Main Logo

Sunday 9 May 2021

ගොවීන් දේශීය ගොවිතැනට යොමු කිරීම

 

ගොවීන් දේශීය ගොවිතැනට යොමු කිරීම

 

කෘෂි රසායන ගෙන්වීම නැවැත්වීමට ජනාධිපතිතුමා හා ආණ්ඩුව ගත් තීරණය අගය කරන්න ඕන. ඒ ගැන අප කලින් ලියා තියෙනවා. එහෙත් තීරණය ක්‍රියාත්මක කිරීමේ දී පරෙස්සමෙන් සැලසුම් සහගත ව කරන්න ඕන. මෙහි දී ඊනියා විද්‍යාඥයන්, කෘෂි රසායන ආනයනය කරන සමාගම් මෙන් ම ගොවීන් ද විරුද්ධ වන්න පුළුවන්. ඊනියා විද්‍යාඥයන් දැනටමත් තම විරුද්ධත්වය ප්‍රකාශ කර අවසන්. එමෙන් ම ඇතැම් ගොවීන් ද විරුද්ධත්වය ප්‍රකාශ කරලා. අර කෘෂි රසායන ගෙන්වන සමාගම් නම් බොහෝ විට ප්‍රසිද්ධියේ විරුද්ධ වන එකක් නැහැ. එහෙත් ඔවුන් ගොවීන් හා ඊනියා විද්‍යාඥයන් ලවා විරෝධය පළ කරාවි.  

 

මෙරට හා පිටරට ඉන්න බටහිර විිද්‍යාඥයන් කියන දේ නම් ගණන් ගන්න ඕන නැහැ. ඔවුන් දන්නේ බටහිර සඟරාවල පත්තරවල පළවෙන දැනුම අපට කීමට පමණයි. ඔවුන් කිසි දා අලුත් දෙයක් කියන්නේ නැහැ. ඔවුන්ට සවන් දීම වෙනුවට අපට ම බටහිර දැනුම කෙළින් ම ලබා ගන්න පුළුවන්.

 

ඔවුන් ප්‍රධාන වශයෙන් කියන්නේ දේශීය පොහොර ප්‍රමාණවත් නැති කම, දේශීය පොහොරවලින් අස්වැන්න අඩු බව, වර්තමානයෙහි හඳුන්වා දී ඇති භෝග වර්ගවලට කෘෂි රසායන අවශ්‍ය බව ආදියයි. මෙය රවුමක යන්නක්. මේ තමයි බටහිරයන් ක්‍රියා කරන ආකාරය. ඔවුන් ඊනියා විද්‍යාත්මක ව බිහි කළ භෝග හඳුන්වා දෙනවා. එහි අස්වැන්න වැඩි කෙරෙනවා. එහෙත් ඒ සඳහා කෘෂි රසායන නැතිව බැරි වෙන තත්වයකට පත් කරනවා. අප බටහිරයන්ගේ අඬුවට හසු වී අවසන්. ඒ සියල්ල ඊනියා දැනුමක් මගින් යුක්ති යුක්ත කෙරෙනවා.

 

මේ සියල්ල පිටුපස ඇත්තේ දැනුම් ආධිපත්‍යය. ඔය බටහිර දැනුම් ආධිපත්‍යය ධනවාදයත් සමග ගැට ගැසී ඇත්තේ. ධනවාදයට විරුද්ධ වන ඇතැම් පඬියන් දැනුම් ආධිපත්‍යයට විරුද්ධ වන්නේ නැහැ. ධනවාදයට දැනුම් ආධිපත්‍යයත් දැනුම් ආධිපත්‍යයට ධනවාදයත් අවශ්‍යයි. ඊනියා සමාජවාදී පඬියන් හිතුවට ඒ දෙක වෙන් කරන්න බැහැ. මාක්ස්වාදී සමාජවාදයෙන් ද කෙරෙන්නේ ධනවාදය ආරක්‍ෂා කිරීම පමණයි. එය හැමදාමත් මනෝරාජික සමාජවාදයක් වුණා.

 

ධනවාදයට විරුද්ධ ඊනියා සමාජවාදී පඬියන්ට ගීතයක් ලියා එහෙමත් නැත්නම් ගීතයක් ගායනා කර ඊනියා සමාජවාදයට සේවය කරන්න පුළුවන්. ඊට පස්සෙ කියන්න පුළුවන් අපි මෙච්චර ගීත ගයලත් ජනතාවට සමාජවාදය ඕන නැහැ කියලා. රනිල්දාසගෙ ගෝල බාල සංගීතඥයො නොදන්න දේ තමයි ඊනියා සමාජවාදය ලෝකයේ ඇති නොවන්නක් බව. සමාජවාදී පඬියන්ට හැමදාමත් සමාජවාදයට සේවය කරන්න පුළුවන්. ඔවුන් කියාවි තමන් කරන්නේ සේවයක් නොව සමාජවාදය ඇති කිරීමට කටයුතු කරන බව.  තව සිංදු දහයක් විතර කියල බලන්න.

