Main Logo

Monday 6 December 2021

පාර්ලිමේන්තු වරප්‍රසාද

 පාර්ලිමේන්තු වරප්‍රසාද


පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී බොහෝ මන්ත්‍රීවරුන් බොරු කියන බව පැහැදිලියි. මන්ත්‍රීවරුන් තම තමන්ට පමණක් නොව බාහිර පුද්ගලයන්ට ද අපහාස කරනවා. පාර්ලිමේන්තුවේ නොයෙකුත් ගිවිසුම් ගැන කියනවා. ඒ කියන සියල්ල ඇත්ත නොවන බව අප දන්නවා. ඒත් අපට ඒ ගැන කිසිවක් කරන්න බැහැ. රනිල් කියන විධියට අපට හම්බන්තොට වරාය ගැන චීනය සමග ඇති අනූනව අවුරුදු ගිවිසුම ඕනැම වෙලාවක වෙනස් කරන්න පුළුවන් ද?  මෙහි ඇත්ත යනුවෙන් කියන්නේ සම්මුති අරුතකින් පමණයි. මා හිතන පතන විධියට නම් සියල්ල බොරු, මනසේ නිර්මාණ. 


මා කලිනුත් කියා ඇති මගේ ප්‍රියතම චරි්තය සිඳු නාට්‍යයේ හීන් බබා සීයා කියා. ඔහු අහස් යානා බස් නැවතුම්පොළ (හෝල්ට්) දෙක තුනක නවත්තා යන හැටිත් කියනවා. දෙරණ සිඳු නාට්‍යය ප්‍රචාරය කිරීමෙන් පසුවයි ප්‍රවෘත්ති ප්‍රචාරය කරන්නේ. හීන් බබා සීයාට සවන් දුන්නට පස්සෙ තමයි පාර්ලිමේන්තු කතා අහන්න ලැබෙන්නෙ. හීන් බබා සීයා අප මන්ත්‍රීවරුන්ගෙ කතා ඇසීමට සූදානම් කරනවා. 


විපක්‍ෂය තීරණය කරල, මට තේරෙන විධියට නම් අයවැය කාරක සභා අවස්ථාව නිම වන තුරු, පාර්ලිමේන්තුව වර්ජනය කරන්න. ඒක හොඳයි. ඉතිරි අවුරුදු තුන ම පාර්ලිමේන්තුව වර්ජනය කරන්න තීරණය කරන්න බැරි ද? ඒත් විපක්‍ෂ නායක හා ප්‍රධාන සංවිධායක අත්හැරලා. එවිට රනිල් පාර්ලිමේන්තුවෙන් පිට තියල සජිත්ටයි කිරිඇල්ලටයි පාර්ලිමේන්තු එන්න පුළුවන්.  විපක්‍ෂයෙ ප්‍රධාන සංවිධායක කිරිඇල්ල නීතිඥයෙක්. ඒත් ඔහු උසාවියෙ නඩු කතා කරනවා කියලා මා අහල නැහැ. ඔහුගෙ සාමාන්‍ය පෙළ සහතිකය මට ප්‍රශ්නයක් නො වෙයි. 


පාර්ලිමේන්තු මන්ත්‍රීකම ඔය සහතික උගත්කම මත රැඳෙන එකක් නො වෙයි. අනෙක සහතික ලබා ගැනීමේ ක්‍රම හා විධි තියෙනවා. පාර්ලිමේන්තුවෙ ඉන්න නීතිඥයන්ගෙන් නඩු දහයක්වත් කතා කරපු අය කවුද? පාර්ලිමේන්තුවෙ සාමාන්‍ය පෙළ සහතික හරියට නැති කී දෙනකුට ආචාර්ය උපාධි තියෙනවා ද? ඔය එකක්වත් වටින දේ නො වෙයි. ජී එල් පීරිස්ට ජොන්ස්ටන් ප්‍රනාන්දු එක්ක හැරෙන්නවත් පුළුවන් ද? මහාරාජගෙ  සිරසෙන් පුහුණු කෙරුණු මනුෂ නානායක්කාරට පුළුවන් ද? 


