Main Logo

Monday 14 February 2022

ඩොලර්වලට 13+ දෙනවා ද?

 

ඩොලර්වලට 13+ දෙනවා ද?

 

අපේ විදේශ ප්‍රතිපත්තියේ තරමක වෙනසක් වෙලා. විදේශ ඇමති ජී එල් පීරිස් කියන විධියට ඉන්දු ලංකා සම්බන්ධතා දැන් ඉතා ඉහළ තත්වයකට පත්වෙලා. ඒ කියන්නේ ඉන්දු ලංකා සම්බන්ධතා ගැන ඉන්දියාව සතුටින් ඉන්න බවයි. ඉන්දියාව සතුටු වන්නෙ ඉන්දියාවට ඕන විධියට වැඩ සිද්ධ වෙන නිසා. ඉස්සරත් එහෙමයි. ඒ කාලෙ ඉන්දියාව කියා රටක් නොතිබූ බව ඉන්දියන් විරෝධී පඬියකු කියන්න පුළුවන්. ඒත් එහි යම් සම්ප්‍රදායක් තිබුණා. එය බමුණු සම්ප්‍රදායක්. බමුණු සම්ප්‍රදායට තදින් පහර වැදුණෙ බුදුදහමින්. එදා ඉඳලා බමුණන් බුදුදහමට තදින් විරුද්ධයි. බුදුදහම රැකගත් අපටත් විරුද්ධයි. ඉන්දියාවට මොන ආකාරයකට හරි බෞද්ධකමක් ගෑවිලාවත් තියෙන රටවල් එක්ක හොඳින් ඉන්න බැහැ. තිබ්බතය චීනය උදාහරණ. බෞද්ධ නොවන රටවල් යටත් කර ගන්න එක ඉන්දියාවට පහසුයි.

 

අප බොහෝ දෙනකුට ඉන්දීය සම්භවයක් තියෙනවා. ඉන්දියන් විරෝධී පඬියන් වුවත් වඩා කැමතියි අපි ඉන්දියාවෙන් පැමිණි අය බව කීමට. ඔවුන් යක්‍ෂ ඉතිහාසය සම්පූර්ණයෙන් මකා දාන්නෙ ඉන්දීය සම්භවයක් ඇති මහානාම හිමියන් අනුව යමින් යක්‍ෂයන් අමනුෂ්‍යයන් ලෙස හඳුන්වමින්. විජයගේ සිට ශ්‍රී වික්‍රම රාජසිංහ දක්වා රජවරුන් ගණනාවකට ම ඉන්දීය සම්භවයක් තියෙනවා. අප බොහෝ දෙනකුට කාලිංග සම්භවයක් තියෙනවා. කාලිංගය කියන්නෙ අද ඔඩිස්සා ප්‍රාන්තය, දකුණු බෙංගාලයෙන් කොටසක් හා උතුරු ආන්ද්‍ර ප්‍රදේශයෙන් කොටසක් කියා හිතන්න පුළුවන්. එහි වංග කතාවකුත් තියෙනවා. සුප්පා දේවියගේ මස්සිනා කලිඟු රජු. පියා වගු රජු. ලාට රටේ සිංහයකු සමග පැනලා ගිය සුප්පා දේවි පසුව ඔහුගෙන් පැන ඇවිත් (පුතා නිසා) මස්සිනා සමග විවාහ වෙනවා.

 

මහා විද්‍යාඥයකු වූ ද බටහිර වෙදමහතකු වූ ද අජිත් අමරසිංහ මේ තතු තරමක් හොයලා තියෙනවා. ඔහුගේ විද්‍යාවට අද අලි හෙම්බිරිස්සාව තේරුම් ගැනීමට බැහැ. එන්නත් ගත් සමහර අයත් මිය යනවා. ධම්මික පැණිය ගත් අයකු නම් මිය ගිය බවක් වාර්තා වන්නේ නැහැ. අජිත් අමරසිංහ තවත් බටහිර වෙදමහතුන් දෙදෙනකු සමග එකතු වී මට විරුද්ධව  බටහිර විද්‍යාවට පක්‍ෂව ලියූ ලිපි පෙළකට නෙම්සිරි ජයතිලක පිළිතුරක් ලිවුවා. අජිත් ඉන්පසු විද්‍යාව ගැන ලියන්නේ නැහැ. ඔහු විද්‍යාව ගැන ලියන ආධානග්‍රාහී කතා නිසා අප ඔහු ඉතිහාසය ගැන ලියන දේ ප්‍රතික්‍ෂෙප කරන්නේ නැහැ. මෙරට අනෙක් විිද්‍යාඥයන් මෙන් ම ඔහු ද බටහිර විද්‍යාවට කිසිවක් එකතු කර නැහැ. එහෙත් ඔහු ඉතිහාසයට නම් යමක් එකතු කර තියෙනවා. ඔහු ලාට රට කාලිංගයේ පිහිටි ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන තියෙනවා. එය වැදගත්.

