Main Logo

Tuesday 1 February 2022

සයන්ස් ෆේල්

 

සයන්ස් ෆේල්

 

ඇතැමුන්ගෙන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල විමසීමේ දී ඔවුන් කියනවා තමන් සයන්ස් ෆේල් කියා. ඒ කියන්නේ විද්‍යා විෂයයෙන් අසමත් වෙලා කියන එකයි. එසේ අසමත්වීම ප්‍රශ්නයක් නො වෙයි. ඔවුන්ට වෙනත් විෂයකින් ඉගෙනුම ලබන්න පුළුවන්. විභාග දැනුම ගැන එතරම් විශ්වාසයක් තියන්න බැහැ. ශිෂ්‍යත්වය අසමත් අයත් මහාචාර්යවරුන් වෙනවා. එවැන්නන්ගේ පිළිගන්න ඕන මොන විභාග ප්‍රතිඵලය ද කියන එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එක් අතකින් ගත්ත ම මා ද විද්‍යාවෙන් අසමත්. මට විිද්‍යාඥයකු වීමට බැරි වුණා. 

 

ඒත් අද මෙහි කියන්නේ ඒ ඒ පුද්ගලයා විද්‍යාව විෂයක් ලෙස කිසියම් අවස්ථාවක දී අසමත්වීම ගැන නො වෙයි. නීීතියෙන් අසමත්වීම ගැනවත් නොවෙයි. අද ආණ්ඩුවේ මැති ඇමතිවරු නම් නීතියෙන් සමත් වෙනවා. ඔවුන් උසාවියේ දී නිදොස් කොට නිදහස් කෙරෙනවා. නීතිය කාටත් සාධාරණයි. බැසිල් ඇමතිතුමාත් තවත් නඩුවකින් නිදහස් වෙලා. නඩුවලින් නිදහස් වෙන්න නීතිය දැන ගන්න ඕන නැහැ. නීතිය පාසලේ උගන්වන්නෙ නැහැ. එය විිද්‍යාව ගණිතය ආදියට වඩා අමාරු ඇති. පාසලේ උගන්වන්නෙ නැත්තෙ ඒක වෙන්න ඇති.  ඒ මොකක් වුණත්  සාමාන්‍ය පෙළටවත් ඉගෙන ගත්තෙ නැති අය තමයි වැඩියෙන් ම උගත් අය. ඔවුන් ජීවිතයෙන් ඉගෙන ගත් අය. සමහරු කියනවා තමන්ගෙ විශ්වවිද්‍යාලෙ හිරගෙදර කියලා. ඔය කීප දෙනෙක් ව හිරේ ඇරිය නම් හොඳයි කියල හිතනවා. ඒත් නීතිය ඒකට හරස් වෙනවා. අර අම්මණ්ඩිට මෙලෝ දෙයක් පේන්නෙ නැහැ. ඇස් බැඳගෙන තරාදිය අල්ල ගෙන හිටිය ම ඇති වැඩේ මොකක් ද?

 

නීතිය වගේ ද විද්‍යාව. නීතිය අපි හදන එකක්. නීති සම්පාදකයන් පාර්ලිමේන්තුවේ නීති හදනවා. නීති හදන අය නීතියට උඩින් ඉන්න බව අමතක කරන්න බැහැ. මිනිසුන්ට එවැනි සුළු කරුණු අමතක වෙන්නෙ මොක ද? විද්‍යාවට ඒකට උත්තරයක් තියෙනවා ද?  ඒ මොකක් වුණත් විද්‍යාව කියන්නෙ අපි හදන එකක් නොවෙයි කියලයි පාසලේ දි හා විශ්වවිද්‍යාලෙදි උගන්වන්නෙ. අපි ඒක ඉගෙන ගන්නවා. අප පාසලට විශ්වවිද්‍යාලෙට යන්නෙ ඉගෙන ගන්න මිසක් ප්‍රශ්න කරන්න නො වෙයි.

 

විද්‍යාව සත්‍යය කරා ළඟාවෙනවා කියා අපට කියා දෙනවා. ඒ අතර නාථ දෙවියන් මිථ්‍යාවක් කියත් කියනවා. මට ඉගෙන ගන්න බැරි මා ප්‍රශ්න කරන නිසා. ඒත් විද්‍යාවෙ සමහරු කරන විධියට උත්තර දෙන්න බැහැ. ඒ නිසයි විද්‍යාඥයකු වෙන්න බැරි වුණෙ. දැන් පළමු ප්‍රශ්නය සත්‍යය කියන්නෙ මොකක් ද? දෙවැනි ප්‍රශ්නය සත්‍යයක් තියෙන බව දන්නෙ කොහොම ද? ඊළඟ ප්‍රශ්නය ගන්නවා ද? ගත්තත් නැතත් ප්‍රශ්නය සත්‍යයක් තියෙන බව දන්නවා නම් සත්‍යය අඳුරගන්න පුළුවන් ද? බැරි නම් එය සත්‍යය බව දන්නෙ කොහොම ද? අඳුර ගන්න පුළුවන් නම් සත්‍යයක් හොයන්න යන්නෙ අහවල් දේකට ද?

