Main Logo

Tuesday 14 December 2021

එක රටයි එක නීතියයි

 

එක රටයි එක නීතියයි

 

එක රටයි එක නීතියයි කියන්නෙ සටන් පාඨයක් නො වෙයි. අප බොහෝ දේ තේරුම් ගන්නෙ බටහිර සංකල්ප හා කතන්දර අනුව. කතන්දර කියන්නෙ ඊනියා ප්‍රවාදවලට. කතන්දර කවුරුත් හදනවා. ලංකාවෙ නම් ලිඳ ළඟ කතා කෝපි කඩේ කතා ආදියත් තියෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සිංගප්පූරු ගියේ ඇයි? ඒ ගැන කතා දාහක් හදන්න පුළුවන්. ඒ කතා එකක්වත් වැඩ නොකරන එහෙම නැත්නම් හරියන්නෙ නැති කතා වෙන්න පුළුවන්. බොහෝ දෙනා නොදන්නවාට බටහිර විද්‍යාවෙ කතා හදන පත්‍රිකා දහස් ගණනකින් එකක් පමණක් හරියන්න ඉඩ තියෙනවා. හරියනවා කියන කතාත් ටිකක් කල් ගියාට පස්සෙ හරියන්නෙ නැති බව පේන්න පටන් ගන්නවා. එතකොට එක්කො කතාව සංශෝධනය කරනවා එහෙම නැත්නම් අලුත් ම කතාවක් ගොතනවා.

 

ඒ සාමාන්‍යයෙන් ස්වාභාවික විිද්‍යා ක්‍ෂෙත්‍රවල සිදුවෙන දේ. සමාජයීය විද්‍යා කියන ඒවයෙ එහෙම වෙන්නෙ නැහැ. ස්වාභාවික විද්‍යාවල වියුක්ත කතා සංකල්ප ගොතන්න පුළුවන්. ඒ යම් ආකාරයකට සාධාරණීකරණයක් කරන්න පුළුවන් නිසා. භෞතික විද්‍යාවෙ තමයි මෙය වැඩියෙන් ම කෙරෙන්නෙ. භෞතික විද්‍යාවෙ මිනුම් කෙරෙනවා. මේ කාරණා දෙක ම නිසා බටහිර භෞතික විද්‍යාව බොහෝ විට ගණිත භාෂාවෙන් විස්තර කරන්න පුළුවන්. භෞතික විද්‍යාවෙන් එහාට යන කොට මේ තත්වය වෙනස් වෙනවා.

 

සමාජයීය විද්‍යාවන්ට යන කොට සාධාරණීකරණය බැරි දෙයක් වෙනවා. පොල් ගෙඩි දෙල් ගෙඩි ඇපල් ගෙඩි ඔක්කොම ගෙඩි වුණාට ඔළු ගෙඩි එහෙම නැහැ. මා ඔළු ගෙඩි කීවත් එය මනස් කියල කියන්න ඕන. මනස තියෙන්නෙ ඔළුවෙ කියන එක මනස්ගාතයක් පමණයි. මා දැන් සති කිහිපයකට පෙර මෙරට බටහිර වෙදමහතුන්ට හා විිද්‍යාඥයන්ට ප්‍රශ්න දෙකක් දුන්නා. ඉන් එකකින් ඇහුවෙ මනස තියෙන්නෙ කොහෙද කියලා. තවම එයට පිළිතුරක් නැහැ. ඒ උත්තමයන් මගේ ලිපි නොකියනවා ම නො වෙයි. නරක ද සම්මන්ත්‍රණයක් තියලා ඒක සාකච්ඡා කළා නම්. පත්‍රිකා කිහිපයකුත් ඉදිරිපත් කරන්න පුළුවන්.

 

මාක්ස් සමාජ විකාශය හැම තෑන ම වෙන්නෙ එක රටාවකට  කියල හිතුවා. ඒ සඳහා කතා ගෙතුවා. ඒ ඔක්කො ම පට්ට ම පට්ටපල් බොරු. ඒ වුණත් මාක්ස්වාදියො කතා කර කර ඉන්නවා. මිනිසුන්ගෙ දුක් පීඩා නැති කරන්න සමාජවාදී සිහිනය හැරෙන්න වෙනත් සිහිනයක් නැහැ. සිහින දැකීම මාක්ස්වාදීන්ගේ විනෝදාංශය වෙලා. කොහොමටත් ඔය මාක්ස්වාදීන් බොහොමයකට මිනිසුන්ගෙ දුක් පීඩා නැති කිරීමේ වුවමනාවක් නැහැ. ඔවුන්ට තියෙන්නෙ වෙන ගණුදෙනුවක් බේරා ගැනීම පමණයි. ඒ ගණුදෙනුව සිංහල බෞද්ධ සංස්කෘතිය සමග තියෙන එකක්.