 

විජය රටින් පන්නා දැමුවෙක්. ඔහු සමග බමුණන් ද ලංකාවට පැමිණ තියෙනවා. එහෙත් බමුණු සම්ප්‍රදාය අනුව මුහුද තරණය කළ අය බමුණන් වන්නේ නැහැ. ඒ කුමක් වුවත් විජයගේ සොහොයුරාගේ පුතා විජයගෙන් පසු ලංකාවේ රජ වෙලා. කාලිංගයන් හිතනවා ඔවුන්ට ලංකාවේ රජකමට උරුමයක් තියෙනවා කියා. පසු කාලයක නිස්සංක මල්ල රජු ඒ උරුමය කියාගෙන ඇවිත් රජ වෙලා. කාලිංග මාඝත් එසේ පැමිණියකු වෙන්න ඕන. ඔහු බුදුදහමට විරුද්ධ වෙලා. ඔහුට රජ වෙන්න බැරි වෙලා. නිස්සංක මල්ල බුදුදහමත් සමග සංහිඳියාවක් ඇති කර ගන්න ඇති.

 

වරින් වර ඉන්දියාවෙන් මෙරටට ජනයා පැමිණ තියෙනවා. රටන් පැන්නූ විජයත් පසුව ලන්දේසීන් මෙරටට ආනයනය කළ වෙල්ලාලයනුත් ඉංගිරිසින් ආනයනය කළ නැගෙනහිර පළාතේ හා කඳුකරයේ දෙමළ කතා කරන  ජනයාත් හැර අනෙක් අය පැමිණ ඇත්තේ ස්වකැමැත්තෙන් තමන් විසූ ප්‍රදේශයේ ඇති වූ ප්‍රශ්න නිසා වෙන්න පුළුවන්. ඔවුන් හා ඉන්දියාව අතර අද සම්බන්ධයක් නැහැ. මෙහි පැමිණි අය මුස්ලිමුන් හැරෙන්න සිංහල සංස්ක්‍යතියට අවශෝෂණය වුණා. මුස්ලිමුනුත් සිංහල සංස්කෘතියේ යම් යම් අංග තම සංස්කෘතියට අවශෝෂණය කරගෙන තියෙනවා. ඔවුන් අතර කිරිඅම්මලාගේ දාන දෙන අයත් ඉන්නවා. ඒ මුස්ලිම් අයත් මෙරට වැසියන් ලෙස ජීවත් වෙලා තියෙනවා.

 

ඉංගිරිසින් ආනයනය කළ නැගෙනහිර හා කඳුකර දෙමළ කතා කරන ජනයා හා ඉන්දියාව අතරත් සම්බන්ධයක් නැහැ. ඔවුන් ඉන්දියාවේ අන්ත දුගී ජීවිතයක් ගෙවන්න ඇති බවත් ඒ නිසා ඔවුන්ට ඉන්දියාව සමග සම්බන්ධකම් ඇති කර ගැනීමට අවශ්‍යතාවක් නොවූ බවත් හිතන්න පුළුවන්. අර වෙල්ලාලයන් පමණක් දකුණු ඉන්දියාව සමග සම්බන්ධකම් දිගින් දිගට ම පැවැත්තුවා. ඔවුන් ලන්දේසි කාලෙත් දුම්කොළ අස්වැන්න නෙළාගත් පසු ඉන්දියාවට ගියා. ලන්දේසීන් තේසවලාමේ නීතිය පැනවූයේ වෙල්ලාලයන් මෙරට නතර කර ගැනීමේ චේතනාවෙන්. පසු කලෙක ඉංගිරිසින් ද දෙවැනි වරටත් තේසවලාමේ පැනවූයේ වෙල්ලාලයන් ආපසු ඉන්දියාවට යෑම වැළැක්වීමට.

 

මේ වෙල්ලාලයන් ඉන්දීය ආණ්ඩුව සමග සෘජු සම්බන්ධකම් පවත්වනවා. ඔවුන් මෙරට ඉන්දීය මහා කොමසාරිස් හමුවෙනවා. මෝදිට ලියුම් යවනවා. අපේ ස්වෛරිභාවයට ප්‍රශ්න ඇති කරන කොටස් හතරක් ලංකාවේ ඉන්නවා. වෙල්ලාලයන් පළමු කොටස. දෙවනුව කාදිනල්තුමා ප්‍රමුඛ කතෝලික සභාව. කාදිනල්තුමා පාප්වහසේගේ නියෝජිතයා. එතුමා පාප්වහන්සේට ලියුම් යවනවා. තුන්වැනි කොටස මෙරට වහාබ්වාදීන්. ඔවුන් හා ඇතැම් අරාබි රටවල් සමග මූල්‍යමය වශයෙන් ද ගණුදෙනු සිදු වෙනවා.  එහෙත් ඒ සියල්ලන්ටම වඩා භයානක මෙරට බටහිරයන් අතින් පෝෂණය වෙන ඊනියා රාජ්‍ය නොවන සංවිධාන, සිවල් සාමාජිකයන්, උගතුන් (අර නෙදර්ලන්ත උපාධි කම්මලේ උපාධිධාරීන් ද ඇතුළු), ප්‍රතිපත්ති කේන්ද්‍රවල කේන්දර බලන්නන් ආදීන්. ඔවුන් අතර සිංහල බෞද්ධ පවුල්වල උපන් අයත් ඉන්නවා. ඔවුන් තමන් නිරාගමිකයන් ලෙස හඳුන්වා ගන්නවා. 

