Main Logo

Sunday 13 February 2022

වර්ජකයන්ට අලි පිහිටයිි

 

වර්ජකයන්ට අලි පිහිටයිි

 

සමන් රත්නප්‍රිය වැඩවර්ජනය, ඔහු කියන විධියට තාවකාලික ව අත්හැරලා. සජිත් රාජිත ආදීන් මොකද කියන්නෙ. රත්නප්‍රිය තම  වැඩේ පාවල දීල ද? ජෝසෆ් ස්ටැලින් හා මහින්ද ජයසිංහ මොනව කරනවා ද දන්නෙ නැහැ. මොවුන් පාදෙණිය අනුව යමින් වැඩ වර්ජනය කරල ආණ්ඩුව පෙරළන්න මහන්සි ගන්න අය. මා ඊයේත් කිවුවෙ පාදෙණියට සෞඛ්‍ය ලේකම් ධුරය ලබා දුන්න නම් ප්‍රශ්න ඉවරයි.

 

ඒත්  විප්ලවවාදී රවි කුමුදේශ් උපුල් රෝහණ තාමත් වර්ජනයේ. ඔවුන්ට විරුද්ධ ව වාරණ නියෝගයක් ගත්තෙ නැද්ද? ඒ අය අලි හෙම්බිරිස්සාව සම්බන්ධ විශේෂඥයන්. වෛද්‍ය පීඨයකට යන්න පුළුවන්කම තිබිය දී ගිහින් නැතුව වගේ. සමහර වෙලාවට මට හිතෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයත් උපදෙස් ගන්නෙ ඒ අයගෙන් කියල. මා මෙයින් අදහස් කරන්නෙ බටහිර වෛද්‍ය විද්‍යාව අලි හෙම්බිරිස්සාව ගැන ලොකු දෙයක් දන්නව කියන එක නො වෙයි. අලි හෙම්බිරිස්සාව තවත් හෙම්බිරිස්සා වර්ගයක් කියන එක බටහිර වෙදකමට අහුවෙන්නෙ නැහැ. රවි කුමුදේශ් උපුල් රෝහණ වැන්නන්ට බඩ පිනුම් ගහන්න පුළුවන් වෙලා තියෙන්නෙ ඒ නිසයි. ඒ කොහොම වුණත් ඔය අනෙක් වෘත්තීය සමිති දහහතෙත් වර්ජනය තාවකාලික ව කල් දම්මවන්න ආණ්ඩුව පියවර ගන්නව නම් හොඳයි. අද රෝගීන් දහඅතේ කල්පනා කරන්නෙ නියම කරන බෙහෙත් ටික ගන්නෙ කොහොම ද කියන එකයි.

 

වෘත්තීය සමිතිත් ඩොලර් අර්බුදයට වග කියන්න ඕන. අපි දියුණු රටක් නොවෙයි කියල හැමෝ ම වගේ කියනවා. ඒත් මේ රටේ වගේ නිදහස් අධ්‍යාපනයක් නිදහස් සෞඛ්‍ය සේවයක් තියෙන රටවල් කීයක් ලෝකයේ තියෙනවා ද? මට මතකයි එන් එම් සහෝදරයා මුදල් ඇමති වෙලා හිටපු කාලෙ රජයේ රෝහල්වලට එන රෝගීන්ට සත විසිපහක මුද්දරයක් අරගෙන එන ලෙස නියම කළා. එයට විශාල විරෝධයක් පැන නැගුණා. මුද්දර අලෙවි වුණේ නැහැ. මාත් ඒ කාලෙ සමසමාජ පක්‍ෂෙ. එන් එම්ටත් බැසිල්ට වගේ හොඳ මොළයක් තිබුණ කියල තමයි කිවුවෙ.

 

එන් එම්ලා හොඳ මිනිස්සු. ක්‍රිකටුත් ක්‍රීඩා කළා. ඔහු එන් සී සී ක්‍රිඩා සමාජයේ සාමාජිකයෙක් ව හිටිය. බැසිල් මොන ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙක් ද කියා මා දන්නේ නැහැ. එන් එම්ලගෙ කාලෙ ක්‍රිකට් ක්‍රීඩාවෙ සල්ලි තිබුණෙ නැහැ. වනිඳු හසරංග ඉන්දියාවෙ ලොකු මුදලකට අලෙවි වෙලා.  වනිඳුගෙයි මගෙයි තියෙන සමානකම අපි දෙන්න ම ද සිල්වලා වීම පමණක් කියා මා කියන්නෙ නැහැ. ඒත් ඉන්දියාවෙ නොවෙයි මෙරටවත් මා අලෙවි වන්නේ නැහැ. ක්‍රීඩා සමාජ තියා විශ්වවිිද්‍යාලවත් මා මිල දී ගන්න අකමැති වුණා. එන් එම් වරක් පන්සලක උත්සවයකට සහභාගි වීම සමසමාජ පාක්‍ෂිකයන්ගෙ දෝෂ දර්ශනයට ලක් වුණා. එන් එම්ලා හොඳ මිනිස්සු.