 

විද්‍යාව ආරම්භයේ දී ඔය වගේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්නවලට දාර්ශනිකයන් කියන අය උත්තර දෙන්න හදනවා. දර්ශනය නීතියටත් වඩා අමාරු ද? අර දෙරණ පෙන්නන ඉස්කෝලෙවත් ඒ කිසිවක් උගන්වන්නෙ නැහැ. ඒකෙත් උගන්වන්නෙ නටන්නයි දුවන්නයි විතරයි. තව ගුරුවරියක් ගත්ත නම් නරක ද? නවතින්න තැනක් මන්ත්‍රීතුමා හොයලා දේවි. මන්ත්‍රීතුමා ම නවත්ත ගන්නත් බැරි නැහැ. ඒකට කමක් නැහැ.

 

දැන් ඔය නිවුටන් කිවුවෙ එයාගෙ රාජකාරිය දෙවියන් වහන්සේ ලෝකය මවා ඇත්තෙ කොහොම ද කියල දැන ගන්න එක. ඒ කියන්නෙත් සත්‍යය දැන ගන්න එක තමයි. නාථ දෙවියන් වගේ ද දෙවියන් වහන්සෙ. දැන් විශ්වවේදියො දෙවියන් වහන්සෙ වෙනුවට මහා පිපිරුම හොයා ගෙන. මහා පිපිරුම තමයි සත්‍යය. මටත් ආචාර්ය උපාධිය තියෙන්නෙ ඔය මහා පිපිරුම සම්බන්ධ ගුරුත්වජ කාච (gravitational lenses) අධ්‍යයනයකට. ඒත් මා දැන් මහා පිපිරුම පිළිගන්නෙ නැහැ. පඬි නැට්ටකු කියන්න බැරි නැහැ එහෙනම් උපාධිය ආපසු දෙන්න කියා. එතකොට සමහරු දිනපු නොබෙල් තෑගිත් දෙන්න වෙනවා. මා කළුකුහර පිළිගන්නෙත් නැහැ. මට වෙන කතා (ප්‍රවාද) තියෙනවා. මා විශ්වාස කරන්නෙ දෝලක විශ්වයක් ගැන. කළු පෘෂ්ඨ ගැන. ඒ අපේ සංස්කෘතියෙන් ලැබෙන දේ. අපේ සංස්කෘතියෙ ආරම්භයක් නැහැ. සංසාර චක්‍රයෙ හැසිරෙන අපට මොන ආරම්භ ද?

 

අපට මෙරට ඉන්න විශේෂඥයො නිතර දෙවේලෙ කියනවා එන්නත ගහගන්න කියලා. ඒ කාලෙ කිවුවෙ එන්නත ගහගත්තොත් අලි හෙම්බිරිස්සාව හැදෙන්නෙ නැහැ කියල. පස්සෙ කිවුව දෙකක් ගහගන්න කියලා. දැන් කියනවා තුන්වැනි එකකුත් ගහගන්න කියලා. ඒත් ඔය එන්නත් තුන ම ගහගත්තු කතානායකතුමාටත් ලෙඩේ හැදිලා. දැන් අලුත් ම කතාව තමයි එන්නත් ගහගත්තොත් මැරෙන්නෙ නැහැ කියල.  මා ඒ ගැන අවිශ්වාසයක් ඇති කරන්නෙ නැහැ. ඒත් ධම්මික පැණිය ගත් කිසිවකු මිය ගිහින් නැහැ.

 

දැන් මේ එන්නත කියන්නෙ මොකක් ද? යම් යම් වයිරසවලට බැක්ටීරියාවලට ඔරොත්තු දෙන්න ශරීරයේ ඊනියා ප්‍රතිශක්තිකරණය  හදන එක තමයි කියල කියනවා. විවිධ එන්නත් වර්ග ගැන කියනවා. අද mRNA වර්ගය ගැනත් කියනවා. ඔය එන්නතට ඉංගිරිසියෙන් කියන්නෙ වැක්සීන් (vaccine) කියල. ඒකටත් ඉතිහාසයක් තියෙනවා. එයත් ලතින් වචනයකින් බිඳී එන්නක්. Vacca කියන ලතින් වචනය එළදෙනුන් හා සම්බන්ධයි. එළදෙනට කව් කියනවා. කව්පොක්ස් රෝගය තමයි ඔය වචනයෙ මුල තියෙන්නෙ. ඒ රෝගයට ඔරොත්තු දෙන්න රෝගියකුගෙ රෝග බිබිලිවලිත් ගත් ද්‍රව්‍යය ශරීරයට ඇතුල් කිරීම තමයි vaccine කියන ඉංගිරිසි වචනය හදන්න මුල් වෙලා තියෙන්නෙ. 

