Main Logo

Saturday 8 May 2021

සිරිමල් හා චතුස්කෝටිකය

 සිරිමල් හා චතුස්කෝටිකය


චන්න ජයසුමන අද විජාතික වෛද්‍ය ජුන්ටාවක් ගැන කතා කරලා. ජුන්ටාව අර චීන එන්නත දීම වළක්වලා. මේ ගැන කතා කරන්න ඕන. ඒ වගේ ම ආයුර්වේදයට හා පාරම්පරික වෙදකමට ප්‍රතිකාර කිරීම වළක්වන එයට වඩා පළල් ජුන්ටාවක් ඉන්නවා. ඔවුන් ගැන නම් මා නිතර කතා කරනවා. විජාතික වෛද්‍ය ජුන්ටාව ඕන නම් කියාවි චීනය තමයි රෝගය හැදුවෙ කියා. එහෙම නම් ඉතින් රෝගය හදපු මිනිසුන් එන්නතත් දන්නව ඇති නේ. ජුන්ටාව කියන්න බැරි නැහැ චීන එන්නත හදල තියෙන්නෙ ලෙඩේ වැඩි කරන්න කියලා. ඔය සියලු වෛද්‍ය ජුන්ටාවලට කරන්න පුළුවන් එක ම දේ බටහිරින් එන මොකක් හරි කියවල ඒක පුනරුච්චාරණය කිරීම පමණයි. 


ඒත් අද මට කතා කරන්න ඕන සිරිමල් විජේසිංහ ලියා ඇති සටහනක් ගැන. මේ ලිපි කියවන බොහෝ දෙනකු සිරිමල් ගැන දන්නෙ නැතිව ඇති. සමීප ඇසුරක් නැති වුවත් ඔහු අවුරුදු තිහකට අධික කාලයක් මගේ මිතුරෙක්. ඔහු මගේ මුහුණු පොත් මිතුරකු ද වෙනවා. මා මුහුණු පොතේ ඒ ඒ අයගේ ගිණුම්, පිටු කියවන්නේ නැහැ. කොහොමටත් මියන්මා රජය මුහුණු පොත තහනම් කරලා. ඒ නිසා මා මියන්මාහි දී මුහුණු පොත කියවන්නෙ නැහැ. පසුගිය දා සති කිහිපයකට ලංකාවට පැමිණීමෙන් පසුව මුහුණු පොත කියවනවා. ඒත් අර එක් එක් අයගේ ගිණුම් පිටු නො වෙයි. මගේ නෙත ගැටෙන්නෙ මුහුණු පොත් මිතුරන්ගේ රචනා සමහරක් පමණයි. සිරිමල්ගේ චතුස්කෝටිකය ගැන සටහනත් මට කියවන්න ලැබුණේ එලෙසයි. මුහුණු පොතේ විදග්ධයන් විද්වතුන් බුද්ධිමතුන් කියන දේ ගැන මා කොහොමටත් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒත් සිරිමල් එවැන්නකු නො වෙයි.


සිරිමල් තමන්ට හිතෙන දේ කියනවා. මා ඒ ගුණයට කැමතියි. ඔහු ව්‍යංගයෙන් වක්‍රොක්තියෙන් ආදී වශයෙන් කියන්නේ නැහැ. ඔහු ව්‍යාජ දාර්ශනිකයෙක් නො වෙයි. ඔහු මොන පංතියට ඉගෙන ගත්තා ද කියාවත් මා දන්නේ නැහැ. ඒකෙන් මට වැඩකුත් නැහැ. ඔහු තමන් චින්තකයකු ලෙස හඳුන්වා ගන්නවා. මෙරට උගතුන් මහා ඉහළින් සලකන ලන්ඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකයන් කිහිප දෙනකුත් මගේ මිතුරන්. සිරිමල්ට ඔවුන්ට තරම් නම් වියුක්ත ව හිතන්න බැහැ. එහෙත් එය ප්‍රශ්නයක් නො වෙයි. ලංකාවෙ කාට ද පුළුවන්? අර වෛද්‍ය ජුන්ටාවලට නම් කොහොමටවත් බැහැ. ඔය කොයි කාටත් අපේ සංයුක්ත සංස්කෘතිය ඔවුන් කැමති වුවත් නැතත් බලපානවා. සංයුක්ත චින්තකයන් ඉන්න පුළුවන්.


