Main Logo

Wednesday 1 December 2021

මහා පිපිරුමේ සිට ගෑස් පිපිරීමට

 

මහා පිපිරුමේ සිට ගෑස් පිපිරීමට

 

කංසා,  රසායනික පොහොර, ගෑස් පිපිරීම, මහා පිපිරුම, කළු කුහර, දෙමළ ජාතිවාදය, පාස්කු ප්‍රහාරය, ඩොලර් අර්බුදය, මියන්මා, කාදිනල්තුමා, ජී එල් පීරිස්, දේවානන්ද වෛද්‍යසේකර,  සුනිල් සාන්ත, සුනිල් ආරියරත්න, පඬි නැට්ටන්, අශෝක අමරතුංග මේ සියල්ල සහ තවත් දේ එකිනෙකට සම්බන්ධයි. මහා පිපිරුම හා කළු කුහර නොවන්න අනෙක් සියල්ල මේ ඉර හඳ යට සිදු වෙන දේ බව කියනවා. ඒ සියල්ල බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ සංසිද්ධි.  කළු කුහර තියෙන්නේ ඉරට උඩින් ද? මහා පිපිරුම මුළු මහත් විශ්වයට ම සම්බන්ධයි. ඒක ගෑස් පිපිරුම වගේ නො වෙයි. බටහිර විශ්වවේදීන් කියන විධියට නම් මහා පිපිරුම නොවන්න ගෑස් පිපිරුමක් නැහැ. මොන එහෙකට මහා පිපිරුමක් ඇති වුණා ද? දෙයියො තමයි දන්නෙ.

 

මා මෙහි ඉරට යටින් හඳට යටින් වගේ කිවුවට මේවා එක් ව්‍යවහාරයක පවතින යෙදුම් පමණයි. මගේ ප්‍රියතම ගායකයකු වූ දේවානන්ද වෛද්‍යසේකර ගයන ගීතයක තියෙනවා ඉරට යටින් හඳට යටින් කාලය පැන යනවා කියා. එය හොඳ කවි කල්පනාවක්. මා ඒ ගීතයටත් කැමතියි. ඒත් වෙනත් ව්‍යවහාරයකට අනුව රෑ වෙන කොට ඉර තියෙන්නෙ අපට යටින්. ඒ කියන්නෙ අප ඉරට උඩින් කියන එකයි. කොයි මොහොතෙත් ඇමෙරිකා මහාද්වීපය තියෙන්නෙ අපට යටින්. අපි ඉන්නෙ එක්සත් ජනපදවලට උඩින්. මොන තරම් වැඩක් ද? අපි ඒක තේරුම් අරං නැහැ. උඩ යට තීරණය කෙරෙන්නෙ අපි හිට ගෙන ඉන්න විට හිස තියෙන්නෙ උඩ සහ පාද තියෙන්නෙ පහත එහෙමන් නැත්නම් යට කියන අදහස මත පිහිටලා. ඔය පාතාලය තියෙන්නෙ  ඊටත් යටින්. පහත තැන නැත්නම්  පාත ආලය කියන්නෙ පාර්ලිමේන්තුවට නො වෙයි.

 

පාතාලයෙත් කොහෙත් අවිගත් අය අවියෙන් ම නැසනෙවා. බොහෝ දෙනා දෙවියන් ගැන කියන කොට උඩ බලනවා. ඒත් දෙවියන් ඉන්නෙ යට වෙන්නත් පුළුවන්. එංගලන්තෙ ක්‍රිකට් ක්‍රීඩා කරන වෙලාවට එහෙදි දෙවියන් උඩ ඉන්නව නම් ඒ වෙලාවට ඕස්ත්‍රේලියාවෙ දි දෙවියන් ඉන්නෙ යට ද? දෙවියන් උඩත් යටත් හැම තැන ම ඉන්නවා. දවල්ට උඩ ඉන්න දෙවියන් රෑට ඉන්නෙ යට. තිස්තුන් කෝටියකට ඉන්න තැන් තියෙන්නත් ඕන. ඒක නිසා දෙවියන් ගැන හිතල බිම බැලුවත් කමක් නැහැ. හැබැයි එතකොට අපාය හරහා තමයි බලන්න වෙන්නෙ.  

