Main Logo

Friday 3 December 2021

ඩග්ලස් වික්‍රමරත්න

 

ඩග්ලස් වික්‍රමරත්න

 

අද උදේ ම දැන ගන්නට ලැබුණේ කණගාටුදායක පුවතක්. එංගලන්තයේ ලන්ඩන් නුවර විසූ ඩග්ලස වික්‍රමරත්න මිය ගිහින්. ඔහු තම නිවසේ ම වැටී ඒ නිසා ඇති වූ ආබාධයක් නිසා සතියක් පමණ රෝහල් ගත වී පෙරේදා මිය ගිහින්. ඔහු මිය යන විට අසූ තුන් වැනි වියේ පසු වුණා. ඩග්ලස් ගැන මෙරට බොහෝ දෙනා නොදන්නවා ඇති. විශේෂයෙන් ම තරුණයන් නොදන්නවා ඇති. එංගලන්තයේ වුවත් වත්මන් සිංහල තරුණයන් ඩග්ලස් ගෑන අහල නැතිව ඇති. ජාත්‍යන්තර ව සිංහලයන් වෙනුවෙන් කටයුතු කළ අය අතර ප්‍රමුඛයා වුණේ ඩග්ලස් වික්‍රමරත්න.

 

ඩග්ලස් දෙහිවල ඉපි ද එහි හැදුණු වැඩුණු අයෙක්. ඔහු කොළඹ ආනන්ද විදුහලේ ආදී සිසුවෙක්. ආනන්දයේ සිංහල මෙන් ම ඉංගිරිසි විවාද කණ්ඩායම්වල නායකත්වය දැරූවෙක්. ඔහු පාසල් කණ්ඩායමට ක්‍රීඩා නොකළත් දක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. තරුණ වියේ ම එංගලන්තයට ගිය ඔහු එහි ප්‍රසිද්ධ ලොයිඩ් බැංකුවේ සේවය කළා. මා හිතන්නේ ඔහු සිංහල ගායක ගායිකාවන්  බටහිර රටවලට ගෙන්වා ගැනීමේ පුරෝගාමියකු වුණා කියලා.

 

ඩග්ලස් ගැන මා මුලින් ම ඇසුවේ හැත්තෑවේ දශකයේ. ඔහු එංගලන්තයේ සිංහල සංගමය පිහිටුවීමට කටයුතු කළා. සමහර විට එය ජාත්‍යන්තර ව පිහිටුවන ලද පළමු සිංහල සංවිධානය වෙන්න පුළුවන්. එකල පුහු විප්ලවවාදියකු වූ මට ඩග්ලස් ගැන ඇති වූයේ සුහද හැඟීමක් නො වෙයි. ඒ කාලය වන විට දෙමළ ජාතිවාදය එංගලන්තය විසින් ආරම්භ කෙරී  වර්ධනය කෙරිලා පොන්නම්බලම් රාමනාදන් පොන්නම්බලම් අරුණාෂලම් ජී ජී පොන්නම්බලම් චෙල්වනායගම් වැනි ජාතිවාදී නායකයන් පහු කරල ප්‍රභාකරන් යටතේ ජ වි පෙ ආදර්ශයට ගනිමින් ආයුධ අතට ගෙන තිබුණෙ.

 

පළමු තුන්දෙනාට තිබුණෙ ලංකාවෙ ම නායකයා වීමේ සිහිනය. එය ඉටු කර ගැනීමට බැරි බව දුටු චෙල්වනායගම් අඩු තරමෙන් ඉංගිරිසින් විසින් ඇති කෙරුණු උතුරු හා නැගෙනහිර පළත්වල පාලකයා වෙන්න උත්සාහ කළා. ප්‍රභාකරන් එයට විරුද්ධ ව වෙල්ලාල විරෝධයක් මගින් සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයකට සේන්දු වෙලා තිබුණා. ඔහුට කතෝලික පල්ලියේ මෙන් ම ඇංග්ලිකන් පල්ලියේ ද නොමඳ සහාය ලැබුණා.

 

ඩග්ලස් ක්‍රියාකාරී වූයේ ප්‍රභාකරන්ගේ මුල් යුගයේ ම. චෙල්වනායගම් 1976 වඩුකොඩ යෝජනා ඉදිරිපත් කරමින් දෙමළ මුස්ලිම් ජනකොටස් සිංහලයන්ට විරුද්ධ ව සංවිධානය කළා. එහෙත් වැඩි කල් යෑමට පෙර තොණ්ඩමන් ඒ සංවිධානයෙන් අයින් වුණා. ඔහු වෙල්ලාල නායකත්වය නොපිළිගෙන තම නායකත්වයෙන් උඩරට දෙමළ බලය ශක්තිමත් කරන්න උත්සාහ ගත්තා. ප්‍රභාකරන් ඉතිරි පළාත්වල දෙමළ නායකත්වයට අවි බලයෙන් පත්වුණා.

