Main Logo

Wednesday 19 October 2022

රනිල් සමග යහමගට

 

රනිල් සමග යහමගට

 

මහින්ද රාජපක්‍ෂ කියා තිබුණා රනිල් යහමගට ඇවිත් කියා. රනිල්ගේ ක්‍රියා පටිපාටියෙන් නම් ඔහු යහමගකට ඇවිත් කියා පේන්නෙ නැහැ. ඔහු තවමත් සුපුරුදු රනිල්. ඔහුට කිසිම ජාතිකත්වයක් නැහැ. ඔහු ඊනියා යහපාලනය ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තුවන බව පැහැදිලියි.

 

ඇතැමුන් හිතන්නේ ඔහු රාජපක්‍ෂලා ගලවා ගන්න පැමිණියා කියා. රනිල් හා මහින්ද අතර මිත්‍රත්වයක් ඇති. එහෙත් රනිල්ට රාජපක්‍ෂලා ගලවා ගැනීමට ඇති අවශ්‍යතාව කුමක් ද? අනෙක් අතට රාජපක්‍ෂලාටත් රනිල් බලයේ තබා ගැනීමට අවශ්‍යතාවක් නැහැ. දෙගොල්ල ම යටත් යටත් සංධානයක් ගොඩ නගාගෙන අනාගත බලාපොරොත්තු ඇතුව.

 

රාජපක්‍ෂලා කිවුවත් මෙහි දී ප්‍රධාන වන්නේ මහින්ද රාජපක්‍ෂ. ඔහු වියපත්. ඉන් මා අදහස් කරන්නේ ඔහු වයසින් වැඩිය කියන එක නොවෙයි. ජේ ආර් එයට වැඩි වයසක් ගතවන තුරුත් දේශපාලනයෙහි යෙදී සිටියා. මහින්ද දේශපාලන වශයෙන් වියපත් වෙලා. අද ඔහුගේත් ඔහුට වඩා ශිරන්ති රාජපක්‍ෂගේත් අපේක්‍ෂාව නාමල්ට රට භාරදීම. ඔවුන්ට අනුව රනිල්ගේ කාර්යභාරය නාමල් පරිණත වන තුරු ආණ්ඩුව කරගෙන යෑමයි. එහෙත් නාමල් පරිණත වේය කියා හිතන්න බැහැ.

 

රනිල්ට පාර්ලිමේන්තුවේ ඉන්නේ මන්ත්‍රීවරු කිහිප දෙනයි. ඒ අර වජිර අබේවර්ධනට අමතර ව විජයදාස හා රනිල්දාස. රනිල්දාස ආණ්ඩු පක්‍ෂයේ නොවෙයි. ඒ කිහිප දෙනා එක්ක රනිල්ට ආණ්ඩුවක් ගෙන යන්න බැහැ. ඔහු දෙමළ ජාතික සංධානයත් මුස්ලිම් මන්ත්‍රීවරුනුත් 43 සේනාංකයත් එකතු කර ගත්තත් ආණ්ඩුවක් පිහිටුවන්න බැහැ. පොහොට්ටුවේ ඇමතිවරු හා ඇමතිවරු නොවන කිහිප දෙනකුත් එ ජා පක්‍ෂයට යන්න අකමැති නැහැ. එහෙත් තවම පොහොට්ටුවට බලයක් තියෙන නිසා ඔවුන් දැන්ම යන්නෙ නැහැ.

 

රනිල්ට පොහොට්ටුවට යටත් වෙන්න වෙලා. අනෙක් පැත්තෙන් පොහොට්ටුවට රනිල්ට යටත්වෙන්න වෙලා. විසි දෙවැනි සංශෝධනය තවම පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට තරම් ශක්තියක් රනිල්ට නැහැ. විජයදාස මොන කතා කිවුවත් තුනෙන් දෙකේ බහුතරය හොයා ගන්න බැහැ.

 

රනිල් ආර්ථික අර්බුදය හමුවේ රට භාරගත්තේ තමන්ට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන සම්මත කර ගෙන සිංහල විරෝධී බටහිර ගැති දේශපාලනය ඉදිරියට ගෙන යෑමටයි. ගෝඨාභය රාජපක්‍ෂ එක් එක් අයට කතා කරද්දී ඒ කිසිවකු විවිධ හේතු දක්වමින් මගහැරියේ අර්බුදයේ බරපතළ කම ඔවුන් දත් නිසයි. වජිර නම් කියාවි ඊනියා ජාත්‍යන්තරය බලා සිටිනවා කියා රනිල්ට ආධාර දෙන්න. ඔවුන් ණයක් දෙන්නවත් ඉදිරිපත් වන්නේ නැහැ.

