Main Logo

Sunday 5 December 2021

සාගල නුවර ඝාතනය වුණු දියවඩන

 සාගල නුවර ඝාතනය කෙරුණු දියවඩන 


පකිස්ථානයේ සියල්කොට් හි ලාංකිකයකු ඝාතනය කෙරිලා. පළමුවෙන් ම ප්‍රියන්ත දියවඩනගේ පවුලේ සාමාජිකයන්ට මගේ සංවේගය පළ කරනවා. ඉංජිනේරුවකු වූ ප්‍රියන්ත පකිස්ථානයට යන්න ඇත්තේ තම දරු පවුල වෙනුවෙන්. එහෙත් අද ඔවුන්ට ඔහු අහිමි වෙලා. අප මොන කතා කීවත් අවසානයේ දී ඝාතනයේ සොව පමණක් නොව බර ද දරා ගන්න වෙන්නෙ දරු පවුලට.  අප නිකම් කතා කියනවා පමණයි.


මේ ඝාතනය ගැන මගෙන් අදහස් විමසීමට එක්තරා යූටියුබ් මාධ්‍යයකට අවශ්‍ය වුණා. ඒ මාධ්‍යයට ඝාතනය හරහා තම ප්‍රේක්‍ෂකයන් වැඩි කරගෙන කීයක් හරි උපයා ගන්න පුළුවන්. මා දැන් කිසිම ජනමාධ්‍යයක් සමාජයීය මාධ්‍යයක් සමග ගණුදෙනූ කරන්නේ නැහැ. ඔවුන්ට අප අවශ්‍ය වන්නේ අප යොදා ගැනීමට පමණයි. ලෝකයේ ගායකයකු රංගන ශිල්පියකු පමණක් නොව අසරුවකු මිය ගියත් එය වාර්තා කරන මෙරට ජඩමාධ්‍ය ඩග්ලස්ගේ අභාවය වාර්තා කෙළේ නැහැ. මෙරට ජඩමාධ්‍ය අසරුවන්ගේ මිය යෑම් සිට බයිඩන්ගේ හෙම්බිරිස්සාව දක්වා ප්‍රවෘත්ති ලබා ගන්නේ බටහිරින්. බටහිර මාධ්‍යයෙහි ඩග්ලස්ගේ මරණය වාර්තා නොවන්න ඇති. මින් මතු මේ ලිපි ජනමාධ්‍යයේ ඉන්නා මා ලියන දේ නොකියවන අයට යවන්නේ නැහැ.  ජාතියක් හැටියට සිංහලයන් කෘතවේදී නැහැ. එය සිංහලයන්ට විශේෂිත වූ කරුණක් නොවන්න පුළුවන්. බුදුහාමුදුරුවන් ද දේශනා කර ඇත්තේ කෘතවේදී පුද්ගලයන් දුර්ලභ කියා. 


ඒ කෙසේ වෙතත් සියල්කොට් කියන්නේ වත්මන් පන්ජාබ් ප්‍රාන්තයෙහි පිහිටි පැරණි සාගල නුවර බවට මතයක් තියෙනවා. ඇලෙක්සැන්ඩර් රජු මේ ප්‍රදේශය යටත් කර ගැනීමෙන් කලකට පසුව එහි රජ වූයේ අප බොහෝ දෙනා දන්නා ග්‍රීක මිළිඳු රජු. මිලින්ද ප්‍රශ්නය ඒ රජු හා සම්බන්ධයි. අප හිතනවාට වැඩි සම්බන්ධයක් අපට ග්‍රීකයන්, යවනයන්, සමග තියෙනවා. පරණවිතාන මහතාගේ ග්‍රීකයෝ හා මෞර්යයෝ කියවන්න. පණ්ඩුකාභය රජු අනුරාධපුරයේ කොටසක් යවනයන් සඳහා වෙන් කළා. එහෙත් අපේ න්‍යාය ඇරිස්ටෝටලීය න්‍යාය වූයේ නැහැ. ඒ එකල අපේ අදීනත්වය. 


