Main Logo

Monday 27 December 2021

රජ්ජු බණ්ඩාර හා වික්‍රමබාහු බණ්ඩාර

 

රජ්ජු බණ්ඩාර හා වික්‍රමබාහු බණ්ඩාර

 

කොළඹ උපාධි කෝළම ගැන තව තවත් කරුණු හෙළිදරවු වෙනවා. ඒ ගැන පරීක්‍ෂණයක් කළ යුතු යැයි  මා යෝජනා කරනවා. පරීක්‍ෂණයක් පැවැත්තෙන්නේ නම් මා සාක්‍ෂි දීමට කැමතියි. ජී එල් පීරිස් මට කොළඹ විශ්වවිද්‍යලයීය පරිශ්‍රයට ඇතුල්වීම තහනම් කරමින් පැන වූ නියෝගය තවමත් තියෙනවා ද දන්නෙ නැහැ. තහනම් නියෝගය නිසා ඒ දිනවල අප ආචාර්ය සමිති සම්මේලනයේ රැස්වීම් කුමාරතුංග මුණිදාස මාවතේ මාර ගහක් යට පැවැත්තුවා. පසුව අර්ජුන අළුවිහාරෙ මැදිහත් වී අපට  ප්‍රතිපාදන කොමිසමේ රැසවීම් පැවැත්වීමට  අවසර දුන්නා. තහනම් නියෝගය තිබුණත් නැතත් මා සාක්‍ෂි දෙන්න එන්නම්.

 

මා ඇසූ ප්‍රශ්න කිහිපයකට තවම කිසිවකු පිළිතුරු දී නැහැ. මෙරට විශේෂයෙන් ම කොළඹ විශ්වවිිද්‍යාලය ආශ්‍රීත ව මෙතරම් උගතුන් ඉන්නා විට ඒ ප්‍රශ්නවලට පිළිතුරු දීම ඉතා පහසු වෙන්න ඕන. කොළඹ විශ්වවිිද්‍යාලයේ උපාධි ප්‍රදානොත්සවය පිළිබඳ අතුරු නියම සකසා තියෙනවා ද? එසේ නම් ඒ ප්‍රසිද්ධ කරනවා ද? අතුරු නීිති සම්මත කර ගත්තේ පාලක මණ්ඩලයේ කවදා පැවැත්වූ රැස්වීමේ දී ද?

 

කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස නීති විශාරදයන් යැයි කියන අය කටයුතු කර තියෙනවා. ජී එල් පීරිස් හා සවිත්‍රි ගුණසේකර ඒ අයගෙ නම්. ජී එල් පීරිස් නීතියට වැඩ කරන අයකු නොව. ඔහුගේ පියා විදේශ අමාත්‍යංශයේ උසස් නිලධාරියකු ව සිටියා. කලක් මියන්මාහි ලංකා තානාපති වෙලත් ඉඳලා තියෙනව. නූගත් මගේ තානාපතිකම දේශපාලන පත්වීමක්. සවිත්‍රි ගුණසේකර  වමට බර සුප්‍රිසිද්ධ නීතිඥයකුගේ බිරිඳ. එමෙන් ම සුප්‍රසිද්ධ සමාජ විද්‍යා මහාචාර්යවරයකුගේ නෑනා.

 

ජී එල් පීරිස් හා සවිත්‍රි ගුණසේකර නිදහස් අධ්‍යාපන සේනාංකයට අයත් ද කියා මා දන්නේ නැහැ. ඔවුන් ඉගෙන ගත්තේ ලංකා සභාවෙ නැත්නම් ඇංග්ලිකන් සභාවෙ පෞද්ගලික පාසල්වල. විශ්වවිිිද්‍යාලෙදී නම් නිදහස් අධ්‍යාපනය ලැබුවා. ඔවුන් දෙදෙනාගෙන් කෙනකු අතුරු නියම සම්මත කර ගන්නෙ නැතුව ඉන්න එකක් නැහැ. දැන් ඉන්න උප කුලපතිනිය නම් වෛද්‍ය පීඨ මහාචාර්යවරියක්. ඒ් තිදෙනා ම අද ලංකාවෙ ඉහළ ම නව කුලවලට ඔවුන් අයත්. එ නීති කුලය හා වෛද්‍ය කුලය, වෛද්‍ය කිවුවත් බටහිර වෛද්‍ය. ආයුර්වේද හරි පාරම්පරික හරි වෙදමහත්තුරු හිතන්න එපා ඔවුන් ඉහළ කුලයක කියා.

 

අපේ කුලපති හාමුදුරුවො මේ එක් කුලයකටවත් අයිති නැහැ. ඒ නිසා ඊනියා මාන්න සහිත උගතුන් උන්වහන්සේට කැමති නැහැ. උපාධි කෝළමේ දී උන්වහන්සේගෙ හිත රිදිලා. උන්වහන්සේ ගැටබරු දේවාලයෙ රජ්ජු බණ්ඩාර දෙවියන්ට කන්නලවුවක් කරලා. නීතියේ දෙවඟනට කියනවාට වඩා රජ්ජු බණ්ඩාර දෙවියන්ට කියන එක හොඳයි කියල හිතන්න ඇති. රජ්ජු බණ්ඩාර දෙවියන් නීති කුලයෙවත් වෙද කුලයෙවත් නො වෙයි. කුලපති හාමුදුරුවන්ගෙ හිත රිදීම ගැනත්  පරීක්‍ෂණය කෙරෙන්න ඕන. 

