Main Logo

Wednesday 29 December 2021

චීනය හා මියන්මා සමග මිත්‍ර අපි යක්කු බොලවු

 

චීනය හා මියන්මා සමග මිත්‍ර අපි යක්කු බොලවු

 

පඬියන්ගේ පඬි පෝතකයන්ගේ පඬි නැට්ටන්ගේ ආචාර්ය මහාචාර්යවරුන්ගේ පමණක් නොව ගුණදාස අමරසේකර ඇතුළු ඇතැම් ජාතිකවාදීන්ගේ ද ලිපි කියවන විට මා උගතකු බුද්ධිමතකු වියතකු නොවීමේ සතුට මට දැනෙනවා. ඔවුන් මගේ ලිපියක් ගැන හොඳක් කියා නැහැ. අමරසේකර නම් මා ජීවත්වන බවත් අමතක කරලා හුඟක් කල්. ආචාර්ය මහාචාර්යවරුනුත් එලෙස ම අමතක කරලා. ජනමාධ්‍ය මගේ ලිපි පළ කරන්නේ නැහැ. එහෙත් මා ජීවත් වෙනවා. සකර්බර්ග් පිටුවේ මා ලිපි ලියන්නේ අතිරේකයක් ලෙස පමණයි. මට ලිපි ලියන්න වෙන ම වෙබ් අඩවියක් තියෙනවා. එය චින්තන පර්ෂදයට අයත් එකක්.

 

මා නිර්මාණශීලී කියා කියන්නේ නැහැ. මා යමක් නිර්මාණය කරන්න, නැත්නම් සංස්කරණය කරන්න උත්සාහ ගන්නවා. එහෙත් ඉහත කී අය කරන්නේ බටහිර තියෙන දෙයක් තමන්ට තේරෙන විධියට සිංහලෙන් ලිවීම කීම පමණයි. ඒ අතර ජාතිකවාදීන් ඉන්නවා මහාවංසය හා අටුවා ව හිසේ තබා ගෙන යන අය. ඔවුනුත් මට කැමති නැහැ. ඔවුන්ගෙන් පඬි නැට්ටන්ගෙන් හා ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් මෙන් හානියක් වන්නේ නැහැ. එහෙත් ඔවුන් නිර්මාණශීලී හෝ විචාරශීලී හෝ නොවීම නිසා ජාතිය එක තැන පල්වෙනවාටත් වඩා ආපස්සට යනවා.

 

මනසක් කියා ප්‍රපංචයක් ඇති බවවත් එය ඇත්තේ අටුවාවේ සඳහන් වන පරිිදි හදවතේ කියාවත් මා පිළිගන්නේ නැහැ. මනසත් අනෙක් සංකල්ප මෙන් ම අපේ සංස්කරණයක්. මනස ප්‍රධානය කියන එකෙන් කියැවෙන්නේ නැහැ මනස තියෙන බවක්. නැති දේ අතර මනස ප්‍රධානයි.

 

එමෙන් ම යක්‍ෂ නමින් හිටියේ අමනුෂ්‍යයන් යැයි මා පිළිගන්නේ නැහැ. මහාවංසය එසේ කීමෙන් මෙරට සිටි නිර්මාණශීලී මිනිසුන් නැති කර තියෙනවා. අභයගිරියේ පරාජයත් සමග මෙරට නිර්මාණත් අභාවයට ගිහින්. මෑතක් වන තුරු ම යක්‍ෂ සංස්කෘතියේ  ඇතැමුන් මහාවිහාරයට විරුද්ධ වීම මට තේරුම් ගන්න පුළුවන්. එහෙත් මා කියන්නේ නැහැ අප මහාවංසයත් අටුවාවත් විසි කළ යුතු ය කියා. එහි ඇති අඩුපාඩු හදා ගැනීමට අප වෙහෙසෙන්න ඕන.

 

අප නැවතත් යක්‍ෂ සම්ප්‍රදාය ඉස්මතු කර ගන්න උත්සාහ කරන්න ඕන. අද මෙරට උගතුන්ගේ කෙරුවා ව හොඳින් ම පේනවා. ඔවුන් දන්නේ එක ම එක දෙයයි. ඔවුන්ට අනුව ජාමූලෙට (IMF) ගියෙ නැත්තන් අපි ඉවරයි. ඒත් මධ්‍යම පාංතික අවශ්‍යතා සපුරාලන්න අවුරුදු හතළිහකට වැඩි කාලයක් ජාමූලෙට ගිය නිසා මේ තත්වය උදා වී ඇති බව ඔවුන් තේරුම් ගන්නේ නැහැ. රනිල් අහනවා ජාමූලෙට යන්නෙ නැත්නම් විකල්පය මොකක් ද කියා. එය හොඳ ප්‍රශ්නයක්. ඉන් කියැවෙන්නේ අපේ අධ්‍යාපනයේ බංකොළොත් බවයි. බටහිරයන් කියන දේ කරන එක හැරෙන්න වමක් නැති වමාලටත් ද කුණන්ටත් වෙන කරන්න දෙයක් නැහැ. රනිල් හොඳයි කතානායක කමට. ඔහු වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය අකුරට ම දන්නවා කියනවා නොවැ.

