Main Logo

Sunday 27 February 2022

යුක්‍රේනය ලංකාව හා පඬි නැට්ටෝ

 

යුක්‍රේනය ලංකාව හා පඬි නැට්ටෝ

 

ඇතැමුන් යුක්රේනය, රුසියාව හා බටහිරයන් සමග ලංකාව, ඉන්දියාව හා බටහිරයන් සංසන්දනය කරනු දකින්න පුළුවන්. ඉන් එකක් පමණක් පැහැදිලි වෙනවා. ඒ මෙරට පඬියන්ගේ පඬි පෝතකයන්ගේ හා පඬි නැට්ටන්ගේ බුද්ධිමය දරිද්‍රතාව. යුක්රේනය ඉතිහාසයේ යම් කලක් රුසියාවේ කොටසක් ව පැවතියා. එය සාර් යුගයේ සිට ම පැවත එන්නක්. රුසියන් විප්ලවයෙන් පසු වෙනසක් සිදු වූයේ නැහැ. යුක්රේනයේ උපන් ලියොන් ට්‍රොට්ස්කි රතු හමුදාව මෙහෙයවූවා. ඔහු තමයි සෝවියට් දේශයේ පළමු විදේශ ඇමති. විප්ලවයෙන් පසු යුක්රේනය සෝවියට් දේශයෙන් වෙන් වුණේ නැහැ.

 

ස්ටැලින් ඊනියා තනි රටක සමාජවාදය ගොඩනැගීමට ට්‍රොට්ස්කි හා ඔහුගේ අදහස් විනාශ කිරීමට උත්සාහ කළා. ට්‍රොට්ස්කි මෙක්සිකොවේ දී ඝාතනය කෙරුණා. තනි රටක සමාජවාදයක් ගොඩ නැගුණේ නැහැ. රාජ්‍ය ධනවාදයක් නම් යම් ප්‍රමාණයකට ව ගොඩ නැගුණා. එහෙත් ඒ සඳහා දැඩි පාලනයක් අවශ්‍ය වුණා. ස්ටැලින්ගේ මරණයෙන් පසු එවැනි දැඩි නායකත්වයක් සෝවියට් දේශයට ලැබුණේ නැහැ. එමෙන් ම ස්ටැලින්ගේ නායකත්වයෙන් ශක්තිමත් ආර්ථික පදනමක් දමා තිබුණෙත් නැහැ. එහි ප්‍රතිඵලය වූයේ සෝවියට් දේශය ක්‍රමයෙන් කඩා වැටීමයි.

 

අවසානයේ දී 1991 දී සෝවියට් දේශය කඩා වැටුණා. නැගෙනහිර යුරෝපීය රටවල් බොහොමයක් ස්වාධීන රාජ්‍ය වුණා. යුක්රේනය ද ඒ අතර වුණා. මේ සියල්ලහි දී බටහිරයන්ගේ අනුග්‍රහය එකී රටවලට ලැබුණා. අද වන විට පුටින්ගේ නායකත්වයෙන් රුසියාව ශක්තිමත් වෙලා. ඒ ඊනියා සමාජවදී රටක් ලෙස නො වෙයි. නැගෙනහිර යුරෝපීය චින්තනයක් ඇති රටක් ලෙසයි. බටහිර රටවල් මේ වන විට දුර්වලයි. ඔවුන් යුක්රේනය නේටෝවට ඇතුල් කර නොගත්තේ ම දුර්වලතාව නිසයි. යුක්රේනය පිටුපස බටහිරයන් සිටින නමුත් බටහිරයන්ට රුසියාවට එරෙහි ව විවිධ සම්බාධක පැනවීම හුරෙන්න කළ හැකි දෙයක් නැහැ.

 

ලංකාව කිසි දිනෙක ඉන්දියාවේ කොටසක් ව තිබුණේ නැහැ, ඉංගිරිසින් ඒමට පෙර ඉන්දියාව කියා රටක් තිබුණේත් නැහැ. එකල ලංකාව ආක්‍රමණය කෙළේ සොළීන් චේරයන් පාණ්ඩ්‍යයන් ආදීන් මිස ඉන්දියාවක් නො වෙයි. සොළීන්ට වුවත් ලංකාව යටත් කර ගන්න බැරි වුණා. ඉංගිරිසින් 1815 දී  ගිවිසුමකින් රට පාලනය කිරීම කූට ව අතට ගැනීමට පෙර ලංකාව රටක් හැටියට කිසි විදේශයකට යටත් ව තිබුණේ නැහැ.

 

මෙරට දෙමළ ජාතිවාදය පළමුව ලන්දේසීන්ගේ (නෙදර්ලන්තයේ) හා පසුව ඉංගිරිසින්ගේ් වැඩක්. එයට පසුව වත්මන් ඉන්දියාවේ ද සහාය ලැබුණා. ඉන්දියාව දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදීන්ට යුදමය වශයෙන් හා ආරක්‍ෂාව සැපයීමෙන් ආධාර කළා. බටහිරයන් දෙමළ ත්‍රස්තවාදීන්ට ඊශ්‍රායලයේ පුහුණුව ලබා දුන්නා. ඊනියා ඩයස්පෝරාව හෙවත් දෙමළ විසුරුණු ජනයා එංගලන්තයේ නිර්මාණයක්.