 

මෙරට කම්කරු නීති ඉතා ශක්තිමත්. සේවකයකු වරදක් කළත් අස්කරන එක පහසු නැහැ. අද අප කෙතරම් උත්සාහ කළත් පිටරටින් ආයෝජකයන් ගෙන්වා ගැනීම අමාරුයි. ආයෝජන මණ්ඩලයත් වැඩියෙන් ම ආයෝජනය කරන්නේ සේවක වැටුප් ගෙවීමට වෙන්න පුළුවන්. රජයේ ආදායමෙන් සියයට අසූවක් පමණ සේවක පඩි නඩි විශ්‍රාම වැටුප් ගෙවීම්වලට යනවා. කවුද කියා තිබුණා රටේ ජනහනයෙන් පහළොවකට එක් රජයේ සේවකයකු ඉන්නවා කියා. එක පවුලක පස් දෙනකු ඉන්නවා කියා ගත්තොත් එයින් කියැවෙන්නෙ පවුල් තුනකට එක් රාජ්‍ය සේවකයකු ඉන්නවා කියා.       

 

ආයෝජන මණ්ඩලය කෙතරම් උත්සාහ කළත් අපට පිටින් ආයෝජකයන් ගෙන්වා ගැනීමට අමාරු මෙරට කම්කරු නීති ආයෝජකයන්ට අහිතකර නිසා. ඒ නීති රජයට කොහොමටවත් හිතකර නැහැ. මෙරට වෘත්තීය සමිති බලවත්. ඒ එන් එම්ලාගේ වැඩ නිසා සිදු වෙච්ච දේ. පනස්හයේ පංච මහා බලවේගයට කම්කරු කියා කොටසකුත් එකතු වුණේ ඊනියා කම්කරු පංතියක් නිසා නොව වෘත්තීය සමිති බලවත් නිසා.

 

අප කියනවා එංගලන්තය ඇමෙරිකාව සිංගප්පූරුව ජපානය වැනි රටවල් වගේ දියුණු වෙන්න ඕන කියා. ඔය එක රටකවත් නිදහස් සෞඛ්‍ය සේවය නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කම්කරු නීති යන තුන් කොටස ම ගත්තොත් ලංකාවේ මට්ටමට නැහැ. එංගලන්තයේ කම්කරු නීති තරමක්වත් ශක්තිමත් වුණෙ එරට යම් ප්‍රමාණයකට ඊනියා දියුණුවක් අත්පත් කර ගත්තට පස්සෙ. සිංගප්පූරුව ඊනියා දියුණුවට පත්වෙන කාලෙ එහි අගමැති ලීගෙ තරම පාඨලීගෙන් අහගන්න. ජේ ආර්ලට ප්‍රේමදාසලාට ආධිපත්‍යය සම්බන්ධයෙන් ලීගෙ අහළකටවත් එන්න බැරි වුණා.  ජපානෙ වෘත්තිය සමිති විරෝධය පාන්නෙ වැඩ වර්ජනය කරල නෙවෙයි වැඩියෙන් වැඩ කරලා.

 

අපට දියුණු වෙන්න දෙයක් නැහැ. අප දියුණු වෙලා ඉවරයි. දියුණුය කියන රටවල තියෙන සුබ සාධනය අපේ රටේත් විශාල ප්‍රමාණයකට තියෙනවා. ඒ බටහිර අදහස් නිසා නො වෙයි. මෙරට සංස්කෘතිය නිසා. ඒ සිංහල සංස්කෘතිය. ඔවුන් ආගමක් ලෙස බුදුදහම ගැන හිතුවෙ නැහැ. ඒ ඔවුන්ගෙ ජීවන දර්ශනය. කතෝලික ක්‍රිස්තියානි ආගම් ඇදහුවන් ඔවුන්ට ආගම්කාරයන් වුණා. ඒක හරියට පිටගම්කාරයා වගේ අදහසක්. අපේ ජීවන දර්ශනය නිසා අපට නිදහස් අධ්‍යාපනයක්, නිදහස් සෞඛ්‍ය සේවයක්, සේවක සුරක්‍ෂිතභාවයක් තියෙනවා. එය බටහිරින් ගත් එකක් නො වෙයි.

