Main Logo

Sunday 23 May 2021

රට වැහිල්ල

 

රට වැහිල්ල

 

අපි නැවතත් වරාය නගරය පනතට හා කොවිඩ් 19 වසංගතයට යමු. ඊයේ ජනරජ දිනය නිසා ඒ ගැන කතා කරන්න සිදු වුණා. නැවතත් වෙසක් දිනයේ වරායෙන් හා වසංගතයෙන් ඉවත් වෙමු. වරාය නගර පනත ගැන තවමත් විපක්‍ෂය කියන්නේ වගන්ති විසිපහක් සංශෝධනය කිරීමට පෙර තිබූ තත්වය ගැන. විපක්‍ෂයට යාවත්කාලීන වෙන්න බැහැ. ඒ අතර ආණ්ඩුව එන්නත් ලබා ගැනීමට ක්‍රියා නොකර මිථ්‍යා මත පසුපස ගියා රනිල්දාස කියනවා.

 

මිථ්‍යා මත කියන්නෙ මොනව ද කියල පඬි නැට්ටකුට විස්තර කරන්න, නිර්වචනය කරන්න, අර්ථකථනය කරන්න හරි වෙන මොකක් හරි කරන්න පුළුවන් ද? මිථ්‍යාවේ විරුද්ධය බටහිර විද්‍යාව ද? රනිල්දාස තඹුත්තේගමින් පැමිණි ඊනියා ගැමි උගතකු වෙන්න ඕන. ඔහු අමරසේකරගෙ  උගත් ගැමි තරුණයකු ද කියන්න මා දන්නෙ නැහැ. ඒ කුමක් වුවත් බටහිර විද්‍යාව කියන්නෙ දහසක් අදහස් ඉදිරිපත් කළ විට අදහස් දෙක තුනක් හරි යන නැත්නම් වැඩ කරන දැනුම් පද්ධතියක්. ඊනියා මිථ්‍යා මත කියන්නෙත් වැඩ කරන මත නැත්නම් අදහස්. නැත්නම් මෙච්චර කාලයක් ඒවා පවතීයැ. බටහිර විද්‍යාවේ අදහස් වියුක්තයි. ඊනියා මිථ්‍යා මතවල ඒ තරම් වියුක්ත බවක් නැහැ. අර කැලණිය විශ්වවිද්‍යාලෙ රසායන විද්‍යා මහාචාර්යවරයාට හැරෙන්න වෙන කාටවත් ගුරුත්වාකර්ෂණ බලය  ඉන්ද්‍රිය ගෝචර වෙලා නැහැ. එහෙත් ඔය සක්කරයා සහ තවත් දෙවිවරු ඇතැමුන්ට ගෝචර වෙලා තියෙනවා.

 

බටහිර විද්‍යාවට එසේ ගෝචර වීම තේරුම් ගන්න බැරි විට, ඒ කියන්නෙ වෙනත් උපකල්පන මත පිහිටල විස්තර කරන්න බැරි වුණා ම, ඒව මනෝ භ්‍රාන්ති කියා කියනවා. රනිල්දාස හා අනෙක් බටහිර විද්‍යාඥයනුත් එසේ කියනවා ද කියා මා දන්නේ නැහැ. එහෙම නම් සක්කරයා එක්ක සහම්පති බ්‍රහ්මයා එක්ක සහ තවත් නොයෙකුත් දෙවියන් එක්ක සන්නිවේදනය කර ඇති බුදුහාමුදුරුවන්ටත් මනෝ භ්‍රාන්තියක්   තියෙන්න ඇති. සංඛ අමර්ජිත්ගෙ වචනවලින් නම් උම්මන්තකභාවයක් තියෙන්න ඇති. අපේ බෞද්ධයන් මේ වෙසක් දවස්වල බටහිර විද්‍යාව පසුපස ගිහින් පවු සිද්ධ කර ගන්නවා ද? රනිල්දාසලාට නම් පින් පවු නැති හින්ද ප්‍රශ්නයක් නැහැ. රනිල්දාසට කියන්න පුළුවන් ද මාක්ස්වාදයෙ වැඩ කරපු අදහසක් දෙකක්. නිකම් දැන ගැනීම පිණිස.