 

ආර්ථික අර්බුදය විසඳන්නෙ නැතුව ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට රනිල් උත්සාහ කරන්නේ ඊනියා ජාත්‍යන්තරය දේශපාලන ස්ථාවරත්වයක් අපේක්‍ෂා කරන බව කියමින්. සංශෝධනවලින් ඇතිවන දේශපාලන ස්ථාවරත්වය මොකක් ද කියා කියන්න පුළුවන් ද?

 

ජන සභා ජාතික සභා අර සභා මේ සභා ආදියෙන් ආර්ථික අර්බුදය විසඳන්න බැහැ. අපට අවශ්‍ය ආහාර, ඖෂධ, බලශක්ති ලබා දෙන්නේ කොහොම ද? වගාව අවශ්‍ය බව බොහෝ කලක සිට කිවුවත් දැන් තමයි ආණ්ඩුව ඒ ගැන කටයුතු කරන්න පටන් අරන් තියෙන්නෙ. ඒත් ඔය ආහාර සුරක්‍ෂිතතාව වගේ වචන ඊනියා උගතුන්ට හොඳයි. ඉස්සර තිබුණා වවන්නෝ දිනන්නෝ වගේ පාඨ. ඒ කොහොම වුණත් වතු වගාව වගේ ම තරමක් විශාල වශයෙන් ද කෙරෙන වගා ද තියෙන්න ඕන.  ගොවි සමාජ පිහිටුවා ඒවට රජයේ ඉඩම් බෙදා දෙන්න පුළුවන්. ඔය කියන රසායනික පොහොර එයට අවශ්‍ය වෙන්නෙ නැහැ. පාරම්පරික ගොවිකම දන්න අය මෙරට ඕනෑ තරම් ඉන්නවා. ඊනියා කෘෂි විද්‍යාඥයන්ගෙන් නොව ඒ අයගෙන් උපදෙස් ගන්න ඕන.

 

ඖෂධ වගා කෙරෙන්න ඕන. දේශීය වෛද්‍ය විද්‍යාවට ආධාර කරන්න ඕන. අද දේශීය වෙදකමටත් ඉන්දියාවෙන් බෙහෙත් බඩු ගෙන්නන්න වෙලා. අවුරුදු හැත්තෑපහක් අපේ දැනුමට අපහාස උපහාස කිරීමේ විපාකය අද ගෙවන්න වෙලා. බලශක්තිය ගැන පුනර්ජීවනීය කතා කිවුවත් ඒවා වචනවලට සීමාවෙලා. පුනර්ජීවනීය කියන එකට වෙන වචනයක් නැද්ද? අර යළි උපන් නම් එපා. බලශක්තිය අඩුවෙන් යොදා ගන්න හැඩ ගැහෙන්න ඕන. සල්ලහුක වෘතය කරණිය මෙත්ත සූත්‍රයට පමණ ද?

 

රනිල් උපදෙස් ගන්න පත් කරගෙන ඉන්නෙ කාවද? සොල්හයිම්, වික්ටර් අයිවන් වැන්නන්. ඔවුන්ගේ මූලික ප්‍රතිපත්තිය කුමක් ද? ප්‍රමිතිකරණය කියන්නෙ මොකක් ද කියල දන්නෙ නැතුව ප්‍රමිතිකරණයට විරුද්ධ වීම අපට අමතක වෙන්නෙ නැහැ. රනිල්ගෙ මාධ්‍ය කටයුතු කරන්නා 43න් අස්වෙලා ද? මා කියන්නෙ 43, 42 වෙලා කියන එක නොවෙයි.

 

රනිල්ට තියෙන්නෙ වෙන දේශපාලනයක්. ඔහුට අවශ්‍ය බොර දියේ මාළු බාන්න. අද අවශ්‍ය ජාතිකත්වයක් ඇති නායකයකු මිස සොල්හයිම්ගෙන් උපදෙස් ගන්න නායකයකු නො වෙයි. රනිල් යහමගකට ඇවිත් නෑහැ. නාමල් රාජපක්‍ෂට ජාතිකත්වයක් ඇත්තෙත් නැහැ.