Main Logo

Thursday 6 May 2021

විපක්‍ෂය, හැට හතේ නියැදිය හා ධම්මික පැනිය

 

විපක්‍ෂය, හැට හතේ නියැදිය හා ධම්මික පැනිය

 

මා හිතන්නේ අද රටේ තියෙන ප්‍රධාන ම ප්‍රශ්න කොවිඩ් 19 වයිරසයවත් බටහිර වෙද මහතුන්ගේ නොදැනුමවත් නො වෙයි. ඒවත් ප්‍රශ්න තමයි. මෙරට ප්‍රධාන ම ප්‍රශ්නය බටහිර දැනුමට තියෙන බල පුළුවන්කාරකම. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නය විපක්‍ෂය අසමත් අදක්‍ෂ අදූරදර්ශී අසමජ්ජාති එකක් වීම හා එයට නායකයකු නැති වීම. කාට හරි අහන්න පුළුවන් සජිත් විපක්‍ෂ නායකයා නොවෙයි ද කියල. නැහැ ඔහු විපක්‍ෂ නායක රඟපෑමක යෙදෙනවා. අද විපක්‍ෂයේ කිහිප දෙනකු විපක්‍ෂ නායක කමට තරග කරනවා. සමහරු 2024 ජනාධිපති අපේක්‍ෂකමට තරග කරනවා. කවුරු මොහොකට තරග කරනවා ද කියා මා දන්නෙ නැහැ. ඒත් ඕනෑම ගොනකුට යුද්ධ කරන්න පුළුවන් කී පෙම්බ්‍රොක් කිරිඇල්ල, යුද වීරයකු වුවත් සුදු කොඩි ඉස්සූ සරත් ෆොන්සේකා, නලින් බණ්ඩාර නමැත්තෙක්, දේශපාලනය ඉගෙන ගන්නා හර්ෂ ද සිල්වා, පාස්කු හරීන් ප්‍රනාන්දු, ජාතිය මළ කඳක් කියන චම්පක රණවක ආදීන් යම් තරගයක ඉන්නවා.

 

ඒ ඒ අය අතර තරගයේ දී ඔවුන් එකිනෙකා පරයන ප්‍රකාශ කරනවා. දේශපාලනඥයන්ට විවිධ නිලධාරීන්ගෙන් තොරතුරු ලැබෙනවා. බොහෝ තොරතුරු වැරදියි. එහෙත් දේශපාලනඥයන්ට වෙලාවක් හරි දක්‍ෂකමක් හරි නැහැ ඒ තොරතුරු නිවැරදි ද කියල දැන ගන්න. අනෙක් අතට මෙරට ඉතා ප්‍රබුද්ධ යැයි කියන ජනමාධ්‍යවේදීන් රාශියක් ඉන්නවා. මා ඔවුන්ගෙන් අති විශාල බහුතරයකට කැමති නැහැ. ඔවුන් මට කැමති නැතිවා පමණක් නොව මා මිථ්‍යා මතධාරී වයස්ගත වූවකු ලෙස සලකනවා. ජනමාධ්‍යවේදීන්ගෙන් ඉතා සුළුතරයක් පමණයි මා කරන කියන දෙය අගයන්නෙ.

 

කොහොම හරි හර්ෂ ද සිල්වා කියල මේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරය ගැන ලැබුණු තොරතුරු නොසලකා හැරියාක් මෙන් අර එංගලන්ත වයිරස ජාතිය ගැන අප්‍රේල් අටවැනි දා තරම් ඈතක දුන් තොරතුරක් නොසලකා හැරල කියල. හර්ෂ ද සිල්වාට ඒ තොරතුරු කවුරු දුන්න ද දන්නෙ නැහැ. පාස්කු තොරතුරු නම් නොසලකා හැරියෙ යහපාලන ආණ්ඩුව. හර්ෂත් ඒ ආණ්ඩුවේ හිටියා.