 

රටක් කියන්නෙ මොකක් ද කියන එක බටහිර සමාජයීය විද්‍යාවන්ට නිර්වචනය කරන්න බැහැ. ලෝකයේ බොහෝ තැන්වල දේශසීමා අරගල තියෙනවා. අද ඇති රටවල් බොහොමයක් ඉංගිරිසින්ගෙ නිර්මාණ. ඒවයින් අවුල් වැඩි වෙනවා. ඉස්සර දඹදිව හරි භාරතයෙ හරි තිබුණු සාගල නුවර, තක්‍ෂිලාව, ගන්ධාරය අද තියෙන්නෙ පකිස්ථානයෙ. කාශ්මීරය හැමදාමත් ප්‍රශ්නයක්.  ලංකාව කුඩා දූපත් රාශියක් සහිත දූපතකින් සමන්විත වීමත් බොහෝ කලක් රට එක්සේසත් ව තිබීමත් නිසා අපට රට කියන එක ගැන ප්‍රශ්න අඩුයි. ලංකාව කියන්නෙ  අප සාමාන්‍යයෙන් ලංකාද්වීපය කියා හඳුන්වන ප්‍රදේශය පමණක් නො වෙයි. ඒ වටා දූපත් රශියක් තියෙනවා. මෙයින් එක දූපතක් වූ කච්චතිවු සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයට අපි ඉන්දියාව එක්ක කතා කරල විසඳුමක් හොයා ගත්ත. ඒ විසඳීමේ දී බණ්ඩාරනායක මහත්මිය අගනා සේවයක් කළා.

 

නීිතිය කියන එක  අප හැඳින්නුවෙ සිරිත් කියලා. සිරිත්ලේනා තමයි අපේ එකල නීතිපති. සිරිත් තමයි බොහෝ රටවල විකාශය වෙලා නීතිය වුණේ. අද අප රටේ තියෙන්නෙ ඉංගිරිසි නීතිය මිශ්‍ර වුණු රෝම ලන්දේසි නීතිය. ඒ අතර තේසවලාමේ නීතිය මුස්ලිම් නීතිය වගේ නීතිත් ක්‍රියාත්මක වෙනවා. එය අසතුටුදායකයි ඒ නීති රෝම ලන්දේසි නීතිය වගේ ම බටහිරයන්, ලන්දේසීන් හා ඉංගිරිසින් අප මත පටවපු ඒවා. තේසවලාමේ නීතිය ලන්දේසීන් පැනෙවුව එකක්. එය මුස්ලිමුන්ගෙ නීතියක්. මුස්ලිමුනේගෙ නීතියක් යාපනයෙ දෙමළ ජනයා මත පැටෙවුවෙ ඇයි?

 

මට නම් එයට ඇත්තේ එක පිළිතුරක්. එහෙම නැත්නම් කතාවක්. මගේ කතාවට අනුව මුසලිමුන් වත්මන් දකුණු ඉන්දියාවෙ බටහිර මලබාර් පෙදෙසින් දහතුන්වැනි සියවසේ පමණ සංක්‍රමණය වූ දෙමළ කතා කරන ජන කොටසක්. ඔවුන් ලංකාවෙ බටහිර වෙරළෙත් උතුරෙත් පදිංචි වෙලා තියෙනවා. දකුණු ඉන්දියාවෙ බටහිරින් පැමිණි අය පදිංචි වෙන්නෙ ඒ ප්‍රදේශවල මිසක නැගෙනහිර නොවෙයි. මුස්ලිමුන් නැගෙනහිර පදිංචි කරනු ලැබුවෙ සෙනරත් රජු විසින්.  උතුරු පළාතෙ දහතුන්වැනි සියවසට පෙර  දෙමළ ස්ථිර වාසස්ථාන තිබුණෙ නැහැ.

