

 

බටහිර එන්නත ප්‍රතිකාරයක් නො වෙයි. එය රෝගය වැළඳීම වැළැක්වීම සඳහා කරන උපායක්. ඒ උපාය ඒ ආකාරයෙන් ම නූණත් භාරතයේත් තිබුණා. සමහර විට උපාය රෝගය වැළඳුණු අයට ප්‍රතිකාරයක් වෙන්නත් පුළුවන්. ධම්මික වෙද මහතාගේ පැනිය එවැන්නක් කියා හිතෙනවා. පැනිය ගැන කියන විට අපට අපේ උද්භිද විද්‍යා විශේෂ උපාධිධාරියකු වූ රියැදුරු මහතකු සෞඛ්‍යයට හොඳය කියා ඉස්ම සහිත ඉඟුරු ගෙනත් දුන් බව කියන්න ඕන. අර පැනියෙ තිබුණෙත් ඉඟුරු ගම්මිරිස් සාදික්කා ආදිය. මියන්මාහි කොවිඩ් එතරම් පැතිරීමක් නැහැ.

 

අද කළ යුත්තේ පීසීආර් + වුවත් නිවසේ තබා ගැනීම හා රෝග ලක්‍ෂණ පහළ වුණොත් බටහිර රෝහලකට හරි ආයුර්වේද රෝහලකට හරි ගෙන යෑම. ඒ අතර තමන් කැමති නම් අද  ඇති විවිධ දේශීය ප්‍රතිකාරත් ගන්න පුළුවන්. එය වළක්වන්න බටහිර වෙදකමට හරි බටහිර වෙද මහතුන්ට හරි සෞඛ්‍ය අමාත්‍යංශයට හරි බලයක් නැහැ.

 

අපට කොවිඩ් සම්බන්ධයෙන් ඇති තුන්වැනි ප්‍රශ්නය කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නය. අපත් වෙනත් බොහෝ ආසියාතික රටවලුත් අතරමං වූ පිරිස්. අපට අපේ ලොවත් නැහැ, බටහිර ලොවත් නැහැ. කළමනාකරණය පිළිබඳ බොහෝ දේ කියන්න තියෙනවා. අද අපට අපේ කළමනාකරණය අහිමි වෙලා. එය තවමත් පවතින්නේ පන්සලේ හා පෙරහැරේ පමණයි. නුවර පෙරහැර සංවිධානය කරන එක ලෙහෙසි පහසු වැඩක් නො වෙයි. පන්සලේ පින්කම් දාන මාන අපි පිළිවෙළට කරනවා. ඒත් අපට පිළිවෙළකට කොවිඩ් එන්නත ලබා දෙන්න බැහැ. රෝගීන් රෝහල්වලට ඇතුල් කිරීම පිළිවෙළකට කරන්න බැහැ. ඒ කියන්නේ අපට බටහිර පිළිවෙළ නැහැ කියන එකයි.

 

එංගලන්තයේ කොවිඩ් එන්නත ලබා දෙන අපුරුව පිළිබඳ අපට කියන්න පුළුවන්. අපට බටහිර පිළිවෙළ අනුගමනය කරන්න බැහැ. මෙය සංස්කෘතික ප්‍රශ්නයක්. එහෙමත් නැත්නම් දැනුම් පද්ධති අතර ප්‍රශ්නයක්. කොවිඩ් එන්නත පිළිවෙළකට කරන්න නිලධාරීන්වත් සාමාන්‍ය ජනයාවත් එකතු වන්නේ නැහැ. පැය හයක් පෝලිමේ ඉන්නෙ නැතිව එන්නත ලබා ගන්න පුළුවන් වෙන්න ඕන. එයට ඇති එක ම ක්‍රමය විද්‍යුත් මෙහෙයුමක් නො වෙයි.

 

බටහිර වෙදකම සඳහා 1870 මෙරට වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවූයේ එංගලන්තයෙන් වෙදකම් කිරීම සඳහා බටහිර වෙද මහත්වරු ගෙන්වා ගැනීම වියදම් අධික දෙයක් නිසා. ඉංගිරිසින්ට අවශ්‍ය වුණෙ සාමාන්‍ය ලෙඩකට බෙහෙතක් දෙන්න පුළුවන් බලපත්‍රලාභීන් පිරිසක් බිහි කර ගැනීමයි. මා මේ දිනවල ආනන්ද ඩයස් ජයසිංහ මහතා රිච්මන්ඩ් විදුහලේ අමතක වූ ඉතිහාසය මැයෙන් ලියා ඇති පොතක් කියවනවා. රිච්මන්ඩ් ඉතිහාසය 1814 දක්වා දිව යන බව එහි සාක්‍ෂි සහිත ව පෙන්වනවා. එය රිච්මන්ඩ් ඉතිහාසය ගැන මෙන් ම මෙරට අධ්‍යාපනය හා සමාජ පසුබිම ගැන ද ලියැවුණු පොතක්.  එහි සඳහන් එක් කරුණක් නම් ඉංගිරිසින් මෙරට ඉංගිරිසි මාධ්‍ය පාසල් පිහිටුවූයේ එංගලන්තයෙන් අධික වියදමක් දරා පිරිස් ගෙන්වන්නෙ නැතිව රජයේ වැඩ කර ගැනීමට අවශ්‍ය සුලු නිලධාරීන් මෙහි දී ම බිහි කර ගැනීමට බව. මේ සුලු නිලධාරීන් සුලු වෙද මහතුන් බිහි කිරීමට ගත් පියවර පසු කලෙක මැකෝලි ඉන්දියාවෙ දි ආකල්පමය වෙනසකට භාජනය කිරීමට උත්සාහ කළා. ඔහුට අවශ්‍ය වූයේ හමෙන් දුඹුරු වුවත් ඉංගිරිසින් මෙන් හිතන පිරිසක් බිහි කිරීමට.

 

එහෙත් මැකෝලි අසමත් වෙලා. අපට ඉංගිරිසින් මෙන් හිතන්න බැහැ. අප තවමත් ඉංගිරිසින්ගෙ සුලු නිලධාරීන් හා සුලු වෙද මහතුන් පමණයි. මෙරට අද කළමනාකරණ පීඨ රාශියක් තියෙනවා. එහෙත් ඒ එකකටවත් ඉංගිරිසින් මෙන් කළමනාකරණය කළ හැකි අයකු බිහි කර ගන්න බැහැ. අපට ඉන්නෙ පඬිනැට්ටන් පමණයි. මැකෝලි නැට්ටන් කිවුවත් කමක් නැහැ.