 

මා මෙයින් කියන්නෙ දෙවියන් නැහැ කියන එක නො වෙයි. පඬි නැට්ටන් කලබල වෙන්න ඕන නැහැ. උඩ යට කියන සංකල්පවල සාපෙක්‍ෂතාව ගැනයි මට කියන්න ඕන වුණෙ. නාථ දේව මණ්ඩලයත් උඩිනුත් යටිනුත් ඇති. නාථ අනාථ වෙන්නෙ නැහැ. පඬි නැට්ටන්ට නම් සකර්බර්ග් අනාථ කඳවුර නැත්නම් ජීවිතයක් නැහැ.  පඬි නැට්ටන්ගේ වෛරයට වැඩියෙන් ම පාත්‍ර වෙලා ඉන්නෙ මා. ඒ ගැන මා සතුටු වෙනවා. ඉන් කියැවෙන්නෙ මගේ අදහස් ඔවුන්ගේ හිස් වූ හිස්වලට හිසරදයක් කියන එක. ඔවුන්ගේ දේශපාලනය නැත්තට ම නැති වෙලා.   

 

උඩ යට විතරක් නො වෙයි. දවල් රෑ කියන සංකල්පත් සාපේක්‍ෂයි. දේවානන්ද වෛද්‍යසේකර ගයන  ගීතයෙ තියෙනවා කාලය පැන යනවා කියා. බුද්ධඝෝෂ හාමුදුරුවො අත්ථසාලිනියෙහි ලිවුවෙ කාලය පඤ්ඤත්තියක් කියල. අයින්ස්ටයින්ට අනුව කාලය හා අවකාශය එකට බැඳිලා.එතකොට  කාලය පැන යන්නෙ අවකාශයෙ ද? මා කිවුවොත් කාලය හා අවකාශය ද්‍රව්‍යවලට හරවන්න පුළුවන් කියලා, එහෙමත් නැත්නම් හැරවෙනවා කියලා කවුරුන්වත් පිළිගන්න එකක් නැහැ. ඒත් පංච මහා භූතයන්ට ආපො තේජො වායො පඨවි පමණක් නොව ආකාසත් ඇතුල් වෙනවා. එක එක රාමුවල එක එක විධියට.   

 

කංසාත් සාපේක්‍ෂයි. කංසා ඖෂධීය අවශ්‍යතා සඳහා අපනයනය කිරීමට නීති රීති සම්පාදනය කරන බව රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි කියා තිබුණා. ඒක හොඳ වැඩක්. ඉංගිරිසින්ට පෙර මෙරට කංසා ඖෂධයක් ලෙස යොදා ගැණුනා. එය ඇතැම් රෝගවලට ඉතා හොඳ ප්‍රතිකාරයක් බව කියනවා. ඉංගිරිසින් තමයි මෙරට කංසා තහනම් කෙළෙ. එහි එක් අරමුණක් වුණෙ හෙළ වෙදකමට පහර ගැහීම. සිසිර ජයකොඩි පහුගිය අවුරුදු දෙකේ හෙළ වෙදකමට සේවයක් කරල තියෙනවා. තවත් බොහෝ දේ කරන්න තියෙනවා. කංසාවල ප්‍රශ්නය තියෙන්නෙ වත්මන් සමාජයට මිස පැරණි සමාජයට නො වෙයි. කංසා තහනම් කළ ඉංගිරිසින් අප මත බටහිර අධ්‍යාපනයක් පැටෙවුවා. ඒකෙ බර අපට උහුලන්න බැහැ. කංසාවලට ඖෂධයක් පමණක් නොව සාධාරණ වශයෙන් ද ඇති තහනම ඉවත් කිිරීමේ දී අද  සමාජයේ ප්‍රශ්නයක් විය හැක්කේ බටහිරයන් අපට පුරුදු කරල තියෙන මත්පැන් හා මත්ද්‍රව්‍ය නිසා මිස කංසාවල ඇති ප්‍රශ්නයක් නිසා නො වෙයි.

 

රසායනික පොහොර තහනම ගැනත් බලන්නෙ සාපේක්‍ෂව. තහනම ඉවත් වුණු ගමන් එළවළු මිල පහත වැටුණේ මොන ආර්ථික විද්‍යාවට අනුව ද? පොඩි අල ලොකු අල වුණෙ මොන කෘෂිවිද්‍යාවට අනුව ද? අර චීන පෙහොර ගැන දින තුනේ පරීක්‍ෂාව වෙනුවට කළ යුතු දින පහේ පරීක්‍ෂාව දැන්වත් කරමු ද? ගහටත් නැහැ බඩටත් නැහැ ප්‍රතිපත්තිය අනුව අද අපට ඩොලරුත් නැහැ පොහොරත් නැහැ. හිතන්න එපා මෙරට ඊනියා විද්වතුන් මහාචාර්යවරුන් දරන්නේ ඊනියා වාස්තවික මතයක් කියා. වාස්තවික මත කොහොම වෙතත් ගාස්තුවික මත තියෙනවා.

