Main Logo

Saturday 29 October 2022

නූරිගෙ කතාවට විවරණයක්

 නූරිගෙ කතාවට විවරණයක්

 

මා කලින් පළ කළ ලිපිය නූරි විට්ටච්චිගේ. ඔහුට ලංකාවට ඇති සම්බන්ධය ඒ ලිපියේ සඳහන් කර ඇති. එහි සඳහන් අන්දමට ඇස්පෙ සහ තවත් අය හොං කොං ගිහින්. කොහොම නමුත් ඔහුට ඇස්පෙලාගේ පරීක්‍ෂණය පිළිබඳ උනන්දුවක් ඇති වෙලා. එහෙත් ලංකාවෙ කී දෙනකුට ඒ පිළිබඳ උනන්දුවක් ඇති වුණා ද කියා මා දන්නේ නැහැ.

 

මෙරට බහුතරය බෞද්ධ වුණත් බුදුදහම දන්නේ නැහැ. අපේ ප්‍රශ්නවලට ප්‍රධාන හේතුවක් වන්නේ ඒ නොදැනීමයි. බෞද්ධයන් කී දෙනකු දිනකට යථාර්ථය යන වචනය කියනවා ද? අප ථෙරවාදීන් ලෙස උදම් අනනවා. එහෙත් බුදුදහමට අනුව අපේ දැනුම් මායාවන් පමණයි. අපට ඒ ගැන වගේ වගක් නැහැ. මා මායාව අවුරුදු තිස්හයකට පෙර මගේ ලෝකයේ සඳහන් කළා. එහි දී මා ඇස්පෙගෙ පරීක්‍ෂණය ගැනත් සඳහන් කළා. මා ඊනියා යථාර්ථයක් නැති බව දැනගත්තේ ඇස්පෙ නිසා නො වෙයි. ඇස්පෙලා අප කියන දේට පැමිණෙමින් සිටිනවා.  අඩු තරමෙන් නූරි විට්ටච්චි පෙරදිග දැනුමක් ගැන කියනවා.

 

අපේ ථෙරවාදයේ තරම කෙබඳුද කියනවා නම් එකල මගේ ලෝකය මහායාන පොතක් ලෙස හඳුන්වනු ලැබුවා. සමහරු එසේ කෙළේ දේශපාලන අරමුණු ඇතුව.  එහෙත් ඇතැමූන් එය දැක්කේ විඥානවාදී කෘතියක් ලෙස. මට මගේ ලෝකය මුද්‍රණය කර ගැනීම සඳහා ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලයෙන් උපකාරයක් අවශ්‍ය වුණා. එකල විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලැබුණේ සොච්චම් වැටුපක්. ඊට අවුරුදු හයකට පමණ පසුවයි වැටුප් වැඩිවුණේ. ඒත් ඒ වැටුපවත් මට නොලැබෙන බවට ජී එල් පීරිස්, ඩබ්ලිව් ඩී ලක්‍ෂමන්, පී ඩබ් ඈපාසිංහ, වී කේ සමරනායක වැනි විද්‍යාර්ථීන් වග බලා ගත්තා. ඔවුන් සියලු දෙනා ම සිංහල ථෙරවාදී බෞද්ධයන්. එකල කොළඹ විශ්වවිද්‍යාලයේ සිටි ඊනියා වාමාංශික ජ්‍යෙෂ්ඨ ඇදුරන් ද එක් අයකු හැරෙන්නට ජී එල්ලාගේ පැත්ත ගත්තා. වෙනස් වූයේ පියසීලි විජේගුණසිංහ පමණයි.

 

මගේ ලෝකයට ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලයෙන් ආධාර මුදලක් දීමට එය බාහිර පුද්ගලයකු විසින් නිරදේශ කෙරෙන්න තිබුණා. පොත යැවුවේ බෞද්ධ දර්ශනය පිළිබඳ විශාරදයකු වූ වයි කරුණාදාසට. ඔහු ඉතා කාරුණික ව පොත නිර්දේශ කෙළේ නැහැ. එහෙත් පසුව වෙනත් අයකු පොත නිර්දේශ කර තිබුණා. ඒ අනුව පොත මුද්‍රණය කෙරුණා. එහෙත් කිසිම භික්‍ෂූන් වහන්සේ නමක් හරි ගිහි බෞද්ධ පඬිවරයකු හරි පොත ගැන වචනයක් කිවුවේ නැහැ. ජාතික ව්‍යාපාරයට පොත වැදගත් වුණේ නැහැ.