 

යාපනේ නොවෙයි ලංකාවෙ කොහෙවත් දෙමළ ස්ථිර වාසස්ථාන තිබුණෙ නැති බව කිවුවෙ යාපන විශ්වවිද්‍යාලෙ ප්‍රථම ඉතිහාස මහාචාර්යවරයා වූ කාර්තිගේසු ඉන්ද්‍රපාල. ඔහු පසුව දෙමළ ජාතිවාදීන්ගේ බලපෑම නිසා වෙනත් කතා කී බව වෙන ම කරුණක්. දහතුන්වැනි සියවසට පෙර යාපනයෙ හිටියෙ කවුද. අති බහුතරය සිංහලයන්. ඒ බව ක්වේරොස් කියන කතාවෙනුත් පැහැදිලි වෙනවා. ඔහුට අනුව පෘතුගීසීන් ආවට පස්සෙත් යාපනයෙ බහුතරය සිංහලයන්. ඒ සිංහලයන්ට මොකද වුණෙ. ඔවුන් අද දෙමළ සංස්කෘතියෙ ඊනියා අඩු කුල බවට පත් කරලා.

 

මා හිතන්නෙ ලන්දේසින් එන විටත් උතුරෙ දෙමළ කතා කරන ජනයා අතර බහුතරය මුස්ලිමුන්. ඉන් පසු තමයි සිංහලයන් ද දෙමළ සංස්කෘතියට ඇතුල් කර ගත්තෙ. ලන්දේසීන් තමයි වෙල්ලාලයන් තම දුම්කොළ වගාවට දකුණු ඉන්දියාවෙ නැගෙනහිර කෝරමණ්ඩල වෙරළෙන් ගෙනාවෙ.  ඉංගිරිසින් මේ සියලු දෙනා පමණක් නොව මහනුවර හිටි තෙළිඟු හෙවත් අණ්ඩර දෙමළ (ආන්ද්‍ර දෙමළ) කතාකළ අයත් හැඳින්නුවෙ මලබාරයන් ලෙස. නුවරට මලබාර වීදියක් කොහෙන් ද?   ලන්දේසින්ට යාපනයෙ තේසවලාමෙ නීතිය පනවන්න උතුරෙ දෙමළ කතාකරන ජනයා අතර බහුතරය මුස්ලිමුන් වීමත් හේතුවක් වෙන්න ඇති.

 

පෘතුගීසීන් ද ලන්දේසීන් ඉංගිරිසින් ද සිංහලයන්ට පොරොන්දු වූ දෙයක් තමයි සිංහල නීතියට අනුව රට පාලනය කරන බව. ඕන ම නීිඥයකු ඒකට සාක්‍ෂි දරාවි. ඒත් බටහිරයන් තම පොරොන්දු ඉටු කෙළේ නැහැ. ඔවුන් තේ්සවලාමෙ  නීතිය මෙන් ම මුස්ලිම් නීතියත් පැනෙවුව. ඔවුන්ගෙ රටවල ඒ නීති පැනෙවුව ද? බටහිර රටවල දැන් සැලකිය යුතු මුස්ලිම් ජනගහනයක් ඉන්නවා. ඉංගිරිසින් සිංහල නීතිය අනුව රට පාලනය කරනවා වෙනුවට ලන්දේසින් අපට දීල ගිය රෝම ලන්දේසි නීතිය ම ඉංගිරිසි නීිති සංශෝධන සහිත ව යොදා ගත්තා. ඔවුන් කළ අවැඩක් තමයි සිංහල නීතිය උඩරට නීතිය ලෙස නම් කිරීම.

 

1815 වන තුරු මුහුදුබඩ පළාත් හැරෙන්න ඉතිරි ප්‍රදේශ සිංහල රජු යටතෙ පලනය වුණෙ. සිංහලය නමින් හැඳින්වුණු රට 1815 වන විට කුඩා වෙලා උඩරටට පමණක් සීමා වෙලා තිබුණා. ඒ කාලෙ වන විට සිංහලේ කිවුවෙ උඩරට. මැතක් වන තුරුම සිංහලේ කිවුවෙ උඩරටට. ගම්පෙරළියෙ ජිනදාස වෙළෙඳාමට සිංහලේ ගියා. 1815 වන විට උඩරට පළාත්වල පමණයි සිංහල නීතිය ක්‍රියාත්මක වුණෙ. ඉංගිරිසින් ඒ නීතිය සිංහල නීතිය යනුවෙන් හඳුන්වන්නෙ නැතිව උඩරට නීතිය කියල නම් කරල සිංඅහල නීතියට අනුව රට පාලනය කිරීමට දුන් පොරොන්දුව කඩ කළා.   

 

එක රටයි එක නීතියයි ගැන කතා කරන විට සැලකිය යුතු කරුණු කිහිපයක් පමණයි ඉහත සඳහන් කෙළෙ. තව විස්තර පසුවට.