Main Logo

Sunday 6 February 2022

ප්‍රේමදාස හා ගෝඨාභය නායකත්ව

 ප්‍රේමදාස හා ගෝඨාභය නායකත්ව 


මෙම ලිපිය ඊයේ ලිපිය සමග පමණක් නොව පෙබරවාරි දෙවැනි දා හා ජනවාරි තිස්එක්වැනි දා ලිපි සමගත් සම්බන්ධයි. ආර් ප්‍රේමදාස කිසිම ප්‍රභූ සම්බන්ධතාවක් නැතිව රටේ විධායක ජනාධිපති පදවියට පත් වූ බවත් ඔහුට තම අදහස් ක්‍රියාවට නැංවීමට අදාළ යාන්ත්‍රණය සම්පූර්ණයෙන් ම තම අතට ගැනීමට හැකි වූ බවත් අප ඊයේ සඳහන් කළා. අවාසනාවකට වත්මන් ජනාධිපතිතුමාට එසේ කිරීමට නොහැකි වී තිබෙනවා.


සිංහලයන්ට පසුගිය ජනාධිපතිවරණයේ දී අවශ්‍ය වූයේ ඒ පරිපාලන ක්‍රියාත්මක යාන්ත්‍රණය සම්පූර්ණයෙන් ම තම අතට ගත හැකි අයකු ජනාධිපති කිරීමට. ඒ බව අප කලින් ම දුටුවා. සිංහල ඡන්දවලින් පමණක් ගෝඨාභය රාජපක්‍ෂට ජනාධිපති විය හැකි බව අප කීවේ ඒ මත පදනම් වී.   අද කාදිනල්තුමා කුමක් කීවත් මුස්ලිම් අන්තවාදය පරාජය කිරීමටත් දෙමළ ජාතිවාදය පරාජය කිරීම තහවුරු කිරීමටත් හැකි නායකයකු සිංහලයන්ට අවශ්‍ය වුණා. මෛත්‍රිපාල සිරිසේනට ගෝඨාභය රාජපක්‍ෂ ජයග්‍රහණය කරවීමේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඔහුට සහ ඇතැම් රාජපක්‍ෂවරුන්ට අවශ්‍ය වූයේ දින පනස් දෙකේ ආණ්ඩුව ඉදිරියට ගෙන ගොස් සිරිසේන විධායක අගමැති වූ ආණ්ඩුවක් පිහිටුවීමට. අඩු තරමෙන් සිරිසේනට එවැනි බලාපොරොත්තුවක් දී තිබුණා. එට ඉටුවෙන්න තිබුණ ද නැද්ද යන්න වෙන ම කරුණක්. 


රාජපක්‍ෂවරුන්ට දින පනස් දෙකේ ආණ්ඩුව ඉදිරියට  ගෙන යෑමට අවශ්‍යතාවක් තිබුණු බව දැන් අනාවරණය වෙනවා. එහෙත් ඔවුන්ට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය පාර්ලිමේන්තුවේ දී ලබා ගැනීමට නො හැකි වුණා. එ ජා පක්‍ෂය සකස් කළ විශ්වාසභංග යෝජනාව යටත්විජිත පාර්ලිමේන්තු වාර්තා බිඳ දමමින් දුව ගොස් භාර දුන්නා. රාජපක්‍ෂලා හා මෛත්‍රිපාල ගෝඨාභය කෙනකු ගැන හිතලා තිබුණෙ නැහැ. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයා විය යුතු බවට පොහොට්ටුවේ අදහසක් තිබුණේ නැහැ. එය ජාතිකවාදීන්ගේ මතයක්. ජාතිකවාදීන්ට අවශ්‍ය වූයේ පරිපාලන ක්‍රියාත්මක යාන්ත්‍රණය මුළුමනින් ම  තම අතට ගත හැකි යැයි සිතූ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයා බවට පත් කිරීමට.   පසු කලෙක ප්‍රධාන භික්‍ෂුන් වහන්සේ නමක් ජනාධිපති හිට්ලර් කෙනකු විය යුතු යැයි කියා ඇත්තේ ඒ අර්ථයෙන්.