ප්‍රියන්ත ඝාතනය කෙරී ඇත්තේ මුස්ලිම් අන්තවාදීන් විසින්. අන්තවාදීන් ඔහුගේ කර්මාන්ත ශාලාවේ මුස්ලිම් අන්තවාදී පෝස්ටරයක් අලවලා. ප්‍රියන්ත එහි ප්‍රධාන විධායක නිලධාරියෙක්. ඔහුට ඒ පෝස්ටරය ඉවත් කරන්න වෙනවා. අන්තවාදීන් එහි දී පැමිණ ප්‍රියන්ත එළියට ඇද ගෙන ගොස් වද දී ඝාතනය කර තියෙනවා. ප්‍රියන්ත තම රාජකාරිය කරලා. අන්තවාදීන් තම ඊනියා දේවකාරිය කරලා. ප්‍රියන්ත තම කර්මාන්ත ශාලාව වෙනුවෙන් පෝස්ටරය ගලවා තියෙන්නෙ. මා හිතන්නෙ අදාළ සමාගම ප්‍රින්තගේ භාර්යාවට වන්දි මුදලක් ගෙවිය යුතු බව. වන්දියෙන් ඒ දරුපවුලේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. එහෙත් එය තමයි සමාගමට කළ හැකි අවම ය. 


මේ ඝාතනය දෘෂ්ඨිවාදයක ප්‍රතිඵලයක්. අප සියල්ලන් ම ජීවත්වන්නේ දෘෂ්ඨිවාදවල පැටලිලා. දෘෂ්ඨිවාදයකට මිනිසුන් දක්කන් යන්න පුළුවන්. මේ තරම් බරපතල නොවුවත් අවුරුදු දහයකට දොළහකට උඩ මා කැලණියේ විද්‍යා පීඨාධිපති ව සිටිය දී ජ වි පෙ දෘෂ්ඨිවාදයෙන් දක්කනු ලැබූ සිසුන් පිරිසක් විද්‍යා පීඨය තුළ ඔවුන්ගේ පෝස්ටර අලවා තිබුණා. පීඨවලින් පිට බිත්තිවල තාප්පවල පෝස්ටර ඇලවීම එකක්. පීඨ ඇතුළෙ ඇලවීම තව එකක්. මා විද්‍යා පීඨ කාර්යාලය අසල අලවා තිබූ පෝස්ටරාය ඉරා විසි කර පීඨයේ අලවා තිබූ අනෙක් පෝස්ටර ගලවා දැම්මවීමට කටයුතු කළා. 


ජ වි පෙරමුණට එකල මා ඝාතනය කිරීමට තරම් ශක්තියක් තිබුණෙ නැහැ. එහෙත් ජ වි පෙ සිසුවකු සෙනසුරදාවක පැමිණ පීඨ කාර්යාලය අසල මට විරුද්ධ ව පෝස්ටරයක් අලවන බව මට දැන ගන්නට ලැබුණා. මා වහාම කාර්යාලයෙන් (සමහර සෙනසුරාදාවල මා කාර්යාලයට ගියා) පිටතට පැමිණ පෝස්ටරය අලවමින් සිටි තරුණයා පිටුපසින් ගොස් පෝස්ටරය ඇලවීම සඳහා ඔසවා තිබූ ඔහුගේ අත් යටින් ඔහු බදා ගත්තා. ඉන් පසු ඔහු කාර්යාලයට ගෙන ගියා. එකලත් අවුරුදු හැට පැන සිටි මට විසිපස් වියේ පමණ  තරුණයකු මෙල්ල කර ගෙන කාර්යාලට ගෙන යෑමට හැකි වූයේ කෙසේ ද යන්න මට අදත් තේරෙන්නේ නැහැ. කාර්යාලයේ දී ඔහුට ඉතා තදින් බැණ වැදී ඔහු මුදා හැරියා. මා ඔහු ගැන වාර්තා කිරීමක් කළේ නැහැ. අඩු තරමෙන් නම අසා ගත්තේ නැහැ.  ඔහුට දඬුවම් කර වැඩක් නැහැ. දඬුවම් කළ යුත්තේ පට්ටපල් බොරු දෘෂ්ඨිවාදයක් ගෙතූ මාක්ස්ට හා ඊනියා නිර්ධන පංති කතාවක් ගොතා රැකියා විරහිත තරුණයන් දංගෙඩියට දක්කා ගෙන ගිය විජේවීරට. 