 

ඉංගිරිසින් මෙන් ම සියලු සිංහල බෞද්ධ විරෝධීන් ප්‍රභාකරන්ට යම් ආකාරයකින් සහාය දුන්නා. වමක් නැතුවත් වමාලා දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටියා. එකල තිබූ ප්ලොට් ඊ පී ආර් එල් එෆ් වැනි සංවිධාන සමග විවිධ වමාලා කටයුතු කළා. මේ සංවිධානවල නම්වත් අද ඉන්න තරුණයන් දන්නෙ නැතිව ඇති. වමාලා ඒ ඒ දෙමළ ජාතිවාදී ආයුධ සන්නද්ධ කල්ලි බෙදා ගැනීමට පොර කෑවා. එහෙත් අවසානයේ දී නායකත්වයට පත් වුණෙ ප්‍රභාකරන්. එංගලන්තය මෙන් ම ඉන්දියාව ද ප්‍රභාකරන්ගේ දෙමළ ත්‍රස්තවාදීන්ට පුහුණුව ලබා දුන්නා. එංගලන්තය ඒ සඳහා ඊශ්‍රායලය යොදා ගත්තා. ඊශ්‍රායලයට ඒ පිළිබඳ මතවාදී ස්ථාවරයක් තිබුණේ නැහැ. ඔවුන් සමගාමී ව ලංකා හමුදාවටත් පුහුණුව ලබා දුන්නා!

 

ඩග්ලස් එංගලන්තයේ ඉඳගෙන ම දෙමළ ජාතිවාදයට විරුද්ධ ව වැඩ කළා. මා හිතන්නේ ඔහු තරම් එංගලන්තයේ හා බටහිර වෙනත් රටවල  සිංහල විරෝධීන් සමග වාද කළ තවත් පුද්ගලයකු නැහැ කියා. බීබීසී ආයතනයේ දී ඔහු වාද ගණනාවකට ම සහභාගි වුණා. බිරිතානි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමු වී කරුණු පැහැදිලි කළා. එහෙත් එංගලන්තයේ කොන්සර්වෙටිම් මෙන් ම ලේබර් මන්ත්‍රීවරුන් ද බහුතරය සිංහල විරෝධීන්. ඒ සිංහල බෞද්ධ විරෝධයක්. සිංහල සංගමයේ ආරාධනයෙන් මා වරක් ලන්ඩන්හි බර්මින්හම්හි දේශන මාලාවක් පැවැත්වූවා. ඔහු සංවිධානය කළ ලෝක සිංහල සම්මේලනය අද තුන හතරට කැඩිලා. ඒ තමයි සිංහල ජාතිකත්වය.

 

ඩග්ලස් නිතර ලංකාවට ආව ගියා. ඔහු එංගලන්තයේ ශාරීරික ව ජීවත් වුණත් මානසික ව ජීවත් වූණේ ලංකාවේ. අවුරුදු දහඅටක් පුහු විප්ලවාදියකු ව සිටි මා පසුව ඔහුගේ හිතවතකු වණා. ඔහු අපට වඩාත් සමීප වූයේ අනූවේ දශකයේ මුල චන්ද්‍රිකාගමනය සමග. චන්ද්‍රිකා හා අවුං සාන් සු චී එක ම අච්චුවේ. දෙදෙනා ම ඝාතනයට ලක් වූ ජාතික නායකයන්ගේ දියණියන්. දෙදෙනා ම යුරෝපයේ ඉගෙන ගත් අය. දෙදෙනා ම එංගලන්තයේ ජීවත් වූ එංගලන්ත නියෝජිතයන්. දෙදෙනා ම ඉංගිරිසින් විසින් බෞද්ධ සංස්කෘතීන්ට විරුද්ධ ව යොදා ගැණුනවුන්.

 

චන්ද්‍රිකා ගෙන්වා ගැනීමට වික්ටර් අයිවන් රාජිත සේනාරත්න හා තවත් සිංහල බෞද්ධ විරෝධීන් ද කටයුතු කළා. ඉංගිරිසින් ඇය ලංකාවට පිටත් කර එවුවා. අපට ඇය එන්නේ කුමකට ද යන්න ගැන පැහැදිලි අවබෝධයක් තිබුණා. ගොනා හැරෙන්නේ මොකට ද කියා අප දැන සිටියා. සියලු සිංහල බෞද්ධ විරෝධීන්ට අවශ්‍ය වුණේ චන්ද්‍රිකා ලවා ඊනියා සාම සාකච්ඡා ඇති කර දෙමළ ජාතිවාදයේ හා එංගලන්තයේ අවශ්‍යතා ඉටු කර ගැනීමට. ඔවුන් හිතුවේ ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ ආණ්ඩුවකින් දෙමළ ජාතිවාදී අවශ්‍යතා ඉටු කරන විට සිංහලයන් විරුද්ධ නොවී ඉඳීවි කියා.

