Main Logo

Friday 28 May 2021

තිස්ස විතාරණ වාතය හා සමසමාජය

 

තිස්ස විතාරණ වාතය හා සමසමාජය

 

තිස්ස විතාරණගේ වාතයෙන් කොවිඩ් බෝ නොවීම ගැන කියන්න ඕන. ඊට කලින් තිස්ස විතාරණ හා සමසමාජ ව්‍යාපාරය ගැනත් යමක් කියන්න ඕන. මා පළමු වරට තිස්ස විතාරණ දුටුවේ ලෙස්ලි ගුණවර්ධන සහෝදරයාගේ රාජකීය විදුහල අසළ වූ නිවසේ දී පැවැත් වූ සමසමාජ ශිෂ්‍ය ව්‍යාපාරයේ රැස්විමක දි. වාමාංශිකයන්ගේ සහෝදරයා කියන එක කිසිම තේරුමකට ඇති වචනයක් නොවන බව එකල මට තේරුණේ නැහැ. තිස්ස විතාරණ එකල කණිෂ්ඨ වෛද්‍යවරයෙක් වූවා. ඔහු රැස්වීමට පැමිණ සිටියේ අපට ගුරුහරුකම් දීමට.  අප කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් වූවා. එකල මා සමග සමසමාජ ව්‍යාපාරයේ බූද්ධදාස ප්‍රේමරත්න නම් ශිෂ්‍යයෙක් හිටියා. ඔහුට මිතුරන් කිවුවෙ බු කියායි. ඔහු තම නම ලිවුවේ බු ප්‍රේමරත්න කියායි. සමසමාජ ශිෂ්‍ය ව්‍යාපාරයේ දැවැන්ත නායකයකු වූයේ විජේදෝරු. මට මතක හැටියට ඔහුගෙ සම්පූර්ණ නම බර්නාඩ් සීසර් පෙරේරා මිහිඳුකුල විජේදෝරු. ඔහු පාසලේ මට වඩා පංති හතරකට පහකට ඉහළින් හිටියෙ. බු ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙක්. ඒ විදුහලේ ම ඉගෙන ගත් විජිතසිරි ධර්මවර්ධන මාක්ස්වාදී න්‍යායාචාර්යවරයෙක්.මා හිතනවා නම හරිය කියා. විජේදෝරු හෙවත් දෝරු ක්‍රියාකාරිකයෙක්. එකල වික්‍රමබාහුත් තරමක න්‍යායාචාර්යවරයෙක් මෙන් ම ක්‍රියාකාරිකයෙක් ද වුණා. ඔහු බු සමග පාසලේ එකට ඉගෙන ගත්තෙක්.

 

තිස්ස විතාරණ එන් එම් පෙරේරාගේ බැණා කෙනෙක්. එන් එම්ගේ සහෝදරියක වූ මැගී පෙරේරා මහත්මියගේ පුතෙක්. තිස්ස විතාරණ ඉගෙන ගත්තේ ත්‍රිත්ව හා ආනන්ද විදුහල්වල. ඔහු ඒ පාසල් දෙක ම වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කර තියෙනවා. එන් එම් ශාන්ත තෝමස් හා ආනන්ද විදුහල් දෙක වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කර තියෙනවා. තිස්ස විතාරණ අද සමසමාජ පක්‍ෂයේ නායකයා.  තිස්ස විතාරණගේ අභාවයත් සමග සමසමාජ ව්‍යාපාරයත් ඉතිහාසයට එකතු වෙනවා. විශ්වවිද්‍යාල සමයේ මගේ හොඳ ම මිතුරා බු කොහේ ඉන්නවා ද කියාවත් මා දන්නේ නැහැ. කලකට පෙර ඔහු ඕස්ත්‍රේලියාවේ හිටි බව මා දැන සිටියා. පාසල් සමයේ මගේ හොඳ ම මිතුරා කලකට පෙර මිය ගියා. ජීවිතේ ඔහොම තමයි.  ඉහත නම් සඳහන් වැඩි දෙනෙක් උපාධි මට්ටමේ බටහිර විද්‍යා අධ්‍යාපනයක් ලැබු අය. එන් එම් කවුරුත් දන්නා පරිිදි බටහිර ආර්ථික විද්‍යාඥයෙක්.