 

පොහොර ආනයන සමාගම්වලට කලින් නොතිබූ ඩොලර් තහනම ඉවත් කර ගමන් ලැබිලා. බයිඩන් එවන්න ඇති. කමලා හැරිස් එවුව ද දන්නෙත් නැහැ. මාෆියා මුලින් ම තිබුණෙ ඉතාලියෙ. දැන් ලංකාවෙත් තියෙනවා. පොහොර වගේ ම හාල් මාෆියාත් තියෙනවා. අපට මියන්මා දේශය හාල් එවන්න සූදානම්. එය ථෙරවාද බෞද්ධ රටක්. ඔවුන්ට අප ගැන ගෞරවයක් තියෙනවා. මා නම් එදත් අදත් හිතන්නෙ විජයබා අනව්රත රජ දවස මෙන් අප එක් වී කටයුතු කළ යුතු බව.

 

අපට පටන් ගන්න පුළුවන් පොල් කර්මාන්තයෙන්. මියන්මා වැසියන් පොල් ගහෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. මියන්මා ධන කුවේරයන් ඉන්නවා. ඔවුන්ට ලංකාවෙ ආයෝජනය කරන්න බැරි වේවි. ඒ ඔවුන්ටත් ඩොලර් ප්‍රශ්නය තියෙන නිසා. ඒත් අපේ පොල් සංවර්ධන මණ්ඩලයට පුළුවන් මියන්මා ධන කුවේරයන් සමග එක් වෙලා එහි පොල් කර්මාන්තයක් පටන් ගන්න. ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරන්න පුළුවන්.  පොල් රටවල් දෙකට ම ඩොලර් උපයන මාර්ගයක් වේවි. අර ධීවරයන් නිදහස් කර ගැනීමේ දී මියන්මා භික්‍ෂූන් වහන්සේත් හමුදා ආණ්ඩුවත් අපට උපකාර කළ ආකාරය මට කිසි දා අමතක වන්නේ නැහැ.

 

මා මහා පිපිරුම පට්ටපල් බොරුවක් බව දැන ගත්තත් ගෑස් පිපිරීම  ගැන  එතරම් දෙයක් දන්නේ නැහැ. මා බ්‍යුටේන් තියා මීතේන්වත් දන්නේ නැහැ. මා දන්නේ කොපර් සල්ෆේට් පමණයි. විෂ්ණු දෙවියන් තරම් නැති වුණත් ඒ නිල් පාටයි. ඒ සුනිල් ද? ඒත් හැම සුනිල් ම සුනිල් සාන්ත කෙනෙක් නො වෙයි.  වත්මන් ගෑස් පිපිරීම නම් අස්වාභාවික  බව පැහැදිලියි. එයට හේතුව ගෑස්වල සංයුතිය වෙනස් වීම ද? සංයුතිය වෙනස් කරල නම් ඒ කරල තියෙන්නෙ කොහේ දි ද? කාගෙ අවශ්‍යතාවකට ද? 

 

බටහිර විද්‍යාව ධනවාදය සමග බැඳිලා. ඒ දෙක ම එක ම ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වෙන්නෙ. කාදිනල්තුමා මොන මොළ කාරයන් ගැන කිවුවත් දෙමළ ජාතිවාදය වගේ ම පාස්කු ප්‍රහාරයත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ සැලසුම්.

 

අශෝක අමරතුංගලා හිතන්නෙ බටහිර විද්‍යාව වාස්තවික කියලා. ඒක ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වූ ක්‍රිස්තියානි සංස්කෘතියෙ නිපැයුමක්. පට්ටපල් බොරුවක්. බටහිර විද්‍යාව ගැන සංවාදයකට එළඹීමට මා නුවරට ම ගොස් සම්මන්ත්‍රණයක් සංවිධානය කළත් අශෝක අමරතුංග ආවෙ නැහැ. මුදල් ඉපයීම සඳහා ජනතාවගේ ජීවිතවලට තර්ජනයක් වෙන විධියට කවුරු හරි ගෑස් සංයුතිය වෙනස් කරල නම් ඒ අයට නිසි දඬුවම් දෙන්න ඕන. ජී එල් පීරිස් ඔය වගෙ දේවල් සිසුන්ට කියා දීම නිසා මට දඬුවම් කළෙ පාලක මණ්ඩල ගෑස් යොදා ගෙන. ඔහු හා ඇමති මණ්ඩලය ගෑස් පිපිරීම් ගැන ගෑස් සමාගම් වග කියන්න ඕන නම් අදාළ අයට ගෑස් පෙන්නාවි ද?