 

පොත ගැන ඊනියා විචාරයක් පළ කෙළේ සුවාදීන ශිෂ්‍ය සංගමයේ අයකු. ඔහුට මෙලෝ දෙයක් තේරිලා නැහැ. මනස ගෑන කී පමණින් පරල වෙන ඊනියා භෞතිකවාදීන්ට මගේ ලෝකය විඥානවාදීවත් භෞතිකවාදීවත් නොවන බව මේ කපේ තේරුම් ගන්න බැහැ. ඒ ඊනියා විචාරයත් එයට පිළිතුරකුත් මගේ ලෝකයේ දෙවැනි මුද්‍රණයට එකතු කළා. පසු මුද්‍රණවලින් එය ඉවත් කළා. හිස් විචාරයක් පළ කර පොතේ මුද්‍රණ වියදම වැඩි කරගන්න වුවමනාවක් තිබුණේ නැහැ.

 

ඒ කෙසේ වෙතත් ඉන් පසුව කිසිම විචාරයක් පළ වුණේ නැහැ. එහෙත් සුමේධ වීරවර්ධන තම පරීක්‍ෂණයක් සඳහා ඒ පොත ගැන රචනයක් කළා. එය මූද්‍රණය වී තියෙනවා. අද වන විට මගේ අදහස් තවත් වර්ධනය වී ඇතැම් ලිපිවල පළ කෙරී තියෙනවා. බටහිරයන් හා බටහිරයන්ට අවශ්‍ය විධියට බුදුදහම කියා දෙන්නන්ට අපෙන් බාහිර ලෝකයක් පවතිනවා. අප එය අවබෝධ කර ගන්න කරන උත්සාහයේ ප්‍රතිඵල ද දැනුම වෙනවා.

 

මෙය හුදෙක් පංචෙන්ද්‍රිය ගෝචර ලෝකයක් පිළිබඳ කතාව. ඒ ක්වොන්ටම් භෞතිකයට පෙර බටහිර කතාව. පංචෙන්ද්‍රිය ගෝචර  ලෝකයක් පමණක් නොවෙයි අපට විෂය වන්නේ. මේ එක ලෝකයක්වත් අපෙන් තොරව පවතින දේ නොවෙයි. ඒ සියල්ල අපේ නිර්මාණ. එහෙත් ඉන් කියන්නේ ඒ සියල්ල අපේ මනසේ පවතින දේ නො වෙයි. අප මනසින් ඇතැම් විට පංචෙන්ද්‍ර්‍රියන්ගේ ආධාරයෙන් ලෝක සංස්කරණය කර ගන්නවා. පවතින ඊනියා යථාර්ථයක් නැහැ. යථාභූත කියන්නෙ යථාර්ථයකට නො වෙයි.

 

පංචෙන්ද්‍රිය ද ආධාරයෙන් සංස්කරණය කෙරෙන ලෝකය සඳහා තමයි නිවුටන් ඇරිස්ටෝටල් අයින්ස්ටයින් ආදීන් ඉන්නෙ. ඊනියා භෞතිකවාදීන්ටත් විෂය වන්නේ ඒ ලෝකය පමණයි. එහෙත් තවත් ලෝක සංස්කරණය කර ගන්න පුළුවන්. ආධ්‍යාත්මික ශක්තියක් ඇති අය එලෙස වෙනත් ලෝක සංස්කරණය කර ගන්නවා. අපට  ආධ්‍යාත්මික ශක්තිය නැති නිසා අප ඒ ප්‍රතික්‍ෂෙප කරණවා.  මටත් ආධ්‍යාත්මික ශක්තියක් නැහැ. එහෙත් මා ඒ ශක්තිය ඇති අයගෙන් දැනුමක් සංස්කරණය කර ගන්නවා. ආසනික් එවැනි දැනුමක්. ඒ අවස්ථාවේ සියලු පඬියන් පඬි නැට්ටන් මාධ්‍ය මට විරුද්ධව නැගී සිට්යා. මා ඔවුන් කිසිවකු තුට්ටුවකට මායිම් කෙළේ නැහැ, කරන්නේ නැහැ. මා දන්නවා ඔවුන්ගේ තරම.

 

ක්වොන්ටම් භෞතිකයේ නිරීක්‍ෂණ ඇරිස්ටෝටලීය කතාවලින් පහැදිලි කර ගන්න බැහැ. එක විට දෙතැනක ඇති අංශු නිවුටන්ට අදාළ නැහැ. මෙරට පඬි නැට්ටන්ට තවමත් අදාළ නැහැ. බුදදහම මත පිහිටා අපට ඒ සඳහා වෙන ම න්‍යායක් සත්භාවයක් තනා ගන්න පුළුවන්. චතුස්කෝටික න්‍යාය අපට එහි දී ආධාර වෙනවා. ක්වොන්ටම් භෞතිකයට වෙනත් සත්භාවයක් (ontology) යනුවෙන් මා ලියූ  පත්‍රිකාවක් ද ඇති. කිසිවකු කියන්න පුළුවන් චතුස්කෝටිකය බෞද්ධ න්‍යායක් නො වෙයි කියලා. බෞද්ධ න්‍යායක් තියා බෞද්ධ දර්ශනයක්වත් නැහැ. චතුස්කෝටිකය අපේ සමහර නිරීක්‍ෂණ සඳහා යොදා ගැනෙන්නක් පමණයි. එහි ද්විකෝටිකය ද අඩංගු බව පඬි නැට්ටන්ට නම් වැටහෙන්නේ නැහැ.