කතානායකතුමා මනුෂට කතා කරන්න දීල නැහැ කියනවා. මනුෂ ඒකට විරුද්ධත්වය පාන්න කතානායක අසුන ළඟට ගිහින්. විරුද්ධත්වය පාන්න කතානායක ළඟට ම යන්න ඕන ද? හවස පහෙන් පස්සෙ කතා කරන්න ඉඩ දෙන්නෙ නැති බවට තීරණයක් තිබිලා. අයවැය කාරක සභා අවස්ථාවෙ දි විරුද්ධ පක්‍ෂයට මුළු කාලයෙන් සියයට හැටක් වෙන් කරනවා. නලින් බණ්ඩාර අල පෙන්නන්න ගත්ත වෙලාව මනුෂට දෙන්න තිබුණා. අලත් එක්ක ම කාලයත් දෙන්න තිබුණා. ඒ කොහොම වුණත් මනුෂට කතා කරන්න දෙන්න බැරි කමක් තියෙන්න ඇති. ස්ථාවර නියෝග බලන්න ඕන. එහෙම නැත්නම් සිඳු බලන්න ඕන. 


පාර්ලිමේන්තුව කියන එක අපට ලැබුණෙ ඉංගිරිසින්ගෙන්. එංගලන්තෙ රජුට ඉස්සර ඉඳල ම සාකච්ඡා මණ්ඩපයක් තිබිල තියෙනවා. රජු ඒ සාකච්ඡා අනුව වැඩ කළ එක නොවෙයි ඒකෙන් කියැවෙන්නෙ. ඉංගිරිසි සංස්කෘතිය එහෙමයි. බැලූ බැල්මට හොඳ ආයතන තියෙනවා. ඒත් වැඩ කෙරෙන්නෙ වෙනත් විධියකට. තුන්වැනි හෙන්රි රජුගෙ කාලෙදි 1236 දි තරම ඔය සාකච්ඡා මණ්ඩපයට පාර්ලිමන්ට් කියන වචනෙ යොදා ගෙන තියෙනවා. පාර්ලිමන්ට් කියන චචනය ලතින් වචනයකින් බිඳී ප්‍රංශ භාෂාව හරහා ලැබුණක්. එහි තේරුම ම සකච්ඡාව කියන එක. ඒ වචනය යොදා ගැනීම ඉංගිරිසි ඉතිහාසයෙ වැදගත් සිදුවීමක් ලෙස සටහන් වෙනවා. 


මා ඉතිහාසයට ඇලුම් කරනවා. ඒත් ජී සී මැන්දිස්ගෙ ගෝල බාලයන් කියන ඉතිහාසයට නො වෙයි. ගණිතය හා භෞතික විද්‍යාව නොකරන්න මා ඉතිහාසය හා පුරාවිද්‍යාව හදාරන්න තිබුණා. පාසලේ දී මට ගණිතය සම්බන්ධ ත්‍යාගවලට අමතර ව ඉංගිරිසි ඉතිහාසය (කණිෂ්ඨ) ත්‍යාගය ද ලැබුණා. ඒ මගේ පෞද්ගලික ඉතිහාසයෙන් අල්ප මාත්‍රයක්. මට අප රටේ ඉතිහාසය ගැන බොහෝ දේ කියන්න තියෙනවා. මේ සියල්ල පැත්තකට දාල ඒ ඉතිහාස කතාව ලියන්න හිතෙනවා. ඒ ඉතිහාසය යක්‍ෂයන් නාගයන් දේවයන් සිංහල වීම පිළිබඳ කතාවක්. ඒ විතරක් නොවෙයි අපේ ග්‍රීක හා වෙනත් සම්බන්ධකම් ගැනත් කියන්න ඕන. 


සිංහල වීම කියන්නෙ මොකක් ද කියන එක පඬි නැට්ටන් දන්නෙ නැහැ. ඉංගිරිසි හරි වෙනත් ජාතියක් හරි කියන්නෙ මොකක් ද කියලත් දන්නෙ නැහැ. සිංහලයන් කියන්නෙ සිංහල  සංස්කෘතියකට සිංහල භාෂාවකට අයත් බව සවිඥානික ව දන්න පිරිසක්. ඔවුන් සිංහල භාෂාව කතා කරන්නවත් අවශ්‍ය නැහැ. මෙරට පඬි නැට්ටන් සවිඥානික ව සිංහල බෞද්ධ  විරෝධී ඉංගිරිසි ක්‍රිස්තියානින් වෙන්න හදන පිරිසක්. ඔවුන්ට දැනට ජාතියක් ජම්මයක් නැහැ. ජාතියයි ජම්මයයි කියන්නෙ දෙකක් බව ඒ වහරෙනුත් කියැවෙනවා. . ඔවුන් ඉංගිරිසි දන්නවද නැද්ද යන්න ප්‍රශ්නයක් නො වෙයි.  