 

වමාලා චන්ද්‍රිකාට ආධාර කළා. එ ජා ප දාහත් අවුරුදු ශාපය ඇයට උපකාරයක් වුණා. අප කියා සිටියේ චන්ද්‍රිකාට විශාල වෙනසක් කිරීමට තරම් බලයක් නොදිය යුතු බවයි. අප කිහිප දෙනකු ම එ පෙ යටතේ අනූහතරේ මැතිවරණයට වෙන ම ඉදිරිපත් වුණා. එකල ඩග්ලස් සිටියේ ලංකාවේ. ඔහු මගේ මැතිවරණ ව්‍යාපාරයට පූර්ණ සහයෝගය දුන්නා කීම ප්‍රමාණවත් නැහැ. ඔහු දිනපතා උදේ ම තම රිය පදවා ගෙන කොළඹ සිට පාණදුරේ අප මහගෙදරට ආවේ මැතිවරණ ව්‍යාපාරයට සහභාගි වීමට. ජී එල් පීරිස් මා කොළඹ විශ්වවිද්‍යාලයෙන් එළවා තිබුණේ. අනූවේ දශකයේ මුල ප්‍රේමදාස සමග සිටි ඔහු මැතිවරණය වන විට චන්ද්‍රිකාට එක් වී සිටියා. ඔහුගේ දේශපාලනය එබඳුයි. ඒ කෙසේ වෙතත් මගේ මැතිවරණ ව්‍යාපාරයේ බර කරට ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන්. ඩග්ලස් ඔවුන් බොහෝ දෙනකු නමින් දැන සිටියා! ඩග්ලස් දිනයේ මැතිවරණ ව්‍යාපාර කටයුතු අවසන් කර කොළඹ ගියේ රෑ බෝ වී. ඒ පසුදා උදැසනින් ම ආපසු ඒමට.

 

අප මැතිවරණයෙන් පරාජය වුණා. ඒත් මතවාදී ව්‍යාපාරය ජය ගත්තා. සියළු බලය හා සංවිධාන ශක්තිය යොදා ගත් මංගල සමරවීරගේ සුදු නෙළුම් අවලම් තවලම් ගියත් ඊනියා රාජ්‍ය නොවන සංවිධාන හා සිවල් සමාජය හිටි පිනුම් ගැහුවත් චන්ද්‍රිකාට දෙමළ ජාතිවාදයේ හා ඉංගිරිසින්ගේ අවශ්‍යතා ඉටු කිරීමට නො හැකි වුණා. මා හිතනවා එයත් ඩග්ලස් සිංහලයන්ට ලබා දුන් තවත් ජයග්‍රහණයක් කියා.

 

ඩග්ලස් ජයග්‍රහණ රැසක් සිංහල ජාතියට අත් කර දී තියෙනවා. ඒත් බොහෝ සිංහලයන් ඔහු ගැන දන්නේ නැහැ. ඒ මෙරට ජනමාධයේ හපන්කමක්. ජනමාධ්‍ය යමකුට දෙන ප්‍රචාරය තරමටයි ජනතාව යමකු ගැන දැන ගන්නේ. අවාසනාවකට මෙරට ජනමාධ්‍ය ඩග්ලස්ගේ අගය දැන සිටියේ නැහැ. අදත් දැන ගන්නේ නැහැ. මේ ලිපිය කිසිම ජනමාධ්‍යයක ප්‍රචාරය වන්නේ නැහැ. මා හිතන්නේ ඔහූ මගින් මුලින් ම බටහිර රටවල ගී ගයන්න ගිය ගායක ගායිකාවන් සමහර දෙනකුටත් ඩග්ලස් අමතක වෙලා ඇති කියා.

 

මා ලියන ලිපි දිනපතා ම විද්‍යුත් තැපෑලෙන් ඩග්ලස්ට යැවුවා. ඔහු ඒ ලිපි බොහෝමයක් තම මිතුරන් සමග බෙදා හදා ගත්තා. එහෙත් තමා වෙනුවෙන් ලියන මේ ලිපිය ඩග්ලස් කියවන්නේ නැහැ.

 

සිංහල ජාතියේ චිරස්ථිතිය සඳහා තවත් බොහෝ දේ කරන්න තියෙනවා.  ඒ සියල්ල ඉටු කිරීමෙන් පසු නිවන් සම්මාබෝධය පතමු.

 

ඩග්ලස්ගේ වියෝව වෙනුවෙන් අප පවුලේ ශෝකය ඔහුගේ බිරිඳ කුසුම් පුතා රුවන් දුව මනිෂා සමග බෙදා ගන්නවා.