 

ඊයෙ (දෙසැම්බර් 26)  ඉරිදා පත්තරවලට උප කුලපතිනියත් වික්‍රමබාහුත් සාකච්ඡා ලබා දීල. වික්‍රමබාහු බණ්ඩාර දැන් ඉන්නෙ රනිල් එක්ක. උප කුලපතිනිය කියනවා උපාධි ලාභීන් ඇවිත් ඇය සමග පින්තුර ගත්තා කියලා. මා නම් දන්නෙ නැහැ උපාධි ප්‍රදානෙත්සවයක දි උපාධි ලාභීන් වේදිකාචෙ උප කුලපති එක්ක පින්තුර ගන්නවා ද කියලා. කොහොමත් ඕවා උපාධි කෝළම්. කොළඹ තිබුණෙ ද්විිත්ව කෝළමක්. ඒ නිසා උප කුලපතිනිය තම දයාබර සිසුන් සමග පින්තුර ගන්න ඇති.

 

මා අහපු තවත් ප්‍රශ්නයක් තමයි එක ම අයකුට එක ම උපාධිය අනභිමුඛයෙ හා අභිමුඛයෙ ගන්න පුළුවන් ද කියන එක. ආණ්ඩු මාරුත් සමග පාට මාරුකරන ජඩමාධ්‍යවේදීන් එවැනි ප්‍රශ්න උප කුලපතිවරුන්ගෙන් හරි  උප කුලපතිනියන්ගෙන් හරි අහන්නෙ නැහැ. අර පරීක්‍ෂණය කරන්න ඕන ඒ කරුණත් දැන ගන්න. අතුරු නියමවලට අනුව පින්තුර ගන්න පුළුවන් ද කියා දැන ගන්න. තවත් දැන ගන්න ඕන කළු පටි බැඳගත් උපාධිලාභීන්ට ශාලාව ඇතුළට එන්න ඉඩ දුන්නෙ කාගෙ අණින් ද කියල.              

 

වික්‍රමබාහුගෙ ප්‍රකාශයට දහසින් බැඳි පියල්ලක් දෙන්න ඕන. ඔහු මේ කතා ඔක්කොම එක වාක්‍යකින් කියනවා. ඔහු කියනවා ධනවාදයට වඩා ජාතිකවාදය භයානකයි  ඒ නිසා ජාතිකවාදයට විරුද්ධව රනිල් එක්ක එකතු වුණා කියලා. ඒ ගැන පස්සෙ වෙලාවක වෙන ම ලිපියක් ලියන්න ඕනෙ. වමාල ද කුණල මංගලල රනිල්ල වික්‍රමබාහුල චම්පකල  උප කුලපතිල නීති විශාරදයන් උගත් මහාචාර්යවරු ජාතිකවාදයට විරුද්ධ ව එකතු වෙනවා. ඒ සියල්ලන් ම කුලපති හාමුදුරුවො අප වගේ නූගතුන් නො වෙයි. ජාත්‍යන්තර කීර්තියට පත් උගතුන්. අපි ජාතික නූගතුන්. ජාතිකවාදය අද තහවුරු වෙලා. ඒ නිසා උගතුන් සියල්ලන්ට එයට විරුද්ධ ව එකතු වෙන්න වෙලා. ගෑස් ප්‍රශ්නය පොහොර ප්‍රශ්නය උගතුන් ඇති කරපු ප්‍රශ්න. උගතුන් කොළඹ බිජවලට කාබනික පොහොර දීල ගොවීන් ද රසායනික පොහොර හා පොහොර පමණක් ඉල්ලන උගතුන් කරලා.

 

කොළඹ උප කුලපතිනියගෙ ධුර කාලෙ ළඟදි ඉවර වෙනවා කියල ආරංචියි. මා අස් කරපු විශ්වවිද්‍යාලෙ ගැන නිතර හොයල බලනවා. එ වගේ ම මට ආරංචියි ඇය ළඟදි විශ්‍රාම යන්න නියමිතයි කියල. ඇය දෙවැනි ධුර කාලයක් සඳහා ඉල්ලලා. ඉල්ලුම් පත්‍රයෙ වයස සඳහන් කරල නැහැ කියනවා. මට ලැබෙන තොරතුරු ගැන මා සහතික වෙන්නෙ නැහැ. මා වැරදි නම් කියන්න. යම් අයුරකින් දෙවැනි ධුර කාලයක් ලැබුණත් ඇයට ධුර කාලය අවසන් වෙන්න ඉස්සර විශ්‍රාම ගන්න වෙනවා. මීට කලින් ඒ සඳහා පූූර්වාදර්ශයක් තිබුණත් එසේ කිරීම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. රජ්ජු බණ්ඩාර දෙවියන් මොනව කියාවි ද? උගතුන් අතර දෙවියන් නොහිටියත් නූගතුන් අතර ඉන්නවා. නාථ දෙවියන්ට ඔය වගේ ප්‍රශ්න කියන්න බැහැ. කොහොමටත් අර පරීක්‍ෂණය ඉක්මනට පවත්වනවා නම් හොඳයි.