Main Logo

Saturday 5 February 2022

ජේ ආර්, ප්‍රේමදාස හා රාජපක්‍ෂලා

 

ජේ ආර්, ප්‍රේමදාස හා රාජපක්‍ෂලා

 

ඊයේ රාජ්‍ය නිදහස් උත්සවයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තවත් හොඳ කතාවක් කළා. එතුමා අයිතිවාසිකම් ගැන මෙන් ම වගකීම් ගැන ද සඳහන් කළා.  මැති ඇමතිවරුන්ගෙන් ආදර්ශමත් වන ලෙස ඉල්ලුවා. තවත් බොහෝ දේ කිවුවා. එහෙත් මට ප්‍රශ්නයක් තියෙනවා. මේ කතා කතාවලට පමණක් සීමා වීම. මා එයින් අදහස් කරන්නේ ජනාධිපති ගෝඨාභය අවංක නො වේය යන්න නො වෙයි. ඒ කතා ක්‍රියාවට නැංවීමට එතුමාට යාන්ත්‍රණයක් නොමැති වීමයි.

 

එසේ එතුමාට යාන්ත්‍රණයක් නොමැති වීමට හේතුව එක්කෝ යාන්ත්‍රණයක් තිබියදීත් එය වෙනත් කෙනකු විසින් මෙහෙයවනු ලැබීම. එහෙමත් නැත්නම් කිසිවකුටවත් යාන්ත්‍රණය මෙහෙයවීමේ තනි අයිතිය නොමැතිවීම. මා හිතන්නේ පළමුවැන්න නොව දෙවැන්න හේතුව කියා. ඇතැමුන් නම් හිතන්නේ හේතුව පළමුුවැන්න බව මා දන්නවා.

 

මේ හේතුව එක ම හේතුව නො වෙයි. එහෙත් එය ප්‍රධාන හේතුවක් වෙනවා. අද යාන්ත්‍රණය මෙහෙයවීමේ තනි අයිතිය කිසිවකුටවත් නැහැ. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිතුමා විධායක ජනාධිපති. එහෙත් එතුමාට පාර්ලිමේන්තුවේ බලයක් නැහැ. එතුමා පක්‍ෂයක නායකයෙක් නො වෙයි. එමෙන් ම එතුමාට ජනතා දේශපාලන බලයක් නැහැ. එයින් මා අදහස් කරන්නේ ජනතාව එතුමාට ඡන්දය දුන්නත් එතුමා ජනතාව අතර දේශපාලනයක් නො කිරීමයි. ගම සමග පිළිසඳර එයට ආදේශයක් වුණේ නැහැ. එය හුදෙක් නිලධාරීන් මෙහෙයවපු සංවාදයක් වුණා.

 

රාජ්‍ය නිලධාරීන් තම තමන් විසින් ම මෙහෙයවනු ලැබ ගන්නවා. මුදල් ඇමති කියන දෙය  සමග මහා බැංකු අධිපති එකඟ වන්නේ නැහැ. මහා බැංකු අධිපතිත් ඇමතිවරයෙක් නොවැ. කෘෂිකර්මාන්ත ඇමති කියන දේ අනුව නොවෙයි කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරීන් වැඩ කරන්නේ. ඒ තබා අගමැති කියන අන්දමට බුද්ධ ශාසන අමාත්‍යාංශය වැඩ කරන්නේ නැහැ. බුද්ධ ශාසන අමාත්‍යංශය සමහර විට නෙදර්ලන්ත රෙපරමාදු ආගමිකයන්ට අවශ්‍ය අන්දමට කටයුතු කරනවා. හැම තැනක ම පාහේ තත්වය එහෙමයි.

 

මේ තත්වයට වග කියන්න ඕන ජනාධිපතිතුමා ද? එතුමාට රාජ්‍ය ආරක්‍ෂක ලේකම් ලෙස තිබූ බලතලවත් දැන් නැතුවා වගෙයි. මෙරට විධායක ජනාධිපතිවරුන්ගෙන් ජේ ආර් හොඳට කොහොම වෙතත් නරකට විධායක බලතල යොදා ගත්තා. ඔහු මැතිවරණ කල් දැම්මා. මුළු රටක් ම විරුද්ධ වෙද්දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළා. මන්ත්‍රීවරුන්ගෙන් දින නොදා ඉල්ලා අස්වීමේ ලිපි ලබා ගත්තා. ආණ්ඩුවේ ඔහුට බය නැතුව හිටියේ ප්‍රේමදාස පමණයි. සමහර විට ගාමිණී දිසානායකත් ඉන්න ඇති. ඒ ඉන්දියාවේ ආධාරයෙන් වෙන්ඩ ජනාධිපති ලෙස. කිසිම ප්‍රභූ පදනමක් නැති ප්‍රේමදාසට වෝඩ් පෙදෙසේ ජේ ආර් නිවසට ගොස් ජනාධිපති ජයවරධනට තර්ජනය කිරීමේ හැකියාව තිබුණා. ප්‍රේමදාසට එවැනි බලයක් ලැබුණේ කෙසේ ද?

 

මා හිතන්නේ නැහැ කිසිවකු ප්‍රේමදාස ගැන විධිමත් අධ්‍යයනයක් කර තිබෙනවා කියා. ප්‍රේමදාසට කළ හැකි ව තිබූ දේ පවුල් බලය හා බටහිරයන්ගේ අනුග්‍රහය හා ආශිර්වාදය තිබූ චන්ද්‍රිකාට කළ නොහැකි වූයේ ඇයි. එවැනි ම බල ව්‍යුහයක් තිබූ රනිල්ට කළ නොහැකි වූයේ ඇයි? තරමක් හරි යමක් කරන්න පුළුවන් වූයේ මහින්ද රාජපක්‍ෂට පමණයි. එහෙත් ඔහුටත් ප්‍රේමදාසගෙ අහළකටවත් එන්න බැරි වුණා. මෛත්‍රිපාල ගැන කියා වැඩක් නැහැ. මෛත්‍රිපාලටත් පවුල් බලයක් ප්‍රභූ පසුබිමක් තිබුණේ නැහැ. මෙරට ප්‍රභූන් පොළොන්නරුවේ රාජකීය විදුහල ගණන් ගන්නේ නැහැ.