 

බටහිර වෘත්තීය සමිති ව්‍යාපාරයෙන් අප ඉගෙන ගත්තේ යුතුකම් නැතිව ඊනියා අයිතිවාසිකම් පිළිබඳ කතාව. මේ හේතුව නිසා අද අප අපේ යුතුකම් ගැන හිතන්නේ නැහැ. මා අමුතුවෙන් කියන්නෙ නැහැ. රජයේ කාර්යාලයකට ගොස් බලන්න. මා කියන්නේ නැහැ කිසිම තැනක රජයේ සේවකයන් මහජනයාට සේවය කරන්නේ නැහැ කියා. එහෙත් තත්වය එතරම් ප්‍රියජනක නැහැ. ඉංගිරිසියෙන් පඋබලඉච සඑරවඉචඑ කියන එක මහජන සේවය වෙන්න ඕන. එහෙත් එය රජයේ සේවය කියා පරිවර්තනය වෙලා. රජයේ සේවය කියන වචනය ඉවත දා මහජන සේවය කියා කියමු ද? ඒ සමග ආකල්ප වෙනසක් ඇති කරන්න ඕන.

 

වෙනත් රටවල් දියුණු වුණාට පස්සෙ ලබා ගත් දේ අප කලින් ම ලබා ගෙන. ඒ අපේ ඓතිහාසික ජීවන දර්ශනයට පින් සිදුචෙන්න. කිසිවකු කියන්න බැරි නැහැ අපේ වැටුප් ඇමරිකාවෙ වැටුප් තරම් නැහැ කියා. ඒත් අප ඇමරිකාව තරම් නිෂ්පාදනය කරන්නෙ නැහැ. ජපානය තරම් නිෂ්පාදනය කරන්නෙ නැහැ. අප නිෂ්පාදනය වැඩි කරන්න පෙර සේවක ස්ථිරත්වය සහතික කරගෙන. ඒ නිසාත් අද අපට නිෂ්පාදනය වැඩි කරන්න බැරි වෙලා. කුමුදේශ්ලා වර්ජනය කරන්නේ කම්කරු නීති ශක්තිමත් නිසා.

 

අද අපට අමුතුවෙන් හිතන්න වෙලා. අප සමහර කරුණු අතින් ඉතා දියුණුයි. අපේ නිෂ්පාදනය අඩුයි. අපේ අවශ්‍යතා වැඩියි. නිදහස් අධ්‍යාපනයෙන් බිහිවෙලා ඉන්නෙ අවශ්‍යතා වැඩි කරගත් ආත්මාර්ථකාමී මධ්‍යම පංතියක්. මෙරට අධ්‍යාපනයෙන් බුද්ධිමතුන් බිහිවන්නේ නැහැ. මෙරට විශ්වවිිි්‍යාලවල බුද්ධිමතුන් නැහැ. අප අධ්‍යාපනය සලකන්නේ සමාජයේ ඉහළට යෑමට ඇති ඉණිමගක් ලෙස පමණයි. අප ඉගෙන ගන්නේ ඊනියා හොඳ රැකියාවක් කර මුදල් ඉපයීමට. අද මෙරට උගත්කමට සලකන්නෙ නැත්නම් එයට හේතුව උගත්කම ම මිස වෙන එකක් නො වෙයි. අප උගතුන් වන්නේ මුදල් ඉපයීමට. උගතුන් ද සලකන්නෙ මුදලට නම් ඔවුන්ට ද අවශ්‍ය මුදල් නම් උගත්කමට සලකන්නෙ අහවල් දේකට ද?