 

පේරාදෙණියේ ජයතිලක ශාලාවේ සමසමාජ නායකයන් වූයේ එච් එම් ජී බී කොටකදෙණිය හා සුනිල් අජන්ත. කොටකදෙණිය නුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ උගත්තෙක්. අජන්ත ගාල්ලෙ මහින්ද විද්‍යාලයෙ ඉගෙන ගත් අයෙක්. කොටකදෙණිය කලක් ජයතිලක ශාලාවේ සභාපති ව ඉඳ තියෙනවා. අපේ පළමු වසරේ ඔහු අවසන් වසරේ ආර්ථික විද්‍යා විශේෂ උපාධි පාඨමාලාව හදාරමින් හිටියා. ඔහු තමයි අපේ වසරේ රඝුපති හෙවත් රැග් ලීඩර්. අපට ජයතිලක ශාලා දිවුරුම ගැනීමට සිදු වූයේ ඔහු ඉදිරියේ නිරුවතින්. ඔහුට මතක නැතිව ඇති ඔහු මට ආශිර්වාද කළා අපේ පාසලෙන් විශ්වවිද්‍යාලයට ගොස් සිටි ඔහුගේ කණ්ඩායමේ ජයතිලක ශාලාවේ සිසුවකුට ලැබුණා වූ මෙන් ම රූමත් පෙම්වතියක ලැබෙන්න කියා. කොටකදෙණියගේ ආශිර්වාදය ඵල දැරුවේ නැහැ. මගේ ශිෂ්‍ය ජීවිතයේ දී මා අසමත් වුණා. ඒ මගේ පළමු අසමත්වීම. විද්‍යාඥයකු වීමට නොහැකි වීම දෙවැනි අසමත් වීම. කොටකදෙණිය පොලීසියට බැඳී නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස විශ්‍රාම ගත්තා. ඔහුට පොලිස්පති ධුරය අහිමි වූයේ රාජකාරි නොවන හේතු නිසා. ඔහු පරිපාලන සේවා පරීක්‍ෂණයෙන් හා විදේශ සේවා පරීක්‍ෂණයෙන් සමත් වූ නමුත් පොලීසියේ ම රැඳී සිටියා.

 

අජන්ත නම් සමතෙක්. ඔහු අපේ පළමු වසරේ දී තුන්වැනි වසරේ විද්‍යා ශිෂ්‍යයෙක්. ඔවුන් පේරාදෙණියේ පළමු විද්‍යා පීඨ සිසුන්. පේරාදෙණියේ විද්‍යා පීඨයත් වෛද්‍ය විද්‍යා පීඨයත් ඇරඹුවේ 1961 වසරේ. අප තුන්වැනි කණ්ඩායමේ සිසුන් වූවා. අප විශ්වවිද්‍යාලයට ඇතුළත් වී අවුරුදු පනහ පිරීම දැනට අවුරුදු අටකට ඉහත දී සැමරුවා. අප විශ්වවිද්‍යාලයෙන් පිට වෙලා තවම අවුරුදු හැටක් නැහැ. අපට හැට පිරිලා නැහැ. කවුද කිවුවෙ අප මහල්ලන් මැහැලියන් කියා. ඒ කුමක් වුවත්  කොටකදෙණියත් අජන්තත් මාත් පසු කලෙක සමසමාජ ව්‍යාපාරයෙන් කැඩිල ජාතික ව්‍යාපාරයට එකතු වුණා. අවුරුදු ගණනකින් අජන්ත ගැන තොරතුරක් ලැබුණෙ නැහැ.

 

මා ඉහත සඳහන් කෙටි විස්තරය කෙළේ එකල සමසමාජ ව්‍යාපාරයේ සංස්කෘතික පසුබිම ගැන සුළුවෙන් හරි විස්තරයක් කිරීමට. මා කම්කරු පංතිය ගැනවත් නිර්ධන පංතිය ගැනවත් කියන්නේ නැහැ. තිස්ස විතාරණ අල්පේච්ඡ ජීවිතයක් ගත කරන අයෙක්. ඔහු කලක් සර්ව පාක්‍ෂික නියෝජිත සම්මේලනයේ රැස්වීම්වල මුලසුන දැරුවා. ජනමාධ්‍ය ඔහුට එහි සභාපති කිවුවා. ඒ සම්මේලනය රජයේ මුදල් නාස්ති කර විසිර ගියා. මාත් එයට සහභාගි වුණා. තොණ්ඩමන්ගේ නියෝජිතයා හා හකීම්ගේ නියෝජිතයා එක් වී බොරු වාර්තාවක් ප්‍රසිද්ධ කළා. එය සම්මේලනයේ නිල වාර්තාවක් නො වෙයි. තිස්ස විතාරණ දේශපාලනයෙන් හම්බ කර ගෙන නැහැ. නිර්ධන පංතිය ගැන කතා කරන ධනපති ක්‍රමයට වැඩක් දෙන්න වේදිකාවෙ කතා කරන ධනදාසලා යමක් කමක් හම්බ කරන් තියෙනවා. ඔවුන් ඊනියා උගත් ගැමි තරුණයන් වූවා.