 

එහෙත් ප්‍රේමදාසට කිසිම රාජකීය අධ්‍යාපනයක් තිබුණේ නැහැ. ඔහු ඉගෙන ගත්තේ මොන පාසල්වල ද? කෙහෙල්වත්ත කිසිම අයුරකින් කුරුඳුවත්තක් නො වෙයි. ඔහුගේ පියා එකල තිබූ රික්ෂෝ රථ මුදලාලි කෙනෙක්. ඡායාරූපයේ ළදරු ප්‍රේමදාස තම දෙමව්පියන් දෙපසින් තබාගෙන රික්ක්‍ෂෝවක ඉන්නවා. ඔහු ලොරන්ට්ස් පාසලට ගිය බව සඳහන් වෙනවා. එහෙත් අද වන විට ඔහු මරදානේ ශාන්ත ජෝසෆ් විදුහලේ ආදි ශිෂ්‍යයෙක් වෙලා. ඔහු සමග ඒ විදුහලේ එකට ඉගෙන ගත් ආදි ශිෂ්‍යයකු නම් නැහැ. සමහරවිට ඔහු ලෙගොක් පූජකතුමාගෙන් පෞද්ගලික ව ඉගෙන ගන්න ඇති. එහෙමත් නැත්නම් ටියුෂන් ගන්න ඇති. ඒ කොහොම වෙතත් අද ඒ විදුහලේ ක්‍රීඩාගාරය නම් කරල තියෙන්නෙ ප්‍රේමදාස නමින්. රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාගාරය නම් කරල තියෙන්නෙ ජේ ආර් නමින්. ඔහු රාජකීය විදුහල වෙනුවෙන් විවිධ ක්‍රීඩා කණ්ඩායම් නියෝජනය කළ අයෙක්. එහෙත් ප්‍රේමදාස? අද කියන විධියට නම් ප්‍රේමදාස ජේ ආර්ට වඩා හොඳ ගේම් කාරයෙක්. ඒ හින්ද වෙන්න ඇති ශාන්ත ජෝසෆ් විද්‍යාලය ප්‍රේමදාසට ගරු කරන්නෙ.

 

ප්‍රේමදාස පරද්දන්න රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලැබු ලලිත් ඇතුලත්මුදලිත් ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ගාමිණි දිසානායකත් එකතු වුණා. ඔවුන් රාජාලියා පක්‍ෂයත් හැදුවා. දෝෂාභියෝගයක් ගෙනාවා. ඒත් අන්තිමට වෙස්ලි විිද්‍යාලෙ උගත් කතානායක මොහොමඩ්ට දෝෂාභියෝගය ආපසු කරකවන්න සිදුවුණා. ඇතුලත්මුදලිත් ගාමිණී දිසානායකත් ඝාතනය කෙරුණා. ඒ කොටින්ගෙ වැඩ කියල තමයි සඳහන් වෙන්නෙ. රාජාලියා අද ඉන්නෙ කොහෙද කියල රාජකීය විදුහලේ ඉගෙන ගත් රවි කරුණානායකවත් දන්නවා ද? ප්‍රේමදාස එ ජා ප අත්හැරියෙ නැහැ. ඔහු එ ජා පක්‍ෂයෙ නායකයා වුණා. අද ඔහුගේ පුත් රාජකීය හා එංගලන්තයේ මිල්හිල් පාසල්වල උගත් සජිත් ඇතුලත්මුදලිලා අනුගමනය කරමින් දුරකතනයකින් අප අමතනවා. ඒක ඒ මදිවට පරණ දුරකතනයක්. අඩු ගණනෙ ස්මාට් ෆෝන් එකක් ගත්ත නම්. තාත්තා කරපු දේ පුතා කරන්නෙ නැහැ. ප්‍රේමදාස අවසානයේ දී මිය ගියේ දෙමළ කොටි බෝම්බයකින්. 

 

ප්‍රේමදාස මගේ වීරයෙක් නො වෙයි. මා ඔහුට අවස්ථා දෙකක දී සම්බන්ධ වුණා. ඒ ගැන විස්තරයක් පසුවට. ඔහු මට තනතුරක් දුන්නා නො වෙයි. මගේ ප්‍රශ්නය ඔහු කළ වැඩ වෙන කිසිවකුට කළ නොහැකි වූයේ ඇයි ද යන්නයි. රිච්මන්ඩ් නාලන්ද තර්ස්ටන් විිද්‍යාලවල  ඉගෙන ගත් මහින්ද රාජපක්‍ෂ කොටි පැරදවීමට දේශපාලන නායකත්වය දුන්න එක ඇත්ත. ඒත් ඔහුට අර යාන්ත්‍රණය තමන්ට පමණක් අවශ්‍ය ආකාරයට මෙහෙයවා ගන්න බැරි වුණා. ආනන්ද විද්‍යාලයෙ ඉගෙන ගත් ගේඨාභය රාජපක්‍ෂට යාන්ත්‍රණය අහිමි වෙලා. ඒ ඇයි? නිදහසේ හැත්තෑපස්වැනි වියට පිය නගන අප ඒ ප්‍රශ්නයට පිළිතුරු හොයන්න ඕන.  (මතු සම්බන්ධයි)