මට සිරිමල්ගේ රෙදි කඩයක් වැනි බත් කඩේට යෑමට වුවමනාවක් තිබුණා. විවිධ හේතු නිසා එයට ඉඩක් ලැබුණේ නැහැ. ඔහු මා ගත කරන ජීවිතය ගැනවත් මා ඔහු ගත කරන ජීවිතය ගැනවත් එකඟත්වයක් නැහැ. ඒ කෙටි හැඳින්වීමත් සමග ප්‍රශ්නයට යමු. මා හිතන්නේ ඔහුටත් ප්‍රශ්නයක් වී තියෙන්නේ බොරු සහ පට්ටපල් බොරු. මගේ ලෝකය කෘතියේ බොරු සහ පට්ටපල් බොරු ගැන කියැවෙන්නේ නැහැ. මගේ ලෝකයෙන් අවුරුදු තිස්පහකට පසු මගේ අදහස් වර්ධනය වී නැත්නම් තවමත් මා ඉන්නේ අවුරුදු තිස්පහකට පෙර හිටපු තැන. එයින් කියන්නේ මා අවුරුදු තිස්පහකට පෙර මිය ගොස් ඇති බවයි. මගේ අදහස් වර්ධනය වන්නේ මගේ ලෝකය හඳුන්වා දුන් මාවතේ. මා සමහර අදහස් අත්හැර ඇති. එහෙත් මාවත අත්හැර නැහැ. මගේ වයස වැඩි වුණාට මා වයසට යන්නේ නැහැ. 


චතුස්කෝටිකය පට්ටපල් බොරුවක් වෙන්නෙ විශේෂ අර්ථයකින්. බටහිර විද්‍යාව පට්ටපල් බොරු වන්නෙත් ඒ අර්ථයෙන්. මට බොරු සහ මුසා අතර වෙනසක් තියෙනවා. ඒ වෙනස ගැන මා ලියා තියෙනවා. පන්සිල් සමාදන් වීමේ දී අප කියන්නේ මුසාවාදා වෙරමණී   කියල. බොරු කියන වචනයට අසත්‍ය කියල කියන්න පුළුවන්. සත්‍ය කියන්නෙ පවතින කියන එක. අපි සත්බව කියනවා. මා අසූගණන්වල මුල සිට නැවතත් බෞද්ධයෙක්. මේ සත්බව මා ප්‍රතික්‍ෂෙප කරනවා. ලෝකයේ අපෙන් තොරව ඇති සත්බවක් නැහැ. ඔය සත්‍යය කියන එක බමුණන්ගෙ වචනයක්. බමුණන්ට අනුව ඒ ඒ දේ පවතිනවා. බූහ්මන් මැවූ දේ පවතින්නෙ නැතිව කොහොමද? බමුණන් තමයි කිං සච්ච ගවේෂි කියා ගෙන සත්‍යය හොයං ගියේ. සත්‍ය මෙව ජයතෙ වගෙ කතා තවත් බමුණු කතා පමණයි. නැති සත්‍යයක් හොයා ගන්න බැහැ. නැති සත්‍යයක් ජය ගන්නෙත් නැහැ. 


බුදුහාමුදුරුවන් වැඩිම වුණොත් අර්ය සත්‍යයක් ගැන දේශනා කරන්න ඇති. ආර්ය පර්යේෂණ ගැන කතා කරන්න ඇති. මේ ආර්ය කියන්නෙ බමුණන්ගේ ආර්ය නො වෙයි. සසරින් එතරවීම ගැන කියන ආර්යයක්. ඒ ආර්යයන්ට සාපේක්‍ෂක සත්‍යයක් මිස නිරපේක්‍ෂ සත්‍යයක් ගැන බුදුහාමුදුරුවන් දේශනා කර නැහැ. භෞතික හරි මනෝමය හරි සත්‍යයක් තියෙන බව කිසිවකුට පෙන්වන්න බැහැ. කිසිවකු යැයි කී විගස නිරපේක්‍ෂ බවින් මිදෙනවා. නිරීක්‍ෂකයකු විඳින්නකු නැති දැනුමක් ඊනියා සත්‍යයක් තියෙන බව නිරීක්‍ෂකයකුගෙන් ස්වායත්තව පෙන්වන්න බැහැ. ගණිතය තරම් මනසේ නිර්මාණයක් තවත් නැහැ. විවිධ ජ්‍යාමිති තියෙනවා. ඉන් සත්‍යය ජ්‍යාමිතිය කුමක් ද කියා කියන්න පුළුවන් ඊනියා දාර්ශනිකයකු ඉන්නවා ද? 