 

එංගලන්ත වයිරස් ජාතිය ගැන අප්‍රේල් අටවැනි දා කිසිවකු කියා නැහැ. මේ ගැන චන්න ජයසුමන පාර්ලිමේන්තුවේ දී කී දේට අභියෝග කරන්න පුළුවන් ද?  ඔය කියන විද්‍යාඥයන් අප්‍රේල් අටවැනි දා  කියා ඇත්තේ අදාළ වයිරසය වෙනස් බව පමණයි. එය එංගලන්ත වයිරස් ජාතිය බවට හඳුනා ගෙන ඇත්තේ අප්‍රේල් විසිගණනක. ඉතින් අවුරුදු කාලෙ ආණ්ඩුව ඒ තොරතුරු දැන හිටියේ ය කියන එක වැරදියි. හර්ෂ විපක්‍ෂ නායකකමට අවශ්‍ය ලකුණු දා ගත්තා නොව කපා ගත්තා. ඕව ඔහොම තමයි. සරත් ෆොන්සේකාත් නිතර ලකුණු කපා ගන්නවා. පෙම්බ්‍රෝක් ගැන කියල වැඩක් නැහැ. හරීන් දැන් පාර්ලිමේන්තුවේ නැති එක ඔහුට හොඳයි. නලින් බණ්ඩාර මතක තියෙන කතාවක් කියන්නේ නැහැ.

 

ආණ්ඩුව අවුරුදු කාලෙ ටිකක් නීති රීති තද කළා නම් හොඳයි. ඒත් අපේ රටේ මැද පිළිවෙතක් ගැන උදේ හවස කතා කළත් නැත්තේ මැද පිළිවෙතයි. නීති රීති ටිකක් තද කරනවා කියන එක අපට දැනෙන්නෙ නැහැ. එක්කො නීති රීති නැති වෙන්න ඕන නැත්නනම් නීති රීති හොඳට ම තද වෙන්න ඕන. අවුරුදු කාලෙ ආර්ථික පැත්ත නම් ටිකක් හොඳ වෙන්න ඇති. ඒත් සෞඛ්‍ය පැත්ත නම් හොඳට ම නරක් වුණා.

 

සෞඛ්‍ය ගැන කතා කරන විට බටහිර වෙදකමේ හා බටහිර විද්‍යාවේ හා පොදුවේ බටහිර දැනුමේ ආධිපත්‍යය ගැන කතා නොකර බැහැ. මෙය කරුමයක්. චීන එන්නත ගැන තීරණයක් දෙනකම් ලෝක සෞඛ්‍ය සංවිධානය දිහා කට ඇරන් බලා ඉන්නවා. ඒ අතර චීනයේ දසලක්‍ෂ ගණකට ඒ එන්නත දීලා, ප්‍රශ්නයක් වෙලා නැහැ. චීනයේ එන්නත දීල තියෙන්නෙ ඊනියා විද්‍යාත්මක ක්‍රමයට නොවෙන්න ඇති. ඒක තමයි ප්‍රශ්නය.

 

ධම්මික වෙද මහතාගේ පැනිය ගැන කතා කරන්න බටහිර වෙද මහත්තුරුන්ට තියෙන අයිතිය මොකක් ද? ඔවුන්ගේ මිම්මට අනුව ද අප හැම දෙයක් ම කළ යුත්තේ. ඒත් මේ වැඩේ නම් පිලපිටිය කමිටුවෙ අය තමන්ගෙ ක්‍රමයටවත් කරල නැහැ. හැට හත්දෙනකුගේ ඊනියා නියැදියක් ප්‍රමාණවත් වුණෙ කොහොම ද? අනෙක් අතට ඔය පරීක්‍ෂණය කළ අනුරාධපුර ආයතනයෙ ප්‍රධාන වෛද්‍යවරයා ගැන ප්‍රශ්න තියෙනවා. මුස්ලිම් බැතිමතුන් අල්ලා දෙවියන් වහන්සේ හැර වෙනත් දෙවිවරුන් ගැන විශ්වාසයක් නැහැ. කාලි අම්මා කී දැනුමක් ගැන ඔවුන්ට විශ්වාසයක් නැහැ. ධම්මික පැනියටත් ඒ අවිශ්වාසය ඊනියා විද්‍යාත්මක ක්‍රමය වගේ ම බලපා තියෙන බව පැහැදිලියි.