 

අද ඉන්දියාව සමග අපේ සම්බන්ධතා ඉතා ඉහළ මට්ටමක තියෙන බව කියන විට ම අපේ ස්වෛරිභාවයට පලුද්දක් සිදු වී ඇති බව පැහැදිලි වෙනවා. අපට ඉන්දියාවේ හරි භාරතයේ හරි මිතුරන් ලෙස වැඩ වාසය කර ඇත්තේ බුදුහාමුදුරුවන් හා මිහිඳු මහා රහතන් වහන්සේ පමණයි. අශෝකත් උත්සාහ කර ඇත්තේ ඊනියා ධර්මවිජයකින් අප යටත් කර ගන්න. දේවානම්පිය තිස්ස රජුට අර ඉන්දීය කන්‍යාවන් එවා දෙවැනි අභිෂේකයක් ලබා දුන්නේ අහවල් දේකට ද? දේවානම්පිය අභිධානය අශෝකගේ. ඒ කාලෙ රජපවුලෙ අවුලක් තිබුණු බව දේවානම්පිය තිස්ස බිසොව රජුගේ සොහොයුරු මහානාගට විස අඹ යැවීමේ සිද්ධියෙන් පැහැදිලි වෙනවා. මෙය මෙරට සම්ප්‍රදාය හා ඉන්දීය සම්ප්‍රදායන් අතර වූ ගැටුමක් වෙන්න පුළුවන්. රජකම සොහොයුරාට ද පුතාට ද යන ප්‍රශ්නය මෙහි තියෙන බවක් පේනවා.

 

ඉන්දියාව බොර දියේ මාළු බානවා. අපට පොරොන්දු වූ අලි හෙම්බිරිස්සා එන්නත නොඑවූ ඉන්දියාව අද මෙරට උගතුන්ගේ උපකාරයෙන් චීනය පළවා හැර තියෙනවා. අර ඊනියා අශූචි නැව මුළුමනින් ම බටහිර ගැති උගතුන්ගේ නිර්මාණයක්. ඉන්දියාව එන්නේ මොකාට ද? අපට ඩොලර් දී 13+ ක්‍රියාත්මක කරවීමට ද? ජී එල් විශ්වාස නැහැ. 13+ යනු මෙරට දෙකඩ කිරීමේ දෙවැනි පියවරයි. පළමු පියවර ඉන්දු ලංකා ගිවිසුම දහතුන හා පළාත් සභා. ඉන්දියාවට අවශ්‍ය බුදුදහම රැකීම වෙනුවෙන් අපට දඬුවම් කිරීමට. එහි දී ඔවුන් වෙල්ලාලයන් යොදා ගන්නේ එංගලන්තය විසුරුණු දෙමළ ජනයා යොදා ගන්නා ආකාරයට.

 

ඒ සියල්ල අතර සුබ පණිවුඩයක් තියෙනවා. මියන්මා රජය මෙවරත් ධීවරයන් නිදහස් කර තියෙනවා. මෙවරත් මියන්මා අධිකරණය ඔවුන්ට සිර දඬුවම් නියම කිරීමෙන් පසු රජය මැදිහත් වී මියන්මා ජාතික දිනය වෙනුවෙන් ධීවරයන්ට නිදහස ලබා දී තියෙනවා. එහි දී එරට ලංකා තානාපති කාර්යාලය විශාල වැඩ කොටසක් කර තිබෙන බව පැහැදිලියි. එහෙත් අප මියන්මා හමුදා ආණ්ඩුවට දිය යුතු ගෞරවය නොදීමට එය හේතුවක් නොවිය යුතුයි. අප විවිධ රටවල මොන විරුද්ධතා තිබුණත් ථෙරවාදී මියන්මා ආණ්ඩුව සමග සම්බන්ධකම් තර කර ගන්න ඕන.

 

මියන්මා ධීවරයන් අපේ මුහුදේ මසුන් මරන්න එන්නෙ නැහැ. අපි තමයි එහෙ යන්නෙ. මෙරට ධීවරයන් එහි යෑම නවත්තන්න ඕන. මෙරට මුහුදේ මසුන් මැරීමට එන්නේ ඉන්දීය ධීවරයන්. ඔවුන්ගෙන් හිරිහැර සිදුවන්නේ යාපනයේ ධීවරයන්ට. වෙල්ලාලයන් අපේ ධීවරයන්ට ඉන්දීය ධීවරයන්ගෙන් වෙන හිරිහැර ගැන තැකීමක් නැහැ. අපට මෙහි දී ද ඉන්දීය ආණ්ඩුවට හිස නමන්න සිදු වෙලා.