අපට බොරු කීම හැර වෙන කරන්න දෙයක් නැහැ. ඒ කියන්නෙ අප කරන්නෙ අසත්‍ය ප්‍රකාශ පමණයි. ඒ ප්‍රකාශයත් ඊනියා සත්‍යයක් නො වෙයි. අපට කරන්න පුළුවන් දේ මුසා කීමෙන් වැළකීම පමණයි. අප මුසාවාදා වෙරමණි කියන්නෙ එබැවිනුයි. අප පංචෙන්ද්‍රිය හා මනස සහභාගි කරගෙන කරන කියන සියල්ල බොරු. අවිජ්ජාව නිසා කරන සංස්කාර, අවශ්‍ය නම් නිර්මාණ (මගේ ලෝකයේ කියන්නේ නිර්මාණ කියල, දැන් මා කියන්නෙ සංස්කරණ කියල) මිසක් මනසින් තොර ව පවතින්නක් නො වෙයි. එවැනි යථාර්ථයක් සත්‍යයක් තියෙනව නම් ඒ බව මනසින් තොරව පෙන්වීම ඊනියා යථාර්ථවාදීන්ගේ වගකීමක්. 


අප සංස්කරණය කරන බොරු, මනස පංචෙන්ද්‍රිය සමග එකතු වී කරන නිර්මාණ. ඒ හැරෙන්න මනස පංචෙන්ද්‍රිය නැතිව සංස්කරණය කරන දේත් තියෙනවා. ඒ ඇතැම් දේ මනසින්වත් මවා ගන්න බැහැ. ඒවාට මා පට්ටපල් බොරු කියා කියනවා. ද්විකෝටිකය හා චතුස්කෝටිකය කියන න්‍යාය දෙක ම මනසින් පමණක් සංස්කරණය  වී ඇති දේ. ඒ එදිනෙදා ජීවිතයේ දී අප අත්දකින දේ සාධාරණීකරණය කිරීමක්.


නිමල් විමල්ට වඩා උස නම් විමල් නිමල්ට වඩා උස වන්නේ නැහැ. ඊනියා සත්‍යය කියන කතාව යොදා ගත්තොත් නිමල් විමල්ට වඩා උසය කියන එක සත්‍ය නම් එහි අනෙක් පැත්ත නිමල් විමල්ට වඩා උස නැහෙ කියන එක අසත්‍යයි. එවැනි අත්දැකීම් සාධාරණීකරණය කරල තමයි A සත්‍ය නම් නොම A අසත්‍යය කියන එක මනසින් සංස්කරණය කරල තියෙන්නෙ. එහි දී පංචෙන්ද්‍රිය ආධාර වන්නේ නැහැ. චතුස්කෝටික න්‍යාය එයටත් එහා කියල කාට හරි කියන්න පුළුවන්. එහි ද්විකෝටිකයෙ නැති අවස්ථාත් තියෙනවා. පංචෙන්ද්‍රිය ආධාර කර ගන්නෙ නැතිව මනසින් පමණක් සංස්කරණය කෙරෙන දේ පට්ටපල් බොරු ලෙස මා හඳුන්වනවා.  මා දන්නවා දැන් කවුරු හරි අහන්න පුළුවන් නිමල් විමල්ට වඩා උස ය කියා කියන විට පංචෙන්ද්‍රිය ආධාර කර ගත්තෙ නැත් ද කියල!