 

ආණ්ඩුව එන්නත් ගන්න කළ උත්සාහය තානාපතිවරු දන්නවා. අද ලෝකයේ හැමෝට ම එන්නත් අවශ්‍ය වෙලා. ඒත් අවශ්‍ය ප්‍රමාණයට එන්නත් නිපදවන්නේ නැහැ. පුළුවන් රටවල් එන්නත් ලබා ගන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදන නිකුත් කරනවා. එපමණයි. අද ඉන්දියාවෙත්, නේපාලයෙත්, බංග්ලා දේශයෙත් එන්නත් අවශ්‍ය ප්‍රමාණයට ලබා ගන්න නැහැ. බටහිර රටවල් නිකම් කතා කරනවා විතරයි. ඔවුන් දුප්පත් රටවලට දෙන ආධාරය කුමක් ද?  රනිල්දාසට හරි සජිත්ට හරි බැරිද කාට හරි දුරකතනයෙන් කතා කරල එන්නත් ටිකක් ලබා දෙන්න. ඒත් ඔය එන්නත් ගැනත් වැඩි විශ්වාසයක් තියා ගන්න එපා. ඕව මාස නවයේ එන්නත්. කමක් නැහැ නැති කමට විද ගන්න.

 

අද ආණ්ඩුව ඊනියා ආර්ථික විද්‍යාඥයන් හා ඊනියා වෛද්‍ය විශේෂඥයන් අතර හිර වෙලා. රට වහනවා ද? බටහිර වෙද මහත්තුරු හා වෙද හාමිනේලා රූපවාහිනියට ඇවිල්ල අප බය කෙරුවට ජනාධිපති ඉස්සරහ ඒවා කියන්නෙ නැතිලු. ජනාධිපති බය කරගන්න බැරි ද? බටහිර වෙද මහත්තුරුන්ගෙ එක් අංගයක් තමයි රෝගියා හා ඥාතීන් බය කිරීම. පාරම්පරික වෙද මහතුන් නම් එහෙම රෝගීන් බය කරන්නෙ නැහැ.

 

දැන් කොච්චර කාලෙකට රට වහන්න ද? පහුගිය අවුරුද්දෙ කොළඹ මාස දෙකකට කිට්ටු කාලයක් ඇඳිරි නීති දාල තිබුණා. හැබැයි ඒ කාලෙ අර රනිල්දාසගෙ මිථ්‍යා මතත් රටේ තිබුණා. දැන් සම්පරීක්‍ෂණයක් කරල බලමු ද ඒ කාලෙ රෝගය එතරම් පැතිර ගියෙ නැත්තෙ ඇඳිරි නීති හින්ද ද ඊනියා මිථ්‍යා මත හින්ද ද කියලා. අර අනුරාධපුරේ පරීක්‍ෂණය වගේ පරීක්‍ෂණයක් කරමු ද? කා ලවුව හරි වාර්තාවක් ලියා ගන්න බැරියැ. පහුගිය අවුරුද්දෙ ඇඳිරි නීති පැනවීම නිසා ආර්ථිකය කොපණ කඩා වැටිල ද කියල තවම ඊනියා ආර්ථික විද්‍යාඥයකු කිවුවෙ නැද් ද?

 

ඔය සති දෙකක් රට වැහීමේ කතාවේ පදනම කුමක් ද? සති දෙකක් ඇත් ද? ආසාදිතයකුට (රෝගියකුට නොවෙයි) වයිරසය  දින පහක පමණ කාලයක් තුළ පතුරවන්න පුළුවන් කියනවා. දවස් තුනේ සංචරණ සීමා මදි කියන්නෙ ඒ නිසා.  වයිරසය  තවත් අයකුට ආසාදනය වී රෝග ලක්‍ෂණ පහළ වීමට තවත් දවස් පහක් පමණ යනවලු. එතකොට දවස් දහයයි. තවත් දවස් කිහිපයක් අත් වාසියට වගේ එකතු කළොත් සති දෙකක් කියල කියන්න පුළුවන්. දැන් ඔය උපකල්පන ඔය විධියට ම වැඩ කරනවා ද?