දෘෂ්ඨිවාද ඉතා බරපතළයි. බුදුදහමත් එක් අතකින් දෘෂ්ඨිවාදයක්. එහෙත් එය සම්‍යක් දෘෂ්ඨියක්. එය දෘෂ්ඨිවාද නැති කිරීම සඳහා වූ දෘෂ්ඨියක්. ඇරිස්ටෝටල්ගෙ ගෝල බාලයන්ට ඒ කියමන තේරෙන්නෙ නැහැ.  සම්‍යක් දෘෂ්ඨියක් කියන්නෙ අප නිවන සම්මාබෝධයට ළඟා කරන දෘෂ්ඨියකට. නිවනෙන් ඈත් කරන දෘෂ්ඨි මිථ්‍යා දෘෂ්ඨි. බ්‍රහ්මජාල සූත්‍රයේ ඒ ගැන සඳහන් වෙනවා. බටහිර විද්‍යාවත් දෘෂ්ඨියක් පමණක් නොව මිථ්‍යාදෘෂ්ඨියක් ද වෙනවා. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයත් දෘෂ්ඨීිවාදයක් විසින් මෙහෙයවෙන්නක්. අපට බුදුදහම හැරෙන්න අනෙක් දෘෂ්ඨිවාද ලැබුණෙ තුවක්කු කටෙන් හරි පෑන් තුඩෙන් හරි. එළාර මාඝ පෘතුගිසින් ලන්දේසීන් ඉංගිරිසින් ඉන්දියානුවන් අපට විවිධ දෘෂ්ඨිවාද ගෙනාවා. බොහෝ ආගම් ගෙනෙන සාමයේ පණිවුඩයක් නැහැ. දතට දතක් ඇසට ඇසක් නියමය ඔවුන් පිළිපදිනවා. කුරු පාණ්ඩව යුද්ධයේ දී ක්‍රිෂ්ණ අර්ජුනට කිවුවේ නෑයන් වුවත් මරන්න. රනිල් අර්ජුන් මහේන්ද්‍රන්ට කී දෙයක් පොතක පතක නැහැ. 


එහෙත් බුදුදහමෙහි කියන්නේ අනෙකක්. උපාලි ගෘහපතියාට බුදුන් වහන්සේ අනුශාසනා කෙළේ තමන් වහන්සේගේ අනුගාමිකයකු වූ පසුත් නිඝන්ටයනට දෙන දානය නොනවත්වන ලෙස. එහෙත් එයින් කියන්නේ නැහැ බෞද්ධයන් තම සංස්කෘතියට පහර දෙන්නන් ඉදිරියේ නව ගුණ වැල අතට ගන්නවා කියා. ගැමුණු රජු සිංහල බෞද්ධයන්ගේ පමණක් නොව බුරුම බෞද්ධයන්ගේත් වීරයා වන්නේ එතුමා නව ගුණ වැල අතට නොගත් නිසා.  අපට ස්ටැන්ලි තම්බයියා වැන්නන් කිවුවේ නව ගුණ වැල අතට ගන්න කියා. ඔහු බුදදුහම පාවා දීමක් ගැන කතා කෙළේ අප දෙමළ ජාතිවාදයට පාවා දීමට. අප යුද්ධයට කොන්දේසි විරහිත ව විරුද්ධ වන්නේ නැහැ. එහෙත් අප අපේ දෘෂ්ඨිය අනෙක් අයට පැටවීමට යුද්ධ කරන්නෙත් නැහැ.


