Main Logo

Tuesday 4 May 2021

ආයුර්වේද රෝහල් ඇඳන් සැපයීමට පමණ ද?

ආයුර්වේද රෝහල් ඇඳන් සැපයීමට පමණ ද?

 

මා දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ බටහිර වෙද මහතා කියා තිබෙනවා සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ තීරණ ගත යුත්තේ සෞඛ්‍ය අධිකාරීන් මිස හමුදාව නො වේ කියා. ඇත්ත ඒත් ප්‍රශ්නයක් තියෙනවා. සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ ගන්න තියෙන තීරණ මොනවා ද? රෝගීන් රෝහල්වලට ඇතුල් කිරීම සඳහා ප්‍රමාණවත් ඇඳන් ඉඩ පහසුකම් තියෙනවා ද? අවශ්‍ය හෙදියන් ඉන්නවා ද? වෛද්‍යවරුන් ඉන්නවා ද? ගිලන් රථ තත්වය කෙසේ ද? අවශ්‍ය ප්‍රමාණයට ගිලන් රථ තියෙනවා ද?  ඔක්සිජන් තියෙනවා ද? එන්නත් අවශ්‍ය ද? කොපමණ අවශ්‍ය ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු බටහිර වෙද මහතුන්ගෙන් අසා ගැනීම එතරම් ප්‍රශ්නයක් නො වෙයි. ඒ අනුව ක්‍රියාත්මක වීමට බටහිර වෙද මහතුන්ට පුළුවන් ද?

 

අවශ්‍ය හෙදියන් හා වෛද්‍යවරුන් පුහුණු කිරීම හදිසියේ කළ හැක්කක් නො වෙයි. එය හමුදාවට බැරි බව කවුරුත් දන්නවා. ඒත් එය බටහිර වෙද මහත්වරුන්ටත් හදිසියේ කළ හැක්කක් නො වෙයි. එන්නත් ගෙන්වා ගැනීම ආණ්ඩුවේ වැඩක්. එන්නත දීම සංවිධානය කිරීම වඩාත් හොඳින් කළ හැක්කේ හමුදාවට. ඇඳන් සැපයීම වුණත් බටහිර වෙද මහතුනට වඩා කාර්යක්‍ෂම ව හමුදාවට කරන්න පුළුවන්.

 

බටහිර වෙද මහතුන්ට කළ හැක්කේ ප්‍රතිකාර කිරීම. ඒත් ඔවුන් කොවිඩ් රෝගයට දන්න ප්‍රතිකාරයක් නැහැ. එයට හේතුව බටහිර ඉන්න ඔවුන්ගේ ස්වාමිවරුන්ට ද ඒ ගැන අවබෝධයක් නැති වීම. අපේ රටේ ඊනියා උගතුන් දැන් සියවසකට අධික කාලයක් කර ඇත්තේ බටහිර පළවන මතිමතාන්තර මෙරට පාඨකයන්ට ප්‍රේක්‍ෂකයන්ට කියා දීම පමණයි. එය එතරම් අමාරු වැඩක් නො වෙයි. හමුදාවටත් එය කරන්න පුළුවන්. රවි කුමුදේශ්ටත් එය කරන්න පුළුවන්. බොහෝ ජනමාධ්‍යවේදීන්ටත් එය කරන්න පුළුවන්.  ජ වි පෙ බටහිර වෙද මහතාටත් එය කරන්න පුළුවන්. ඒත් ඔහුටත් ප්‍රතිකාරයක් නියම කරන්න බැහැ.

 

අහවල් අහවල් ප්‍රදේශ හුදකලා කරනවා ද නැද්ද ආදිය දේශපාලන තීරණ. ආර්ථිකය එදිනෙදා වැඩකර යමක් කමක් හම්බ කරන අයගේ ආදායම  වැනි ප්‍රශ්න සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ ප්‍රධානීන්ට අහුවෙන ප්‍රශ්න නො වෙයි. බටහිර වෙද මහත්තුරු අඩු ගණනේ අපට කියා දෙනව ද කොවිඩ් 19 රෝගියකු හඳුනා ගන්න විධිය. හමුදාවට නම් ඒක කරන්න බැහැ. ඒත් බටහිර වෙද මහතුන්ටත් ඒකට පිළිතුරක් නැහැ.

 

පීසිආර් + කියන්නෙ රෝගියකු කියන එක නො වෙයි. මේ ළඟ දී මගේ මිතුරකු අරාබිකරයේ සිට පැමිණියා. ඔහු එහි දී එන්නත ගත්තෙක්. එමෙන් ම පීසීආර් - වූ අයෙක්. ලංකාවේ දී ඔහු පීසීආර් + වුණා. නිරෝධායනයට ලක් වුණා. පීසීආර් + කියන්නෙ රෝගී තත්වයක් නොවෙයි. අදාළ පුද්ගලයාගේ සිරුරේ කොවිඩ් වයිරසය තියෙන බව ඉන් කියැවෙන්න පුළුවන්. එන්නත ගත් අයගේ සිරුරේ වයිරසය සුළු ප්‍රමාණයක් හරි තියෙන්න පුළුවන් ද? ඔවුන් පීසීආර් + වෙන්න පුළුවන් ද? නොදන්න හින්දයි අහන්නෙ.  අපේ සිරුරේ තව කොතරම් වයිරස ඇද්ද? ඒ වයිරස හඳුනා ගැනීමට ක්‍රම තියෙනවා ද? ක්‍රම තිබුණොත් අප අදාළ රෝගීන් බවට පත් කරනවා ද?