 

ඒ මොකක් වුණත් අද පැහැදිලියි එන්නත් තුනක් ගත්තත් අලි හෙම්බිරිස්සා රෝගය වැළඳීම මුළුමනින් ම නැති වන්නෙ නැති බව. පස්සෙ තවත් එන්නතක් ගන්න ඕන කියයි. අලි හෙම්බිරිස්සාව සාමාන්‍ය හෙම්බිරිස්වලට වඩා ටිකක් අමාරු වෙනවා. මෙය සරම්ප පැපොල් වගේ රෝගයක් නො වෙයි. සාමාන්‍යයෙන් සරම්ප හැදුණ ම නැවත හැදෙන්නෙ නැහැ. ඒත් (විවිධ) හෙම්බිරිස්සා නැවත නැවත හැදෙනවා. සමහර බටහිරයන් නම් අවුරුදු පතා හෙම්බිරිස්සා උණට ෆ්ලූ ෂොට් ගන්නවා. හෙම්බිරිස්සාව මුළුමනින් ම නැති වෙන්නෙ නැහැ.

 

අලි හෙම්බිරිස්සාවත් එහෙමයි. ඒකටත් අවුරුදු පතා නැත්නම් හයමසකට වරක් එන්නත් ගන්න වේවි. අපේ සංස්කෘතියෙ හෙම්බිරිස්සාවට එන්නත් ගන්නෙ නැහැ. අපි පාරම්පරික වෙදමහතුන් පැත්තකට දාලා බටහිරින් එන්නත එනකම් බලා ඉන්නවා. ධම්මික පැණිය හරි වහාරක පැණිය හරි එන්නත් නොවෙන්න පුළුවන්. ඒ ප්‍රතිකාර වෙන්න පුළුවන්. හෙම්බිරිස්සාව හැදුණ ම අපි කරන දේ හදාරල අලි හෙම්බිරිස්සාව හැදුණම කරන්න ඕනෙ මොකක් ද කියල ඔය බටහිර විද්‍යා ගර්වය පැත්තකින් තියල පාරම්පරික වෙදමහතුන් ළඟට බුලත් අතක් අරන් ගිහින් අහන්න. මේ දවස්වල බුලත් ගණන් හින්ද බුලත් විස්සක් ගෙනිච්චත් ඇති. අද බටහිර විද්‍යාව අසමත්. 

 

සයන්ස් ෆේල් වුණෙ අද ඊයේ නො වෙයි. නිවුටන්ට බැරි වුණා ඊනියා ගුරුත්වාකර්ෂණය බලයක් වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරන්න. හඳ හා පොළොව අතර රිටක් කඹයක් නැතිව බලයක් යෙදෙන්නෙ කොහොම ද? ගුරුත්වාකර්ෂණය කියන්නෙ නිවුටන් ගොතපු පට්ටපල් බොරුවක් පමණයි. පඬි නැට්ටන් නාථ දෙවියන් දැකල නැතිලු. ඔවුන් ගුරුත්වාකර්ෂණය දැකල තයෙනවා ද?  ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර ද? ටිකක් උසකට නැගල පැනලා බලන්න ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර ද කියල. ගුරුත්වාකර්ෂණය කියන්නෙ  වැටෙන්න මොකද කියන ප්‍රශ්නයට යම් සීමාවල වැඩ කරන උත්තරයක් පමණයි. ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර ව දන්නා බව මා සමග කියා ඇත්තේ එක් අයකු පමණයි. ඒ කැළණිය විශ්වවිද්‍යාලයෙ රසායන විිද්‍යා මහාචාර්යවරයෙක්. මා ඔහුගෙන් ඇහුව ම ගුරුත්වාකර්ෂණය ගෝචර වෙන්නෙ මොන ඉන්ද්‍රියට ද කියා ඔහු ලජ්ජාවෙන් ඇඹරී ඇඹරි යන්න ගියා.    

 

අප නිරීක්‍ෂණය කරන දේ විස්තර කිරීමට අප කතා හදනවා. ඒ කතා වැඩ කරනවා නම් අපි පිළිගන්නවා. අර නිරීක්‍ෂණත් අපේ සංකල්ප මිසක් දෙයියන්ගෙ වැඩ නො වෙයි. මෙහි ඇති ඊනියා සත්‍යයක් නැහැ. අප තනාගන්නා නිරීක්‍ෂණ ගැන අප තනාගන්න සමහර කතා වැඩ කරනවා. එච්චරයි. විද්‍යාවට ඊනියා සත්‍යයක් හොයා ගන්න බැහැ. ඒ අතින් විද්‍යාව අසමත්. සයන්ස් ෆේල්.