අද මුස්ලිම් අන්තවාදය ක්‍රියාත්මක වන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට විරුද්ධ ව. නූතනත්වය විසිනුත් එය මෙයෙවෙනවා. පෘතුගීසීන් අපට කතෝලික ආගම ගෙනා ආකාරයට වෙනස් විධියකට ඉංගිරිසින් තම නූතනත්ව දෘෂ්ඨිය අප මත පටවනවා. අපේ කියන පාසල් හා විශ්වවිද්‍යාලවල ඇත්තේ අප මත බලෙන් පැටවූ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව දෘෂ්ඨිවාදය. හිතන්න එපා බටහිර රටක අපට ඕනෑ විධියට පන්සල් ඉදිකරන්න පුළුවන් කියා.  ඉංගිරිසින් තම දෂ්ඨිය දේශපාලන ආධිපත්‍යය මගින් ලොව පුරා පතුරවා තියෙන්නෙ. සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ ව බටහිර ක්‍රිස්තියානි නූතනත්වය වෙනුවෙන්  අසාර්ථක ව වැඩ කරන පඬි නැට්ටන් බටහිර දැනුමේ ප්‍රතිඵල. බටහිර විද්‍යාවේ ආගමක් නැහැ කිවුවට එහි නැත්තේ දෙවියන් වහන්සේ පමණයි. ආරම්භය, රේඛීය චින්තනය, ඇරිස්ටෝටලීය න්‍යාය එහි හොඳට ම පලපැදියම් වෙලා. බටහිර දැනුම බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ප්‍රතිඵලයක්.


බුදුදහමෙහිත් බටහිර විද්‍යාවේ මෙන් දෘෂ්ඨිවාදයක් ඇති බව පෙන්වීමට බමුණන්ගේ චතුර්වේදය (විද්‍යාව) අනුව හරි බටහිරයන්ගේ විද්‍යාව අනුව හරි තම ජීවිත සකස්කර ගත් උගතුන් උත්සාහ කරනවා. මා බුදුදහමෙහි එවැනි දෘෂ්ඨිවාදයක් නැතැයි කියන නිසා ලන්ඩනයේ වෙසෙන සිංහල බෞද්ධ ඉංජිනේරුවකු තම ලංකාවෙබ් අඩවියේ මගේ ලිපි පළ කිරීම නතර කළා. බුදුදහම අපට උගන්වන්නේ සියලු දෑෂ්ඨිවාදවලින් මිදෙන්න. නිවන සම්මාබෝධ වන්නේ සියළු දෘෂ්ඨිවාදවලින් මිදුණු විට. ඒ සඳහාත් යම් දෘෂ්ඨියක් අවශ්‍යයි. ඒ තමයි සම්‍යක් දෘෂ්ඨිය. අප එය නිවන් සම්මාබෝධයත් සමග ඉවත දමන්නේ අර ගඟ තරණය කිරීමත් සමග පාරුව ඉවත දාන්නාක් මෙන්. සම්‍යක් දෘෂ්ඨිය මත පදනම් ව අප අපේ විද්‍යාවක් ජීවන ක්‍රමයක් ගොඩ නගා ගන්නවා. 


ප්‍රියන්ත මුස්ලිම් අන්තවාදයකට ගොදුරු වුණා. ඔහුට තම ජීවිතය අහිමි වුණා. ඔහුගේ බිරියට සැමියාත් දරුවනට පියාත් අහිමි වුණා. අප බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට ගොදුරු වී සියල්ල අහිමි කර ගෙන. බටහිර නූතනත්වයට නොතේරෙන වත්මන් වසංගතයෙන් බේරීමට අපට තිබූ හැකියාව නැති කර කුමුදේශ්ලා පද්මාලා උපුල්ලා අප අපුල්ලන්න හදනවා. ප්‍රියන්ත සාගල නුවර දී ඝාතනය වුණා. අප හැම දා දිය ගොඩ හැම තැන ඝාතනය වෙනවා. අපට කිරි ඉතිරෙන්නේ නැහැ.


මේ ලිපියෙන් ප්‍රියන්තගේ දරුපවුලට වැඩක් නැති බව මා දන්නවා.