මගේ නොවන මගේ ම ථෙරවාදය
ඊයේ අප ලිපිය අවසන් කෙළේ බුදුන්වහන්සේ දේශනා කළ පරිදි ධර්මය නායකත්වයේ තබා ගෙන වැඩ කිරීමේ දී එය බිඳ වැටෙන්නට ඇති ඉඩකඩ ගැන සඳහන් කරමින්. පළමුවෙන් ම අපට ප්රශ්නය වන්නේ බුදුහාමුදුරුවන් දේශනා කෙළේ කුමක් ද යන්නයි. බුදුහාමුදුරුවන් ජීවමාන ව වැඩ විසූ කාලයේදීත් ඒ ප්රශ්නය තිබුණා. ඒ පිළිබඳ විවිධ සාකච්ඡා ඇති වී තියෙනවා. එහෙත් ඒ සාකච්ඡා එතරම් ප්‍රයෝජනවත් වුණේ නැහැ. අදත් ඒ සාකච්ඡාවලින් එතරම් වැඩක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවන් ජීවමාන ව වැඩ විසූ සමයේ නම් ගිහින් උන්වහන්සේගෙන් අහන්න පුළුවන්කම තිබුණා. ඒත් දැන් කාගෙන් අහන්න ද?
අද මෙරට බුදුදහම කියා සාමාන්‍යයෙන්
පිළිගැනෙන්නේ ථෙරවාද ත්‍රිපිටකය හා අටුවා. එහෙත් ඒ පිළිබඳ ව වුවත් විවිධ අර්ථකථන
තියෙනවා. බුදුහාමුදුරුවන් දේශනා කෙළේ කුමක් ද කියන එක පිළිබඳ ව මටත් මතයක්
තියෙනවා. මගේ අර්ථකථන තියෙනවා. ඒ බොහොමයක් සමග බොහෝ බෞද්ධ උගතුන් එකඟ වන්නේ නැහැ.
මා ඔවුන් අතරත් පිටස්තරයෙක්. මට හිතෙන්නේ අද ලංකාවේත් මියන්මාහිත් තියෙන්නේ
තුන්වැනි පස්වැනි සියවස්වල වර්ධනය වූ ආන්ද්‍ර ප්‍රදේශ් නැත්නම් තෙළිඟු බුදුදහම
කියා. ඒ පස්වැනි සියවසේ පමණ ලියැවුණු පරිවර්තිත පාළි බුදුදහම.
මා සම්පූර්ණ ත්‍රිපිටකය කියවා නැහැ. මා දන්නේ
සූත්‍ර කිහිපයක් පමණයි. මට ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න නිසා මට ප්‍රශ්න ඇති වී
තියෙනවා. මා සත්‍යය කියා එකක් තියෙන බව පිළිගන්නේ නැහැ. සත්‍යයක් ඇත්නම් එය
නිරපේක්ෂ වෙන්න ඕන. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය ගැන බොහෝ දෙනා කතා කරනවා.
පසුගිය දා එක් අයකු නොනිදා පහන් කරන්නකුගේ කාලය ගැන කියා තිබුණා. නොනිදා පහන්
කරන්නන්ගේ රාත්‍රිය දිග ද කියා ඔහු අසා තිබුණා. අයින්ස්ටයින් තම විශේෂ සාපේක්ෂතාවාදයෙන්
කතා කෙළේ එකිනෙකාට සාපේක්ෂව චලනය වන නිරීක්ෂකයන් සම්බන්ධවයි. අර නොනිිදා පහන්
කරන තැනෑත්තා කාට හරි සාපේක්ෂ ව චලනය වනවා ද?
ඒ නින්දෙන් ඇවිදීම වෙන්න බැහැ.
නින්දෙන් ඇවිදින්නේ නිදා ගත් අය මිස නොනිදා පහන් කරන අය නො වෙයි.