 

අපේ අවශ්‍යතා අඩු කර ගන්න පුළුවන් නම් ඒ අවශ්‍යතා යම් ප්‍රමාණයක් මෙරට නිෂ්පාදනය කළ හැකි නම් ඒ සඳහා අප අයිතිවාසිකම් ගැන පමණක් නොසිතා යුතුකම් ගැනත් හිතනවා නම් පිටරටින් ගේන්න අවශ්‍ය දේ ආනයනය කිරීම සඳහා පිටරටට අවශ්‍ය ඇතැම් දේ තෝරා බේරා ගෙන නිෂ්පාදනය කර අපනයනය කළ හැකි නම් අපට ඩොලර් අර්බුදයක් තියෙන්න බැහැ. අවශ්‍ය ම නම් ආනයනයට පළමු අපනයනය, අයිතිවාසිකම්වලට පළමු යුතුකම්, සීමිත අවශ්‍යතා ආදී සටන්පාඨ හිත්වලට කාන්දු කරන්න පුළුවන්.

 

මා මේ සියල්ල කියන්නේ අත්දැකීමෙන්. මා ඉගෙන ගත්තේ විද්‍යාඥයකු වීමට. එහෙත් එය බෑරි වුණා. මා සරසවි ඇදුරකු ලෙස රැකියාවක් කළා. එහෙත් අවුරුදු දොළහක් රැකියාව නැතිව හිටියා. භාර්යාව රැකියාවක් කළ බව ඇත්ත. එහෙත් අපේ අවශ්‍යතා ඉතා සීමිතයි. දරුවන්ට පිටරට යවා ඉගැන්වූ බවක් බොහෝ දෙනා හිතනවා. එහෙත් ඩිල්කා සමන්මලීවත් ඔවුන් ගිය රට දන්නේ නැහැ. මාධව මඩවල හරි 360 නිෂ්පාදක හරි දන්නවා වෙන්න පුළුවන්. අදත් අප ජීවත්වන්නේ අර්ථසාධක අරමුදලෙන් ලැබුණු මුදලට ගෙවන පොළියෙන්. පොළිය 11% පමණ සිට  6% දක්වා අඩු වුණා. මට තානාපති කමෙන් යම් මුදලක් හොයන්න තිබුණා. එහෙත් ඒ රැකියාවෙන් එතරම් වැඩක් කරන්න බැහැ. අලි හෙම්බිරිස්සාව හැදුණට පස්සෙ ඇරිස්(ටෝටල්) මතක් වුණා. මා ආපසු ආවා.

 

ඇරිස්ලගෙ බොරු දර්ශනය රේඛීය චින්තනය ලංකාවෙන් බැහැර කරන්න ඕන. එහි සෑම දෙයක් ම පටන් ගන්නෙ නිර්වචනය නොකරන ලද භූතාර්ථවලින් (undefined entities) . අර ඊනියා කරුණුමය කතාත් නිර්වචනය නොකරන ලද අදහස් සඳහායි. පැවැත්ම නිර්වචනය කරන්න බැරි වුණා ම ඒක කිසිම තේරුමක් අදහසක් නැතුව ව්‍යවහාර කරනවා. නිර්වචනය නොකරන ලද සංකල්ප මත දැනුමක් ගොඩ නගනවා. චක්‍රීය චින්තනයේ එහෙම වෙන්නෙ නැහැ.

 

ඒ කුමක් වුණත් ආදායම අඩු වුණත් අපට ප්‍රශ්නයක් නැහැ. අපට නැතිවන්න දෙයක් ඇත්තේ ම නැති තරම්. හොරු ආවත් අපට ප්‍රශ්නයක් නැහැ. ඔවුන්ට ගෙනියන්න දෙයක් නැහැ. මට නම් ඇත්තේ ඇඳුම් කිහිපයක් සෙරෙප්පු කූට්ටමක් පොත් ටිකක් හා මේ ලියන විද්‍යුත් ලියනය හා අර පොළිය ලැබෙන ස්ථාවර තැන්පත් ටික පමණයි. අපේ මාසික ආදායම ඉලක්කම් හයකට ටිකක් වැඩියි. එයින් සියයට විස්සක් පමණ අප අපට වඩා බැරි අයට දෙනවා. මා දන්නවා අපට වඩා අඩුලාභීන් විශාල ප්‍රමාණයක් රටේ ජීවත්වන බව. ඒ කුමක් වුවත් ඩොලර් අර්බුද අස්සෙ අර පොළිය වැඩි කරන්න කියා මා ඉල්ලන්නේ නැහැ. දේශපාලනඥයන් ගසා කනවා කියන එක පොළිය වැඩි කරන්න ඉල්ලන්න හේතුවක් නො වෙයි. රවි කුමුදේශ්ට හා උපුල් රෝහණට අලි හෙම්බිරිස්සාවත් අලිත් පිහිට වෙලා.