 

1983 ජූලි දක්වා එංගලන්තය ජේ ආර්ටත් පක්‍ෂව හිටියා. ඒ ශ්‍රී ල නි පක්‍ෂයේ ජාතිකත්වයට විරුද්ධ ව. ඉංගිරිසින්ට අවශ්‍ය වූයේ ජේ ආර් ලවා දෙමළ ජාතිවාදයේ අවශ්‍යතා සම්පුර්ණ කිරීමට. 1980ට පෙර එංගලන්ත විදේශ අමාත්‍යාංශයේ ලංකාව ගැන වූ ලිපි අද අතුරුදන්වී ඇත්තේ කෙසේ ද? මේ පිළිබඳ ව මෙරට විදේශ අමාත්‍යාංශය සොයා බලනවා ද? කෙසේ වෙතත් එංගලන්තය දැන ගත්තා 1983න් පසු ජේ ආර්ට දෙමළ ජාතිවාදීන්ට අවශ්‍ය දේ ලබා දීමට ශක්තියක් නැති බව. ඔවුන් ඒ තීරණයට එන්න ඇත්තේ ජූලි කලබලවල දී ජේ ආර්ගේ ක්‍රියාකාරීත්වය දැක ගැනීමෙන් පසුව.

 

ඉන් පසු එංගලන්තය හා එක්සත් ජනපදත් ඉන්දියාවත් එකට එකතු වී ජේ ආර්ට දණ්ඩ නීති පනවන්න පටන් ගත්තා. ඒ දිනවල පරතසාරතී ලංකාවට ඒමත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ඉන්දියාවට ඒමත් සුලබ කරුණු වුණා. ඉන්දියාව පරිප්පු දැම්මේ බටහිරයන්ගේ අනුදැනුම ඇතුවයි. ඉන්දු ලංකා ගිවිසුම වෙනුවෙන් එංගලන්තය නෙදර්ලන්තය පින්ලන්තය ආදී යුරෝපීය රටවලුත් කැනඩාවත් එක්සත් ජනපදයත් පෙනී සිටියා. එකල පින්ලන්තය තමයි ඊනියා වාම බුද්ධිමතුන්ගේ ක්‍ෂෙම භූමිය. කුමාරි ජයවර්ධනගේ සැමියා ලාල් ජයවර්ධන මගින් කාලෝ ෆොන්සේකාටත් එහි රැකියාවක් ලැබුණා. කාලෝට පොඩි පොතක් වෙනුවෙන් ලොකු මුදලක් ලැබුණා. ඒ තමයි කාලෝගේ විශිිෂ්ටතම කෘතිය (මැග්නම් ඕපස්)  එදා පින්ලන්තයේ භූමිකාව අද ජර්මනිය හා නෙදර්ලන්තය කරනවා. 

 

එදා බටහිරයන්  ප්‍රභාකරන් පරාජය කිරීමට නොහැකි බවට රොහාන් ගුණරත්න වැනි ඊනියා යුද විශේෂඥයන් ලවා කතා කියෙවුවා. ස්ටැන්ලි තම්බයියා ලවා යුද්ධය බුදුදහමට එකඟ නැති බව කියෙවුවා. පැහැදිලි ව ම ක්‍රිස්තියානිය යුද්ධයට එකඟ වෙන්න ඕන. අද ස්ටැන්ලිලා දකින්න නැහැ. ගණනාථලාත් අලි හෙම්බිරිස්සාව නිසා ද කොහෙ ද මුකවාඩම් (මාස්ක්) බැඳගෙන. ඒ සියල්ලට ම වඩා වමාලාට යුක්රේනය ගැන කියන්න දෙයක් නැහැ. ඔවුන් ව්‍යාජ සංසන්දන කරමින් කාලය මරන්නේ ගංගා හෝ මා හෝ රාජා හෝ කියමින්.

 

2009 දී අප ලත් ජයග්‍රහණය සුළුපටු නො වෙයි. ප්‍රභාකරන් රජිව් ඝාතනය කිරීම නිසා ඉන්දියාව දෙමළ ත්‍රස්තවාදීන් ආරක්‍ෂා කරන්න ගියේ නැහැ. එහෙත් අප නන්දිකඩාල් කලපුවේ දී ජයග්‍රහණය කෙළේ බටහිරයන් දෙමළ ත්‍රස්තවාදීන් ලවා කරනු ලැබූ දුරස්ථ සටනක්. එංගලන්තය හා අනෙක් බටහිරයන් ඉන්දියාව අප ආක්‍රමණය කරන විට බලා සිටියා නොව දෙමළ ජාතිවාදීන් ලවා අප ආක්‍රමණය කෙරෙවුවා. අදත් අප ලත් ජයග්‍රහණය දිරවා ගැනීමට බැරි බටහිරයන් ජෙනීවා හි දී ඊනියා මානව අයිතිවාසිකම් කතා කියනවා.

 

යුක්‍රේනය හා ලංකාව සංසන්දනය කරන පඬි නැට්ටන් එක පැත්තකින් බුද්ධිමය දරිද්‍රතාවෙන් පෙළෙන්නන්. අනෙක් පැත්තෙන් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය වෙනුවෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි වන්නන්. කාලෝ ඔබ කොහි ද?   ඔබට සුබ ගමන් පැතූ පඬි නැට්ටන් දන්නවා ඇති.