අයින්ස්ටයින් සාපේක්ෂතාවාදවල දී කතා කෙළේ
සාපේක්ෂතාවකට වඩා නිරපේක්ෂතාව ගැන. ඔහු අවිචලක (invariants) ගැන තමයි වඩා උනන්දු වුණේ. කිනම්
නිරීක්ෂකයා ගත්තත් ඒ අවිචලක වෙනස් වන්නේ නැහැ. අයින්ස්ටයින්ට ඒ අවිචලක ඊනියා
යථාර්ථය වෙන්න ඇති. කවුද කියා තිබුණා මා කර ඇත්තේ සාපේක්ෂතාවදයට නිර්මාණාත්මක
කියන වචන ටික එකතු කිරීම පමණයි කියා. කොහෙත් ම නැහැ. මා කතා කරන්නේ එකිනෙකට සාපේක්ෂව
චලනය වන නිරීක්ෂකයන් ගැන නො වෙයි. මා ඊනියා අවිචලක ගැන කියන්නේ නැහැ. නිවන
කිසිසේත් ම අවිචලකයක් නො වෙයි. නිවන කියා දෙයක් තැනක් නැහැ. නිවන් සැප කියා දෙයක්
නැහැ. නිවන දර්ශනය හරි භෞතික විද්‍යාව හරි වගේ අවබෝධකරන දෙයක් නො වෙයි. නිවන
මනසෙන් අවබෝධ කරන දෙයක් නො වෙයි. සියල්ල බොරු බව මනසින් තොරව සම්මාබෝධ කිරීම
නිවනයි. අර මගේ ලෝකයේ සඳහන් නැති මනස නැති මනසක් බව නැති මනසින් අවබෝධ කිරීම. එහි
අවබෝධ යන්න සම්මාබෝධ ලෙස සකස් වෙන්න ඕන.
මට සියල්ල බොරු බව බටහිර විද්‍යාව පට්ටපල් බොරු
බව මනසින් අවබෝධ කර ගන්න පුළුවන්. එහෙත් මනසින් තොර සම්මාබෝධය මට නැහැ. කොණ්ඩඤ්ඤ
හාමුදුරුවන් අඤ්ඤා වුණෙ ඒ සම්මාබෝධයෙන්. අඤ්ඤා යන්නට අර්හත් කියා යොදනවා. එහෙත් එය
විශේෂිත දැනුමක් අත්කර ගැනීමක් අවබෝධ කරගැනීමක් නම් නො වෙයි. අඤ්ඤා වෙනවිට ඤාණය
අත්හරිනවා. අත්හැරීම උච්ඡෙදවාදී කියන්නේ මොන පඬිනැට්ටා ද? එකල
දඹදිව කොණ්ඩඤ්ඤ කියා බ්‍රාහ්මණ කුලයක්, පවුලක් තිබුණා. කොණ්ඩඤ්ඤ කියන්නෙ ඤාණයෙ
මුදුන නැත්නම් ශිඛරය. සිංහල පවුල් තියෙනවා ඥානසේකර කියා. සමහරු පංඩිතසේකරලාත්
වෙනවා. නැහැ පඬිනැට්ටන් නො වෙයි.
පස්වග මහණුන් අතර වූ කොණ්ඩඤ්ඤ තවුසා ඒ කොණ්ඩඤ්ඤ නැත්නම් ඥානසේකර පවුලට අයිති
වුණේ නැහැ. එතුමා එකල සිටි සියලු පෘථග්ජනයන් අතර ඤාණයෙන් අගතැන්පත් තැනැත්තා.
පෘථග්ජන නොවන්නන්ට ඤාණය වැඩක් නැහැ. පෘථග්ජන කතාව බමූණන්ගෙන් ගත් එකක්. එහි තේරුම
බ්‍රහ්මන්ගෙන් හා එකිනෙකාගෙන් වෙන්වීමයි. පෘථග්ජනබව නැති වන්නේ බ්‍රහ්මන් හා එක්
වීමෙන්. බුදු සසුනෙහි එය බ්‍රහ්මන්ට නොව අර්හත් යන්නට අදාළ ව නිර්වචනය
කෙරුණා. වත්මන් ලංකාවේ කොණ්ඩඤ්ඤ කවුද? උපාධි
පරීක්ෂණවලින් වැඩි ම සාමාන්‍ය ලකුණු ලැබූ අය ද? උසස් පෙළ පරික්ෂණවලින් වැඩි ම සාමාන්‍ය
ලකුණු ලබා ගත් අය ද? සාමාන්‍ය පෙළ පරීක්ෂණවලින් වැඩි ම
සාමාන්‍ය ලකුණු ලබාගත් අය ද? පහේ ශිෂ්‍යත්ව පරීක්ෂණවලින් වැඩි ම
සාමාන්‍ය ලකුණු ලබාගත් අය ද? එහෙමත් නැත්නම් මුහුණුපොතේ කවුරුන්වත්
ද? මහා මොළකරු ගැන දන්නා මොළකරු ද? රාජ්‍ය සම්මාන දිනාගත් අයකු ද? මහාචාර්යවරයකු
ද? ජ්‍යෙෂ්ඨ ද සම්මානිත ද? ජනමාධ්‍යවේදියකු
ද? සජිත් ද?
