Main Logo

Saturday 19 February 2022

නූතනත්ව වෛද්‍ය සහතිකය හා පශ්චාත්නූතනවාදියෝ

නූතනත්ව වෛද්‍ය සහතිකය හා පශ්චාත්නූතනවාදියෝ

 

මෙම ලිපිය පසුගිය ජනවාරි 23 වැනි දා හා එයට පෙර වමාලා ගැන පළ වූ ලිපි හා සම්බන්ධයි. ශ්‍රී ල නි ප ඇතිවීමෙන් පසු මෙරට පැරණි වමට යම් ආකර්ෂණයක් තිබුණා නම් එය නැති වී ගියා. පැරණි වමට එකල ඇතැමුන් ආකර්ෂණය වුණේ ඊනියා මාක්ස්වාදී විප්ලවය සාක්‍ෂාත් කර ගැනීමට නොව ජාතිකත්ව නිදහසක් දින ගැනීමට. ඇතැම් ජාතිකවාදීන් එකල එ ජා පක්‍ෂයටත් සහාය දැක්වුවා. ඒ අයට ඩී එස් සේනානායක නිදහස දිනාගත් නායකයා වුණා. ඔවුන්ට ඩොමීනියන් නිදහස හා පූර්ණ නිදහස අතර වෙනස තේරුණේ නැහැ. කොහොමටත් ඇතැම් සිංහලයන් එංගලන්ත රජුට කැමැත්තෙන් හිටියා.

 

මට මතක හැටියට 1953 එලිසබෙත් වින්ඩ්සර් ලංකාවට පැමිණි අවස්ථාවේ විශාල පිරිසක් ඇය බැලීමට ගියා. ඒ ඩොමීනියන් නිදහස ලැබී අවුරුදු පහකට පමණ පසුව. පූර්ණ නිදහස පිළිබඳ  සිංහලයන්ට තවමත් අදහසක් නැහැ. අප තවමත් ජාතික දිනය ලෙස සලකන්නේ පෙබරවාරි හතර මිස ජනරජයක් වූ මැයි විසිදෙක නොවෙයි. මෙය ඉන්දියාවේ තත්වයට වෙනස්. ඉන්දියාවේ වැදගත් දිනය එරට ජනරජ දිනය.

 

එකල භික්‍ෂූන් වහන්සේලාගෙන් අති විශාල පිරිසක් එ ජා පක්‍ෂයට සහාය දුන්නා. මා හිතන්නේ අදත් තත්වයේ විශාල වෙනසක් සිදුවෙලා නැහැ. ශ්‍රී ල නි පක්‍ෂය පිහිටුවීමෙන් පසු වමට ද සහාය දුන් ජාතිකවාදීන් ශ්‍රී ල නි ප වටා රොක් වුණා. එ ජා පක්‍ෂයට හරි වමට හරි සහාය දුන් භික්‍ෂූන් වහන්සේලා පිරිසක් ද ශ්‍රී ල නි පක්‍ෂයට ඇදී ගියා. වම ක්‍රමයෙන් නැති වෙලා ගියා. අද වමක් නැති වමාලා කිහිප දෙනෙක් සකර්බර්ග් අනාථකඳවුරේ නිර්මාලාප හා නර්මාලාප කියවනවා. එයට අමතර ව තිස්ස විතාරණ හා ඩිව් ගුණසේකර ඉන්නවා. ජනමාධ්‍ය නැත්නම් ඔවුනුත් නැහැ.

 

ශ්‍රී ල නි පක්‍ෂය කුමක් ද කියා තේරුම් ගැනීමට වමට බැරි වුණා. ඔවුන්ගේ බංකොළොත් ප්‍රවාද නැත්නම් කතන්දර අනුව ශ්‍රී ල නි ප ජාතික ධනේශ්වරයේ හරි සුළු ධනේශ්වරයේ හරි පක්‍ෂය වුණා. පිලිප් ගුණවර්ධනට පමණක් ශ්‍රී ල නි ප ගැන වෙනත් හැඟීමක් (ඊනියා කියවීමක් නො වෙයි) තිබුණා. ඔහු ශ්‍රී ල නි ප සමග එකතු වුණා. ඔහු  පුස් කෑ මාක්ස්වාදී  පොත් ගැන සඳහන් කළා. 1964 දී එන් එම්ලාත් ශ්‍රී ල නි ප සමග එකට වැඩ කරන්න පටන් ගත්තා. ඒ සමග සුපිරි මාක්ස්වාදීන් වමේ පක්‍ෂවලින් කැඩෙන්න පටන් ගත්තා.

 

එසේ කැඩී ගිය සුපිරි විප්ලවවාදීන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක් කොටසක් පැරණි වම අනුගමනය කරමින් දේශපාලන පක්‍ෂ පිහිටුවා ඊනියා විප්ලවය සාක්‍ෂාත් කර ගැනීම සඳහා පංතිය සංවිධානය කරන්න උත්සාහ ගත්තා. ඒත් ඒ පංතිය පාසලේ පංතියකවත් දැක ගන්න බැහැ. අනෙක් කොටස විරෝධය කණ්ඩායම අනුගමනය කරමින් විරෝධය දක්වන්න පටන් ගත්තා. අද වන විට නව සමසමාජ පක්‍ෂය ඉතිහාසයට එක් වෙලා. ජ  වි පෙ විප්ලවය කරලා හතිවැටිලා. හති ඇරගන්න ගමට යන්න හැදුවා. ඒත් මහරගමින් එහාට යන්න බැරි වුණා. මහරගම ගමක් ද කියා මගෙන් අහන්න එපා.