 

අප චීනය සමග තරහ කෙරෙවුවේ කවුද? අර ඊනියා අශූචි නැවට මොකද වුණෙ. ඒ දවස්වල පඬි නැට්ටන්ගෙ කටේ තිබුණෙ චීන අශූචි කිවුවොත් නිවැරදියි. චීන පොහොර ගෙන ඒමට තීරණය කිරීම ණයවර ලිපි නිකුත් කිරීම ආදිය ප්‍රශ්න කෙරුණා. ඇතැම් පඬි නැට්ටන් උසාවි ගියා. අර ශාක නිරෝධායන ආයතනයෙ පරීක්‍ෂණය මත පදනම් වෙලා චීන පොහොරවල ක්‍ෂුද්‍ර ජීවීන් ඉන්න බව කිවුවා. චීනය කිවුවා තමන් රටවල් පනස් ගණනකට පොහොර යවන බවත් ඉන් කිසිම රටකින් පැමිණිල්ලක් ලැබී නැති බවත්. ඒ රටවල කොහෙන් ද විද්‍යාඥයො. මේ රටේ නොවැ විද්‍යාඥයො ඉන්නෙ. අපි හැම දෙයක් ම කරන්නෙ විද්‍යාත්මක ක්‍රමයට. උගත් ජනමාධ්‍යවේදීන්ට අනුව විද්‍යාත්මක ක්‍රමය කියන්නෙ පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිගමන .

 

අපි එහෙම තමයි පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිගමන කරනවා. ඉතින් අපි චීන පොහොර පරීක්‍ෂණයට ලක් කළා. ක්‍ෂුද්‍ර ජීවීන් නිරීක්‍ෂණය කළා. පොහොර අශූචි කියා නිගමනය කළා. චීනය කියා හිටියා පරීක්‍ෂණය වැරදි කියා. අපේ ස්වෛරීභාවය කැකෑරිලා නහයටත් උඩින් ගැලුවා. අපේ ආයතනයක නිගමනවලට අභියෝග කිරීමෙන් අපේ ස්වෛරීභාවයට කැළලක් වන බව පඬි නැට්ටන් ඒකමතික ව නිගමනය කළා. චීනයට කුද ගහගන්න කියා අප මුදල් ගෙවන්නේ නැති බව කිවුවා. චීනය යෝජනා කර හිටියා තුන්වැනි පාර්ශ්වයකින් පරීක්‍ෂණය කරමු කියා. ආණ්ඩුවට චතුස්කෝටිකය පිහිටට ආවා. අප ගෑවී නොගැවී චීන යෝජනාවට නිඳා නොනිඳා කැමති අකමැති ප්‍රතිපත්තියක් අනුගමනය කළා. අපට ඇරිස්ගෙ නොව චතුස්කෝටිකයෙ පිහිටයි.

 

චීනය සිංගප්පූරු ගියා. පරීක්‍ෂණයෙන් කියැවුණා පොහොරේ ක්‍ෂුද්‍ර ජීවීන් නැහැ කියා. බටහිර ගැත්තන් බටහිරට අවශ්‍ය ආකාරයට චීන පොහොර ප්‍රතික්‍ෂෙප කිරීමට කටයුතු නොකළා නම් ගොවීන්ට මහා කන්නයට අවශ්‍ය පොහොර දෙන්න තිබුණා. ඒත් අවශ්‍ය බීජ දෙන්න වැඩ පිළිවෙළක් තිබුණේ නැහැ. දැන් චීනය අප කොනිත්තනවා. උඩුකය නොවසා නල්ලූර් ගිහින්. කමක් නැහැ සපුමල් කුමාරයා බලන් ඉන්නවා. චීනය සජිත්ටත් මුදල් දීල. ඩොලර් ද  යුආන් ද දන්නෙ නැහැ.

 

පඬි පෝතකයන් කෑ ගහනවා යුආන් මාරු කර ගන්න බැහැ කියල. ඒත් යුආන්වලින් ගණුදෙනු කරන රටවල් ලෝකයේ තියනවා. අද ඩොලර් හා යුආන් අතර තරගයක් තියෙනවා. අප ඉන්නේ ඩොලර් පැත්තෙ. යුආනුත් මුදල් ද? මේ පඬි පෝතක කතාවලින් කෙරෙන්නෙ චීනය තවත් තරහ කර ගැනීමයි. පඬි පෝතකයන්ට අවශ්‍යත් එයමයි. එවිට අපට ජාමූලෙට යන්න පුළුවන්. පඬි පෝතකයකු කියල තිබුණා ජාමූලෙට ගියත් ණයක් ගන්න මාස හයක් ගතවේවි කියල. ඔහු ඒ බව කියන්නෙ ආණ්ඩුවට දැන් කෙළවිලා දැන් ගොඩ ඒමක් නැහැ කියන ප්‍රීිති ප්‍රමෝදයෙන්. මංගල මිය ගියත් පඬි පෝතකයන් මගින් ඔහු ජීවත් වෙනවා. දැන් ජාමුලෙට ගිහින් රණ විරුවන් පාවා දෙන්නත් පුළුවන්.

 

මට බොහෝ දෙනෙකු විරුද්ධ බව මා දන්නවා. මා චීන ගැත්තෙක් නො වෙයි. ඒත් අප බටහිරයන්ගෙ හා ඉන්්දියාවෙ අවශ්‍යතාවට චීනය තරහ කරගන්න ඕන නැහැ. බටහිරයන් දැන් තවත් දෙයකට අර අඳින බව මට දැනෙනවා. නැහැ නාථ දෙවියන්ගෙන් ලැබුණු පණිවුඩයක් නො වෙයි. ඒ අප මියන්මා සමග තරහ කරන්න. අප මිත්‍ර වන්න ඕනෙ බටහිරයන් අනුමත කරන අය සමග පමණ ද?

 

අපට ගොඩ එන්න නම් අප යක්‍ෂයන් වගේ ඉන්න ඕන. දේවානම්පිය තිස්සත් බය වුණෙ යක්‍ෂයන්ට. අප පඬි නැට්ටන් වගේ නොවී නිර්මාණශීලි වෙන්න ඕන. අපේ ජාතික ගීය කෙසේ වෙතත් උත්තේජක ගීතය අපි යක්කු බොලවු ගීතය වෙන්න ඕන කියල හිතනවා.