චම්පක ද? කිරිඇල්ල ද?
මා පොඩි ප්‍රශ්නයක් දෙකක් අහන්නම්. දුකට හේතුව
තණ්හාව නම් තණ්හාවට හේතුව මොකක් ද? අප ඒ ඒ දෙයෙහි ඇලෙන්නේ ඇයි. මා කියා
කෙනකු ඇතැයි අප සිතන නිසා. මා කියා කෙනකු නැත්නම් අපට ඇලෙන්න අවශ්‍යතාවක් නැහැ. මා
කියා කෙනකු ඉන්නා ලෙස ගැනීම තණ්හාවට මුලයි. මා කෙනකු ඉන්නවා යැයි අප හිතන්නේ අවිද්‍යාව
නිසා. අවිද්‍යාව කියන්නෙ අර බටහිර විිද්‍යාවේ විරුද්ධය නො වෙයි. බටහිර විිද්‍යාව
සත්‍යය කරා ළඟා වනවා යැයි හිතන්නේත් අවිිද්‍යාව නිසා. කොටින් ම බටහිර විද්‍යාවටත්
හේතුව අවිද්‍යාව. ඒ අනිත්‍ය දුක්ඛ අනත්ත පිළිබඳ අවිද්‍යාව. මා මෙහි දුක්ඛ යනුවෙන්
අදහස් කරන්නේ අයහපත් හිස් බව. ඒ මිසක් සාමාන්‍යයෙන් දුක යනුවෙන් හැඳින්වෙන්න නො
වෙයි. උත්පාද තිථි භංග යන්නෙහි තිථි කොපමණ වෙලාවක් පවතිනවා ද? එය
ක්ෂණයක් ද? ක්ෂණය යනු කුමක් ද? සංස්කාරයකට
ඊනියා ක්ෂණයකටවත් පවතින්න පුළුවන් ද? සෞත්‍රාන්තිකයන් තිථි පිළිගත්තේ නැහැ.
මාත් පිළිගන්නේ නැහැ. ඒත් මා සෞත්රාන්තිකයෙක්වත් මාධ්යමිකයකුවත් නො වෙයි. මා මගේ
නොවන මගේ ම වූ ථෙරවාදයක් පිළිගන්නවා. මට
පේන විධියට බුදුසසුනේ මහණ වූ බ්‍රාහ්මණයන් අතින් බමුණු දැනුම් බුදුදහමට ඇතුළු වී
තිබෙනවා.
ඒ මා සම්බන්ධයෙන්. එලෙස සම්මත ථෙරවාදය සමග යම්
යම් කරුණු අතින් එකඟ නොවන අය ඇති. එහෙත් සම්මත ථෙරවාදයක් තියෙනවා. දැන් බුදු
හාමුදුරුවන් දේශනා කෙළේ මගේ නොවන මගේ ම ථෙරවාදය ද සම්මත ථෙරවාදය ද වෙනත් දහමක් ද? අප
නායකත්වයෙහි තබා ගන්නේ කිනම් දහමක් ද? මා හිතන්නේ අප කළ යුත්තේ සම්මත ථෙරවාදය
නායකත්වයෙහි තබා ගන්නා අතර මා වැන්නන්ට ද තම එකඟ නොවන තැන් ප්‍රකාශ කිරීමට ඉඩ දීම
කියා. ලංකාවේ ඒ ඉඩ තිබේ යැයි මා විශ්වාස කරනවා.