ඒ කොහොම වෙතත් ඉංගිරිසි ඉතිහාසයෙ පළමුවැනි චාල්ස් රජුගෙ කාලෙ ප්‍රශ්නයක් ආවා. ස්කොට්ලන්තය සමග යුද්ධ කිරීමට රජුට ප්‍රතිපාදන අවශ්‍ය වුණා. පාර්ලිමේන්තුවෙ සාමාජිකයන් ප්‍රධාන වශයෙන් පස් දෙනකු එයට විරුද්ධ වුණා. රජුට ඕන වුණා ඔවුන් හිරභාරයට ගන්න. රජු පිරිසක් සමග පාර්ලිමේන්තුවට ගියා. එය වැරදි දෙයක් ලෙසයි සැලකුණෙ. රජු කතානායකගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කළා. එවිට තමයි කතානායක අර සුප්‍රසිද්ධ ප්‍රකාශය කෙළෙ. ඔහු කියා සිටියෙ තමාට අසන්න කන් නැත, දකින්න ඇස් නැත කියලා. 


අපේ කතානායකට නම් ඇස් කන් තියෙන බව පැහැදිලියි. මනුෂ කතානායක අසුන දෙසට එනවා කතානායකට පේන්න ඇති. ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඊටත් වඩා හොඳට පේන්න ඇති. විපක්‍ෂය දැන් පාර්ලිමේන්තු වරප්‍රසාද ගැන කියවනවා. තම ආරක්‍ෂාව සහතික කරන්න කියනවා. කතානායකගෙ ආරක්‍ෂාව සහතික කරන්නෙ කවුද? එලිසබෙත් වින්ඩ්සර්ටවත් බැරි නම් මිළඟට චාල්ස් නමින් රජ වෙන්න ඉන්න පුත් කුමරාටවත් කියමු ද? 


පාර්ලිමේන්තු වරප්‍රසාද කියන්නෙ එංගලන්තෙ පාර්ලිමේන්තුව රජුට විරුද්ධ ව අවුරුදු සිය ගණනක් තිස්සෙ කටයුතු කරල දිනා ගත්ත දේ. රජුට පමණක් තිබුණු වරප්‍රසාද පාර්ලිමේන්තුව දිනා ගත්තා. අත්අඩංගුවට ගැනීමට බැරි බව, නඩුවල සාක්‍ෂි දීමට කැඳවීමට නොහැකි බව, පාර්ලිමේන්තුවේ කියන දේ ගැන සභිකයන්ට විරුද්ධ ව කටයුතු කිරීමට නොහැකි බව ඒ අතර වෙනවා. පාර්ලිමේන්තුවේ කියන දේ ගැන රජුට කිසිවක් කිරීමට නොහැකි වීමටයි ඒ වරප්‍රසාදය ඇත්තෙ. ඒ මිසක් කුණුහරුප කියන්නවත්, සම්මත අරුතෙන් බොරු කියන්නවත්, අනුන්ට අපහාස කරන්නවත කතානායකට තර්ජනය කරන්නවත් නො වෙයි. අද විපක්‍ෂය කතානායකට ගරු නොකරන තත්වයකට පත් වෙලා. රනිල්ට පුළුවන් ද ඒක ගැන යමක් කරන්න. රනිල්දාසට නම් බැරි බව පැහැදිලියි. 


ඒත් කිරිඇල්ල කියන දේත් සජිත් කියන දේත් අහන්න මා කැමතියි. හීන් බබා සීයා කියන දේ ළඟට මා අහන්න කැමති වෙන්ඩ  උපාධිධාරී සජිත් හා නීතිඥ කිරිඇල්ල කියන දේ. ඔවුන් දෙදෙනා නැති පාර්ලිමේන්තුව හීන් බබා සීයා නැති සිඳු නාට්‍යය වගේ. මනමාලයා හා මනමාලිය නැති මගුල් ගෙදර වගේ. මගෙන් අහන්න එපා මනමාලයා කවුද මනමාලිය කවුද කියා.