 

අද අරුණ පුවත්පතේ සංස්කාරක මොන තරම් පාරම්බෑවත් සිදු වී තිබෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේත් බටහිර විද්‍යාවේත් කඩා වැටීමක්. අරුණ සංස්කාරක හා අරුණ ජනමාධ්‍යවේදීන් බොහොමයක් අති දක්‍ෂ විද්‍යාඥයන්. ඔවුන් ඊනියා මිථ්‍යා මත විශ්වාස කරන්නේ නැහැ. මා නම් විිද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරුව ආපසු පැමිණි අයෙක්. අරුණේ පුස් කෑ මාක්ස්වාදී මත දරන්නන් බොහොමයක් ඉන්නවා. සාමාන්‍යයෙන් ජනමාධ්‍යවේදීන් ප්‍රබුද්ධ සමාජවාදීන්. ඔවුන් මාක්ස්වාදය හොඳින් දන්නවා වෙන්න ඇති. අරුණ සංස්කාරක පැනිය විවේචනය කළත් මා පැනිය බිවුවා. ඔහුට අනුව මා මිථ්‍යා මත විශ්වාස කරන්නෙක්. මේ සියලු කරුණු ගැන මා අරුණ සංස්කාරක සමග වාදයක් කරන්න කැමතියි. ඒ වාදය අවසන් වන තෙක් මා අරුණට ලිවීම නතර කළා.

 

බටහිර වෛද්‍යවරුන්ට කොවිඩ් රෝගියකු හඳුනා ගන්න බැරි නිසා ඔවුන් පීසීආර් + සියල්ලන් රෝගීන් ලෙස වර්ගකර නිරෝධායනය කරනවා, රෝහල්ගත කරනවා. එය හැමෝට ම ප්‍රශ්නයක්. රෝගීන් නොවන අයත් රෝගීන් ලෙස වර්ග කිරීම නිසා ඇතැමුන් තමන් නීරෝගී යැයි සිතා අදාළ තැන්වලින් පැන ගියා. දැනුත් පැන යනවා. අද ඇතිවෙලා තියෙන අවුල් තත්වයට බටහිර වෙද මහතුන්ගේ නොදැනුම විශාල ප්‍රමාණයකට හේතු වෙලා.

 

ඒත් බටහිර වෙද මහත්වරුන්ගෙ ආධිපත්‍යයට ඉන් පලුද්දක් වන්නේ නැහැ. ඔවුන් වෙනුවෙන් කතා කරන්න ප්‍රබුද්ධ  ජනමාධ්‍ය තියෙනවා. ඒ ජනමාධ්‍ය ඒ  අතර පාරම්පරික වෙදකමට පහර දෙනවා. බටහිර වෙද මහත්තුරු තමන්ට ප්‍රතිකාර නැතත් ආයුර්වේද/පාරම්පරික වෙද මහතුන්ට කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඉඩ දෙන්නේ නැහැ. බටහිර වෙද මහතුන් හා ඔවුන්ගේ නියෝජිතයන් ඉදිරියේ සිසිර ජයකොඩි අසරණ වෙනවා. අද කියන විධියට ආයුර්වේද රෝහල්වලට ඇතුල් කෙරෙන කොවිඩ් රෝගීන්ටත් ඊනියා ප්‍රතිකාර කරන්නේ බටහිර වෙද මහතුන්. ආයුර්වේද රෝහල් තියෙන්නෙ ඇඳන් සැපයීමට පමණ ද? මා මෙය කියන්නේ කණගාටුවෙන්. අද ආණ්ඩුව බටහිර වෙද මහතුන්ට බය බවක් පේන්න තියෙනවා.   

 

ආයුර්වේද/ පාරම්පරික ප්‍රතිකාරවලින් සවය ලැබූ කොවිඩ් 19 රෝගීන් දිවයිනේ හැම ප්‍රදේශයක ම  ඉන්නවා. එහෙත් ඒ වෙද මහතුන්ට තැනක් නැහැ. ධම්මික පැනිය ජනමාධ්‍යයෙන් උස්සා පොළොවේ ගැසුවා වගේ වැඩක් කෙළේ. කරාපිටිය කරළ හොඳයි කියමු. එයට මුල් වූ ආයුර්වේද බෙහෙත් මොනවා ද? ඒ මුල් බෙහෙත ම දෙමු ද? බටහිර වෙද මහතුන් පීසීආර් + අය ගාල් කර පසුව පීසීආර් - වූ පසු සුව වූවා කියා ගෙදර අරිනවා. ඔවුන් කළ ප්‍රතිකාරය කියන්න පුළුවන් ද? අපි එය අර කියන්න වගේ ජාත්‍යන්තරයට මුදා හරිමු. අපේ බටහිර වෙද මහතුන්ට නොබෙල් තෑග්ග ලැබෙන්න ඉඩ තියෙනවා.