එහෙත් පඬි නැට්ටන් ජඩමාධ්‍යවේදීන්ගේ  ද සහායෙන් ඒ ප්‍රකාශයට විකෘති අර්ථවිවරණයක් සැපයුවා. ඒ පඬිනැට්ටන්ගේ දේශපාලනය. ඔවුන් ගෝඨාභය රාජපක්‍ෂ ඇඩොල්ෆ් හිට්ලර් කෙනකු බවට පත් කළා. එහෙත් ගෝඨාභය රාජපක්‍ෂට අර යාන්ත්‍රණය මෙහෙයවීමට තබා දායකත්වයක් දීමටවත් නො හැකි වුණා. මෙහි දී කිවයුතු කරුණක් තියෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයා බවට පත් කළ යුතු යැයි සිතූ අය දින පනස් දෙකේ ආණ්ඩුව සම්බන්ධයෙන් මත දෙකක් දරා තියෙනවා. එක් පිරිසකට අවශ්‍ය වූයේ දින පනස් දෙකේ ආණ්ඩුව පෙරළා දමා මෛත්‍රිපාල විධායක අගමැති වීමට දකිමින් සිටි සිහිනය බොඳ කර ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයා කිරීම. අනෙක් පිරිසට අවශ්‍ය වූයේ දින පනස් දෙකේ ආණ්ඩුව තහවුරු කර ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයා කිරීම. ඔවුන්ට සිරිසේන අගමැති කිරීමේ වුවමනාවක් තිබිණි යැයි ඉන් කියැවෙන්නේ නැහැ. 


ඒ කුමක් වුවත් මෛත්‍රිපාල සිරිසේනට ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක බවට පත් කිරීමට අවශ්‍යතාවක් නොතිබූ බව පැහැදිලියි. එබැවින් පාස්කු ප්‍රහාරය ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති කිරීමට මෛත්‍රිපාල සිිරිසේන ගත් ක්‍රියා දාමයක පුරුකක් යැයි කියන අයකු වේ නම් ඔහු දේශපාලනය ගැන අබමල් රේණුවක හරි දැනුමක් නැත්තකු විය යුතුයි. කෙසේ වෙතත් අර පරිපාලන ක්‍රියාත්මක යාන්ත්‍රණය සම්පූර්ණයෙන් මෙහෙයවීමට හැකි  පුද්ගලයා ගෝඨාභය රාජපක්‍ෂ වේය යන හැඟීම බෞද්ධ වේවා කතෝලික වේවා සිංහලයන් බහුතරය අතර තිබූ මතය වුණා. 


එහෙත් තවමත් ගෝඨාභය රාජපක්‍ෂ එසේ කිරීමට සමත් වී නැහැ. ප්‍රේමදාස කළ දේ ගෝඨාභය රාජපක්‍ෂට තවමත් කිරීමට නොහැකි වී ඇත්තේ ඇයි?  ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ අතර ඇති වෙනස කුමක් නිසා ඇති වූවක් ද? 


මා හිතන්නේ ප්‍රේමදාස සාමාන්‍ය සිංහල බෞද්ධ සම්ප්‍රදායෙන් ඉවතට ගිය අයකු බවයි. ඉතිහාසයේ එසේ ඉවතට ගිය පළමු තැනැත්තා ඔහු නො වෙයි. ගැමුණු විජයබා පළමුවැනි හා හයවැන් පරාක්‍රමබාහු රජවරු තවත් කිහිප දෙනෙක්. මා ප්‍රේමදාස ඒ රජවරුන්ගේ ගණයේ අයකු යැයි කිසිසේත් කියන්නේ නැහැ. එහෙත් ඔහු අර යාන්ත්‍රණය සම්පූර්ණයෙන් ම තම අතට ගැනීමට සමත් වුණා.


ලෝකයේ ඉහළ ම නිදහස ඇත්තේ බෞද්ධ සමාජයේ. එය ප්‍රජාතන්ත්‍රවාදය යැයි මා කියන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බටහිර ව්‍යාජ සංකල්පයක්. පුද්ගල නායකත්වයක් ගැන කියා නොමැති සමාජයීය ව්‍යුහයක් ඇත්තේ බෞද්ධ සමාජයෙහි. බුදුන් වහන්සේ දේශනා කෙළේ තමන් වහන්සේගෙන් පසු ධර්මය නායකත්වයෙහි ලා සලකන ලෙසයි. මිහිඳූ මහා රහතන් වහන්සේ දේවානම්පිය තිස්ස රජුට කීවේ රජු රටේ භාරකාරයා මිස පාලකයා නොවන බවයි. සංඝ සමාජය ක්‍රියා කිරීමේ දී අනුගමනය කරන නීති රීති අතිවිශ්ෂටයි. පඬී නැට්ටකු අහන්න බැරි නැහැ හාමුදුරුවරුන් අහවල් අහවල් වැරදි කරන්නෙ ඇයි කියා. මොන සමාජයේත් වැරදි කරන අය ඉන්නවා. 


මෙරට ප්‍රශ්නය වී ඇත්තේ මේ ධර්මයට නායකත්වය දෙනවා යන්න දෙයාකාරයකින් බිඳ වැටෙන්න පුළුවන් වීමයි. අපි එය පසුව සාකචඡා කරමු.