 

උපකල්පන හා නිගමන අතර ඇත්තෙ ඇරිස්ටෝටල්ගෙ න්‍යාය මත පදනම් වෙලා කරන තර්ක මත පදනම් වූ සම්බන්ධයක්. උපකල්පන වැරදුනොත් මුල් ආසාදිතයන් රෝගි වුණෙත් රෝහලකට ගෙන යන්න පමා වුණොත් ආදී වශයෙන් තවත් අවස්ථා සලකන්න පුළුවන්. බටහිර ගණිතයෙ දි නම් ඒ ඒ අවස්ථා වෙන වෙන ම සලකනවා. බටහිර වෙද කමේ කොහොම ද කෙරෙන්නෙ? බටහිර වෙද මහත්තුරු හොඳ ශිල්පීන් වෙන්න පුළුවන්. සිප්සතර නැත්නම් ශිල්ප ශාස්ත්‍ර කියා කොටස් දෙකක් තියෙනවා. ලංකාවෙ බටහිර වෙද මහතුන්ගෙ ශාස්ත්‍ර පැත්ත කොහොම ද? රනිල්දාසට කියල සාස්තරයක් අස්සවමු ද?

 

ඔය රට වැහිලි ඕන වෙන්නෙ ප්‍රතිකාර නැති හින්ද නෙ. එන්නත හා රට වහන එක ප්‍රතිකාර නැති එකට යම් ප්‍රමාණයකට විසඳුමක් වෙන්න පුළුවන්. බටහිර වෙද මහත්තුරු අනෙක් වෙදකම්වල ප්‍රතිකාරවලට ඉඩ දෙන්නෙ නැත්තෙ ඇයි? ඒ අයගෙ තත්වයට කැළලක් වෙයි කියල ද? බටහිර වෙදකමට ප්‍රතිකාර නැති වුණත් තවමත් අපි බටහිර වෛද්‍ය ආධිපත්‍යයට යට වෙලා. ඒ අස්සෙ බටහිර දේශපාලන විද්‍යාඥ, පරණ සුවාදීන, පරණ ආණ්ඩුකාර ධම්ම දිසානායක විවෘත ලිපියකින් මහින්ද රාජපක්‍ෂට කියල වෛද්‍ය උපදේශ ලබා ගන්න කියල. නැහැ මහින්දගෙ ලෙඩකට නොවෙයි වෛද්‍ය උපදෙස් ලබා ගන්න කියන්නෙ. කොවිඩ් ලෙඩේට.  මේ වෛද්‍ය උපදේශ බටහිර බව ලිපියෙන් පැහැදිලි වෙනවා. ඒත් බටහිර වෙද මහතුන්ට රට වහන්න කියනවා හැරෙන්න දෙන්න පුළුවන් උපදේශය මොකක් ද?

 

මහින්ද ධම්මට නම කියා කතා කරනවලු. මා නම් මහින්ද හතර පස්වතාවකට වඩා හමුවෙලා නැහැ. මට ඔහු සමග සමීප ඇසුරක් නැහැ. ඔහු මට නම කියා කතා කරළත් නැහැ. මා ඔහුට යමක් කියන්න යන්නෙත් නැහැ. ඔහු ඒ කිසිවක් අහන්නෙ නැති බව මා දන්නවා. මා බටහිර කිසිම විද්‍යාඥයකු තබා උගතකු, බුද්ධිමතකු, වියතකුවත් නො වෙයි. ගුණදාස අමරසේකරගෙන් අහන්න. ඒත් මට ජනතාවට කියන්න දෙයක් තියෙනවා. ටික දෙනකු හරි අහාවි. අවශ්‍ය නම් එන්නත ලබා ගන්න. ඒ අතර වැඩි දෙයක් කරන්න බැරි නම්  ඉඟුරු ගම්මිරිස් සහ කුළු බඩු ආහාරයට යොදා ගන්න.  දුම් හට්ටිය අල්ලන්න. කැඳ බොන්න. හැකි තාක් ධාර්මික වෙන්න.  කොවිඩ් 19 කියන්නෙ සෙම කිපීම නිසා හැදෙන රෝගයක්. මට නම් තේරෙන්නෙ ඒක හෙම්බිරිස්සාවෙ වැඩිමහල් සොහොයුරකු කියා. මා බයියකු පමණයි. බටහිර විද්‍යාඥයකු නො වෙයි.