 

තිස්ස විතාරණ මට වඩා අවුරුදු දහයක් වැඩිමහල්. මෙරට ඔහු ගැන විද්‍යාඥයකු ලෙසත් දන්නවා. ඔහු කලක් කොළඹ වෛද්‍ය පරයේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ධුරය දැරුවා. ඔහු පසුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට එකතු වුණා. ඔහු සේවාර්ජිත (සම්මානිත) මහාචාර්යවරයකු ද කියා මා දන්නේ නැහැ. ඔහු වයිරස පිළිබඳ හදාරල තියෙනවා. ඔහු කියා තියෙනවා කොවිඩ් වයිරසය වාතයෙන් බෝ නොවන බව. ඔහු මොන තරම් විද්‍යාඥයකු වුවත් ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කර ඇතැයි මා සිතන්නේ නැහැ.

 

ඔහුත් අනෙක් අය මෙන් ම කරන්නේ බටහිර දැනුම අපට කියා දෙන එකයි. අප ඔය කෙතරම් කෑ ගැහුවත් සංකල්පීය ව හිතන පිරිසක් නො වෙයි. මා අද අහගෙන හිටියා චතුර අල්විස් කියනවා ලංකාවෙ අයට ගණන් හොඳට පුළුවන් කියා. ඒ ගණන් පෙන්නන්න වෙන්න ඇති. විවිධ බල පුලුවන් කාරයන් අද සමාජයේ ගණන් පෙන්නනවා. ඔවුන් එන්නත් පෝලිම් කඩා ගෙන ඉස්සරහට යනවා. ලංකාවෙ බටහිර ගණිතය පුළුවන් අයකු නැහැ. මා එසේ කියන්නේ අවුරුදු හැටකට ආසන්න අත්දැකීමෙන්. කලබල වෙන්න එපා. නැහැ තව ම හැට පිරිල නැහැ. 

 

සමසමාජය හා මාක්ස්වාදය මෙන් ම බටහිර වෛද්‍ය විද්‍යාවත් බංකොළොත්. ඒ කිසිවකටත් සමාජ ප්‍රශ්නවලට පිළිතුරු නැහැ. තිස්ස විතාරණටත් අනෙක් ඊනියා සමාජවාදීන්ටත් විද්‍යාඥයන්ටත් කරන්න පුළුවන් බටහිර කවුරු හරි කියන දෙයක් අපට නැවත කියා දීම පමණයි. දැන් ටික කලකට පෙර බටහිර ම විද්‍යාඥයන් පිරිසක් තමයි කිවුවෙ කොවිඩ් වාතයෙන් බෝ වෙන්න පුළුවන් කියා. ප්‍රශ්නය වයිරසයට කොපමණ කාලයක් වාතයේ රැඳී ඉන්න පුළුවන් ද කියන එක. වයිරසයට ඇතැම් පෘෂ්ඨවල යම් කාලයක් පවතින්න පුළුවන් කියල නම් කියනවා. වයිරසයේ ඇතැම් ප්‍රභේදයකට වාතයේ යම් වෙලාවක් රැඳී ඉන්න පුළුවන් ද? තිස්ස විතාරණ හරි ලංකාවෙ වෙනත් කවුරු හරි ඒ ගැන පරයේෂණයක් කරල තියෙනවා ද?

 

අප දන්නේ මාක්ස් හරි මාස්ක් ගැන හරි කියල තියෙන දෙයක් හරි ලංකාවෙ හුදී ජනයාට කියන එක පමණයි. අපි උගත්කම කියන්නෙ ඒකටයි. තිස්ස විතාරණගෙ උගත්කමත් එතැනට සීමා වෙනවා.