Main Logo

Friday 14 October 2022

මගේ ලෝකය

 

මගේ ලෝකය

 

අපේ තාත්තා ලිපියට ප්රතිචාර දැක්වීමට ඉඩ දෙන ලෙස කිහිප දෙනකු ඉල්ලා සිටියා. එයට ඉඩ දුන්නා. එහෙත් හයදෙනකු පමණයි ප්රතිචාර දක්වා ඇත්තේ. ඒ අපේ හැටි.
මා මේ ලිපි ලියන්නේ කිසිවකු දැනුවත් කිරීමට නොවෙයි. මා දන්නා ඉටිගෙඩියක් නැහැ. මා ආගිය තොරතුරු ලියන්නේත් පොතක් වශයෙන් පළ කිරීමට නො වෙයි. මට ම කරුණු ටිකක් මතක් කර ගැනීමටයි. මා දක්ෂ ලේඛකයකුත් නො වෙයි. ඒ බව මා දන්නවා.

මට සකර්බර්ග් පිටුවක් සකස් කර දී ඇති බැවින් මා එහි ලිපි පළකරනවා. මා ලිපි පළකරන්නේ කාලය වෙබ් අඩවියේ පුරුද්දට. දැක්ම යනුවෙන් වසර කිහිපයකට පෙර පොතක් පළ කිරීමෙන් පසු මා පොත් පළ කිරීම නැවැත්තුවා. යමකු සිතනවා නම් ඒ පොත් නැවත පළ කළ යුතු ය කියා එසේ කරන්න පුළුවන්. මා නඩු දාන්නේවත් කතෘභාග ඉල්ලන්නේවත් නැහැ. ඇතැමුන් කියන්න පුළුවන් මා මුදල් දුන්නත් නැවත පළ කරන්නේ නැහැ කියා.

මට මගේ අදහස් ප්රචාරය කිරීමේ අවශ්යතාවක් නැහැ. මා මේ ලිපිවලට කිසිවකු එකතු කරන්නේ (ටැග්) නැහැ. මා එකතු කරගෙන පළ කරන ලිපි මගේ ගිනුමේ පළවන්නේත් නැහැ. එබැවින් තම ලිපිවලට මා එකතු කර ගැනීමෙන් පලක් වන්නේත් නැහැ.

මට හිතට නොයෙකුත් අදහස් එනවා. ඒවා නිරවුල් කර ගැනීමට මට අවශ්යයයි. මා ලියන්නේ එබැවින්. මා අවුරුදු හතළිහක් පමණ ලියා තියෙනවා. මා හිතන්නේ නැහැ ඉන් සතපහක වැඩක් වෙලා තියෙනවා කියා. සතපහක වැඩක් වුණා නම් අද මේරට මේ තත්වයේ තියෙන්න විධියක් නැහැ. බොහෝ උගතුන් දැන හිටියේ ආපසු අනුරාධපුරයට බරකරත්තයෙන් යාමක් ගැන කීමටයි නාථ දේව "මිථ්යාව" හාස්යයට ලක් කරන්නයි පමණයි. බටහිර විිද්යාව පට්ටපල් බොරු කියන්නේ ඇයි දැයි ඔවුන්ට තේරෙන්නේ නැහැ. ඒ ඔවුන් බුදුදහමට අනුව සියල්ල බොරු බව දන්නේ නැති බැවින්.
කලකට පෙර ජාතික අධ්යයන ආයතනයක් පිහිටුවීමට මට අදහසක් තිබුණා. ඒ මහරගම ආයතනය වගේ නො වෙයි. ජාතිකත්වය පැත්තෙන් කරුණු එකතු කිරීමට හා කතන්දර ගෙතීමට. කරුණු එකතු කිරීම නම් මට කොහෙත් ම බැහැ. මා හිතුවේ ආණ්ඩුවෙන් ආයතනයක් පිහිටුවා කිහිප දෙනකු බන්දවා ගෙන ආයතනය පවත්වාගෙන යන්න. එහෙත් කිසිම ආණ්ඩුවක් ඒ ගැන සැලකිල්ලක් දැක්වූයේ නැහැ.

විශේෂයෙන් ම භික්ෂූන් වහන්සේලාගේ අධ්යාපනය ගැන මා සැලකිලිමත් වුණා. අප අවුරුදු ගණනාවක් කිසිම දැනුමක් සංස්කරණය කර නැහැ. අප ඒ ඒ සිද්ධියට කතා හදනවා. එහෙත් ඒ සිද්ධි අතර සම්බන්ධය අප හිතන්නේ නැහැ. අපට හිතන්න බැහැ. පාණදුරේට නම හැදුනේ ගෝනගල නිසා ද? මා දන්නා තරමින් මගේ ලෝකය කියෙවුවේ භික්ෂූන් වහන්සේ දෙනමක් පමණයි. ඒ දෙනමත් පසුව උපැවිදි වුණා.

ඇතැමුන්ගේ අදහස අනුව මගේ ලෝකය සම්මත බුදුදහමට විරුද්ධයි. එහි ඇති බුදුදහම බොහෝ දෙනකුට රුචි නැහැ. මා කියන බුදුදහමට බොහෝ දෙනා අකමැතියි. ලන්ඩනයේ පළවන ලංකාවෙබ් අඩවියවත් පාණදුරේ වැකඩ පළකෙරෙන වෙසක් හඬ සඟරාවවත් මගේ ලිපි කලක සිට පළකරන්නේ නැහැ. මා ලන්ඩනයෙන් මෙන් ම වෑකඩිනුත් පන්නලා!