 

විරෝධය කණ්ඩායම හා එහි අනුප්‍රාප්තිකයන් කම්කරු මාවත විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය සමානත්ව පක්‍ෂය ආදී නම්වලින් පෙනී හිටියා. පක්‍ෂ කිවුවට ඒවා පක්‍ෂ නොවෙයි. නර්මාලාප සමිති.  අඩු තරමින් කම්කරුවන්වත් දැන හිටියෙ නෑ ඒ පක්‍ෂ ගැන. ඒත් මේ අය විද්‍යාඥයන්. අර ජනමාධ්‍යවේදීන් වගේ ම විිද්‍යාඥයන්. ඔවුන් විද්‍යාත්මක විධික්‍රමයක් ගැන කියවනවා. අදත් මා අහගෙන හිටියා එක් ජනමාධ්‍යවේදීයකු වෙනත් රටවල් අඟහරු ලොවට යද්දී අප මිථ්‍යා මතවල ගිලී සිටින බව කාටත් ඇහෙන්න කියනවා. අද අපට විද්‍යාව බඩ යනවා. එක් අයකු මට කිවුවා රසායනික පොහොර නැතිව ගොවිතැන් කරන්න බැහැ කියා. මා අහගෙන තවත් අයකු කියනවා සුවඳැල් වී යුරියා නැතුව වැවෙන්නෙ නැහැ කියා. ඔහුගේ සීයලා මෙලොව අත්හැර ගිහින් වෙන්න ඕන. සීයලා සුවඳැල්වලට යුරියා යෙදූ බවක් මා අහලා නැහැ.

 

අද පොළොව නිසරු වෙලා. එයට හේතුව රසායනික පොහොර භාවිතය. පොළොව සරු කිරීමට හැකි ගැඩවිල්ලන් ආදීන් මරා දාලා. ඔය රසායනික පොහොරවලට තමයි බීජ නිපදවන්නේ. ඒ ඒ බීජවලට ඒ ඒ පොහොර. අප වෙනත් බීජ බෙදා හරින්න ඕන. ඒ වගේ ම පොළොව හදා ගන්නත් ඕන. එයට කන්න තුනක් පමණ යාවි. ජනාධිපතිතුමා ඒ සම්බන්ධ දැනුමක් ඇති අය මුණ ගැසෙනවා කියා මා හිතන්නෙ නැහැ. සංඝයා වහන්සේ හමුවීම හොඳයි. ඒ අතර ගොවියන් ද වෙදමහතුන් ද හමුවෙන්න ඕන. සඟ වෙද ගුරු ගොවි කවුරුත් හමු වුණා නම් හොඳයි. එහෙත් ජෝසෆ් ස්ටැලින්ලා මහින්ද ජයසිංහලා ආදීන්වත් බටහිර වෙද මහතුන්වත් නො වෙයි.

 

අද අප මුහුණ දී ඇති ප්‍රශ්නවලට බටහිර දැනුමත් එහි ආධිපත්‍යයත් වග කියන්න ඕන. මා දන්නා විද්‍යාවක්වත් විද්‍යාත්මක විධික්‍රමයක්වත් නැහැ. ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදියකු හරි මාක්ස්වාදියකු හරි නූතනවාදියකු හරි පශ්චාත්නූතනවාදියකු හරි පශ්චාත්මාක්ස්වාදියකු හරි මට විද්‍යාත්මක විධික්‍රමය කියලා දෙනවා ද? අප්‍රේල් මාසෙන් පසු පොදු ස්ථානවලට යෑමට බටහිර වෛද්‍ය සහතිකයක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා ආයුර්වේද හරි පාරම්පරික හරි වෛද්‍ය සහතිකයකුත් පිළිගන්න බැරි ද? බටහිර වෙදකම එක ම වෙදකම ද?

 

එ කොහොම වෙතත් විරෝධයේ අනුප්‍රාප්තිකයන් හිතන්නෙ මාක්ස්වාදය විද්‍යාත්මක කියාත් විද්‍යාව ක්‍රමයෙන් සත්‍යය සොයා ගන්නා බවත්. ඉතින් මාක්ස්වාදය සත්‍යය සොයා ගෙන වෙන්න ඇති. මගේ අඥාන කමට (අඤ්ඤා කොණ්ඩඤ්ඤ යන්නෙහි අඤ්ඤා යන්න පරිදි නොව) අවුරුදු හතළිහකටත් පෙර මාක්ස්වාදය විද්‍යාත්මක නොවන බව මට වැටහුණා. ඊට කලකට පසු බටහිර විද්‍යාව ම පට්ටපල් බොරුවක් බව වැටහුණා. උගත් ජනමාධ්‍යවේදීන්ට අනුව මා මිථ්‍යා මතධාරියෙක්.

 

 

විරෝධයේ අනුප්‍රාප්තිකයන්ගෙන් සමහරුන්ට ජාතිකමතවාද පරාජය කිරීමටත් අවශ්‍ය වුණා. මාක්ස්වාදය එයට ප්‍රමාණවත් නොවන බවත් ඔවුන් තේරුම් ගත්තා. ඒ කාලෙ තමයි මා හිතන විධියට රොහාන් කියා තැනැත්තෙක් පශ්චාත්නූතනවාදී අදහස් ලංකාවට හඳුන්වා දුන්නෙ. ඔහුත් උගතෙක් වෙන්න ඇති. දහනවවැනි සියවසේ අග සිට අද දක්වා උගතුන් කර ඇත්තේ කරන්නේ බටහිර යම් අදහසක් තමන්ට තේරෙන ආකාරයට ලංකාවට හඳුන්වා දීමයි. අද වන විට රොහාන් ගැන ආරංචියක් නැහැ. පශ්චාත්නූතනවාදීන් ආපසු නූතනත්වයට ගිහින්. නැහැ බරකරත්තයෙන් නො වෙයි. මාතොටින් නැවු නැග්ග ද දන්නෙ නැහැ.