 

ඊනියා විද්‍යාඥයන් ඇතුළු පඬියන් නොවෙයි ගොවියන් විරුද්ධ වීම ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඔවුන් තමන්ගෙ ඕන කමට මෙන් ම කෘෂි රසායන ගෙන්වන සමාගම්වල උසි ගැන්වීම් නිසත් කෘෂි රසායන ගෙන්වීම නතර කිරීමට විරුද්ධ වන්න පුළුවන්. වත්මන් ගොවීන් නොදන්න කරුණ නම් හැටේ දශකයට පෙර මෙරට කෘෂි රසායන නොතිබූ බව. ඉංගිරිසින් අපට දුම් බීම (ඉරීම) පුරුදු කළේ පළමුව දුම්වැටි නොමිළේ ලබා දීමෙන්. සමහර විට ජනතාවට අහුලා ගැනීමට මාර්ගවල දුම්වැටි විසි කිරීමෙන්. කෘෂි රසායන නැත්නම් පිටරට පොහොරත් අපට හැටේ දශකයේ නොමිළේ බෙදා දුන්නා. එකල ගොවීන් එයට විරුද්ධ වුණා. එහෙත් ඔවුන් ක්‍රමයෙන් එයට පුරුදු වුණා. අද ඉන්නේ තුන්වැනි නැත්නම් හතරවැනි පරම්පරාව. ඒ පරම්පරාවට කෘෂි රසායන නැතිව ම බැහැ.

 

මෙතන අපට ඉංගිරිසින්ගෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඔවුන් ගොවීන් කෘෂි රසායනයට පුරුදු කෙළේ උපායශීලිව. ඉංගිරිසින් මුළු ලොවක් පාලනය කෙළෙත් අද  ඇංග්ලිකන් ක්‍රිස්තියානිය ලෝකය පාලනය කරන්නෙත් උපායශීලි ව. එහි දී ඔවුන් දැනුම් ආධිපත්‍යය යොදා ගන්නවා. දැනුම් ආධිපත්‍යයත් පාසල් හා විශ්වවිද්‍යාල මගින් සීරුවෙන් කරන ලද්දක්. අද අපට එදා ගොවීන්ගේ තුන්වැනි නැත්නම් හතරවැනි පරම්පරාව නැවත දේශීය ගොවිකමට ගැනීමට සිදුව තියෙනවා. එය ක්‍රමයෙන් කරන්න ඕන.

 

ගොවීන්ට දේශීය ගොවිතැන එපා කරන විධියට එය කරන්නත් පුළුවන්. මෙරට අද ඉන්න නිලධාරීන් බහුතරය ඉංගිරිසින් විසින් වක්‍ර ව පුහුණු කෙරුණු අය. ඔවුන් ලබා ඇත්තේත් මොන මාධ්‍යයෙන් වුණත් ඉංගිරිසි අධ්‍යාපනයක්. ඔවුන් මගින් වැඩ කරවා ගැනීමේ දී පරෙස්සම් වෙන්න ඕන. ඔවුන් තම පුහුණුව නිසා ම සමහර විට නොදැනුවත්ව ම දේශීය ගොවිකමට විරුද්ධ වේන පුළුවන්. ඔවුන් ඇතැමකු දේශීය වෙදකමට විරුද්ධ වන්නෙත් ඒ පුහුණුව නිසයි. ඔවුන්ට එයින් කැඩී වෙන්වීමට බැරිකමක් තියෙනවා.

 

දේශීය ගොවිකමට ගොවීන් හුරු කිරීම පියවරෙන් පියවර කළ යුත්තක්. දේශීය පොහොර නිෂ්පාදනය කරන තරමට තමයි කෘෂිරසායන අඩු කරන්න ඕනෙ. දේශීය පොහොර නිෂ්පාදනය වැඩි කිරීමට සැලසුම් සහගත ව ක්‍රියාත්මක වෙන්න ඕන. කොහොම නමුත් ගොවීන්ට පාඩුවක් නොවන අන්දමට කටයුතු කරන්න ඕන. දේශීය පොහොර යෙදීමෙන් අස්වැන්න අඩුවෙන්න ඉඩ තියෙනවා. ඒ ගැනත් බලන්න ඕන.

 

සියල්ල සියයට සීයක් සැලසුම් කරන්න බැරි වේවි. එහෙත් යම් සැලැස්මක් අවශ්‍ය වෙනවා. මෙරට වගා කිරීමට ඉඩම් තියෙනවා. අස්වැන්න අඩු වීම ගොවි ඉඩම් ප්‍රමාණය වැඩි කිරීමෙන් කපා ගන්න පුළුවන් වේවි. එ වගේ ම අස්වැන්න වැඩි කරන දේශීය පොහොර ගැන ද හොයන්න ඕන. ඒ අතර කළ යුතු වැදගත් ම දෙය තමයි ගොවීන්ගේ ආදායම වැඩි කෙරෙන සැලැස්මක් පිළියෙළ කර තරුණ තරුණියන් වැඩි වැඩියෙන් ගොවිතැනට යොමු කිරීම.