 

හැටහතේ නියැදිය කෙසේ වෙතත් දසදහස් ගණනක් ධම්මික පැනිය බී තියෙනවා. මා ඉන් එක් අයකු පමණයි. මුස්ලිම් ගණිතඥයන් මෙරට ඊනියා බටහිර විද්‍යාඥයන් බටහිර වෙද මහතුන් රාමනුජන් දුන් දැනුම විශ්වාස කරන්නේ හාඩි නිසා පමණක් ද? පිලපිටිය කමිටුවෙ කී දෙනකුට රාමනුජන් සූත්‍රයක් සාධනය කරන්න පුළුවන් ද? ඔවුන් රාමනුජන් පිළිගන්නේ හාඩි ගැන තියෙන විශ්වාසය නිසයි. එතකොට හාඩි විශ්වාස කරන්නෙ කොහොම ද? ඊනියා පත්‍රිකා නිසා ද? පත්‍රිකා නිවැරදි ද? ඔවුන්ට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය ගැන විශ්වාසයක් තියෙනවා ද? ඒ විශ්වාසය චීන එන්නත ගැන නැත්තෙ මොකද? මේ සියල්ල අප ලත් කසිකබල් ඉංගිරිසි අධ්‍යාපනයෙ ප්‍රතිඵල. මේ කසිකබල් අධ්‍යාපනය නිසා යමක් විද්‍යාත්මක යැයි කිවුවොත් මිනිසුන් එය විශ්වාස කරනවා. ඇතැම් හාමුදුරුවරු හා වෙනත් ඊනියා උගතුන් බුදුදහම විිද්‍යාත්මක කිරීමට කටයුතු කරන්නේ මේ දීන විශ්වාසය නිසයි.  

 

බටහිර වෙදකමට කොවිඩ් 19 රෝගයට කිසිම ප්‍රතිකාරයක් නැතිව තිබියදීත් ඔවුන් අනෙක් වෙදකම්වල ප්‍රතිකාරවලට අකුල් හෙළනවා. එමගින් ජනතාව මරණයට ගෙන යනවා. ආණ්ඩුව මැදිහත් වී වහාම තීරණයක් ගන්න ඕන. මුස්ලිම් බැතිමතුන් කියන දේ ට හරි කොවිඩ් රෝගියකු හඳුනා ගන්න බැරි බටහිර වෙදකමට හරි සවන් දෙන්නෙ අවශ්‍ය නැහැ. පිලපිටිය හරි කණ්ඩායමේ වෙන කවුරු හරි හැට හතේ  නියැදිය ගැන ඊනියා පරයේෂණ පත්‍රිකාවක් ඔය ලංකාවෙ මොකක් හරි බටහිර වෙදකමේ සංගමයට ඉදිරිපත් කරනවා ද?  ඒ නැතත් ඕන තරම් ප්‍රබුද්ධ මාධ්‍යවේදීන් ඉන්නවා ධම්මික පැනිය නුසුදුසුයි කියල මහා උජාරුවෙන් ලියන්න. ඔවුන්ට බටහිර විිද්‍යාව හා පොදුවේ බටහිර දැනුම ගැන විශ්වාසයක් ඇති. ඔවුන් විද්‍යාඥයන් වෙන්නත් ඇති. මා නම් විද්‍යාඥයකු නොවෙයි. කොවිඩ් 19 සම්බන්ධයෙන් පාරම්පරික වෙදකමේ සාර්ථකත්වය අත්දුටු කෙනෙක් පමණයි.