 

කාලාම සූත්‍රයෙහි බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ පොතක පතක තිබූ පමණින් පිළිගන්න එපා කියා පමණක් නොවෙයි. න්‍යායානුකුල වූ පමණින් තර්කානුකූල වූ පමණින්වත් පිළිගන්න එපා කියා කාලාමයනට දේශනා කර තියෙනවා. වත්මන් කාලාමයන් කාලාම සූත්‍රය කියවන්නේ බාගෙට. චතුස්කෝටික න්‍යාය සමග එකඟ වූ පමණිනුත් පිළිගන්න අවශ්‍ය නැහැ. දැනුම කියන්නෙ අප සංස්කරණය කර ගන්නා දෙයක්. එය ඒ ඒ සංස්කෘතියට සාපේක්‍ෂයි. පඬි නැට්ටන් හැම සංස්කෘතියක් ගැන ම කියවනවා. ඒත් සිංහල බෞද්ධ සංස්කෘතිය දන්නෙ නැහැ. සංස්කෘතිය අහඹුවක් යැයි කියන අයත් ඉන්නවා. හේතුඵලවාදීන්ට අහඹු නැහැ. අහඹුත් නැහැ බඹුත් නැහැ. ආරම්භයක් වූ බඹා අහඹුවක් ලෙස තමයි ගන්න වෙන්නෙ. එවිට බඹා ඉන්නවා. බඹා කොටනවා.

 

අප නිරීක්‍ෂණ තේරුම් කිරීමට හිතළු ගොතනවා. ඒ හිතළු වැඩ කරනවා නම් අපි ඒ දැනුම ලෙස ගන්නවා. මෙහි දී කියන්න ඕන නිරීක්‍ෂණ ද පවත්නා දැනුමට සාපේක්‍ෂ බව. මෙය චක්‍රයක්. ආරම්භයක් නැති චක්‍රයක්. ආරම්භය ගැන කියන බටහිර රේඛීය චින්තනයට තමයි හේතු අවශ්‍ය වෙන්නෙ. හේතුඵලවාදය කියන්නෙ ඊනියා හේතුවාදය නො වෙයි. හේතුඵලවාදය චක්‍රීයයි. ආරම්භයට හේතු නැති වුණා ම එය අහඹුවක් කියනවා. අහඹුවලටත් හේතු තියෙනවා. කලින් නොතිබූ කිසිවක් ඇති වූ විට එය අහඹුවක් වන්නේ නැහැ.  අහඹු අවශ්‍ය වන්නේ ඇරිස්ට හා රේඛීය චින්තනයට.

 

නිවැරදි කියා දැනුමක් නැහැ. අදාළ ක්‍ෂෙත්‍රයේ සංගත ව වැඩ කරන හිතළු තමයි දැනුම. මගේ කතාව අනුව සම්‍යක් කියන්නේ නිවැරදි කියන එක නො නොවෙයි. නිවනට මග සම්‍යක් මග. නිවන  නාම පදයක් ලෙස ගැනීම නිසා නිවනත් අවුල් වෙලා. නාම පදයක් අවශ්‍ය වන්නේ පුද්ගලයකුට සත්වයකුට දෙයකට තැනකට. නිවන ඒ එකක්වත් නො වෙයි. නිවීම එහෙමත් නැත්නම් තණ්හාව නැති කිරීම තමයි කෙරෙන්න ඕන. නිවෙන්න මගක් තියෙනවා. අපි ඒ මගේ යමු. නිවෙන විට කිසිම දැනුමක් තියා ගන්නෙ නැහැ. සියල්ල මා මගේ කියන දැනුම ද අත්හරිනවා. එවිට මගේ ලෝකයක් නැහැ. යළි ඉපදීම නතර කරන්න ඕන. එය ක්‍රියාවක්.

 

ඇස්පෙ හා නූරි සඳහන් කරන්නෙ ඇරිස් හා නිවුටන්ට තේරුම් කරන්න බැරි දේ. මෙරට බෞද්ධයන්ට මේ එකකින්වත් වැඩක් නැහැ.  ජාතිකවාදීන්ටත් වැඩක් නැහැ. භික්‍ෂූන් වහන්සේටත් වැඩක් නැහැ. 

පසු වදනක්


මට චන්න ජයසුමන මතක් කළා විදුසර විසිවැනි සංවත්සරය වෙනුවෙන් තම සංස්කරණයෙන් අතිරේකයක් පළ කළ බවත්. මතක් කිරීම ගැන පින්!