Main Logo

Monday 31 October 2022

සුනක් හා මෙරට දෙමළ දේශපාලනඥයන්

 සුනක් හා මෙරට දෙමළ දේශපාලනඥයන්

 

රිෂි සුනක් ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතියට අවශෝෂණය වෙලා විතරක් නො වෙයි ඔහු ඒ සංස්කෘතියෙ විශේෂත්වය (එංගලන්තෙ ආධිපත්‍යය) පිළිගන්නවා. ඔහු දීවාලියට පහන් පත්තු කළ නිසාවත් පුන නූලක් කරේ දාගෙන භගවත් ගීතාවෙ අත තියාගෙන දිවුරුම් දුන්න නිසාවත්  ඉංගිරිසි ක්‍රිස්තියානි ආධිපත්‍යයට අබමල් රේණුවක අභියෝගයක් වෙන්නෙ නැහැ. ඒ බව ඕනෑම ඉංගිරිසි ජාතිකයෙක් දන්නවා.

 

අපි කියමු සුනක්ට පුළුවන් නම් ලබන අවුරුද්දෙ දීපවාලි දිනය එංගලන්තයේ, බිරිතානියෙ, එක්සත් රාජධානියෙ නිවාඩු දිනයක් කරන්න කියල. ඊනියා ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් කරල තියෙන වෙසක් දිනය නිවාඩු  දිනයක් කරන්න කියල. නබි නායකතුමාගෙ උපන් දිනය නිවාඩු දිනයක් කරන්න කියල. ඒ වෙන එහෙකටවත් නොවෙයි සිංහල බෞද්ධ ජාතිවාදයක් තියෙනව කියන මේ රටේ ඒ දින විතරක් නො වෙයි නත්තල, පාස්කු මේ ඔක්කොමත් නිවාඩු දින නිසා.

 

කවුරු හරි අහාවි ඉන්දියන් ජාතිකයකුට එංගලන්තයෙ අගමැති වෙන්න පුළුවන් වුණත් ලංකාවෙ දෙමළ දේශපාලනඥයකුට ජනාධිපති වෙන්න පුළුවන් ද කියල. එකක් මතක තියා ගන්න ඕන. සුනක් ඉන්දීය ජාතිකයකු නො වෙයි. ඔහුට ද්විත්ව රටවැසිකමක් නැහැ. ඔහු මුළුමනින් ම බිරිතානියෙක්. ඔහු ඉන්දීය ධජය තම ධජය ලෙස යොදා ගන්නෙ නැහැ. ඔහුට ප්‍රශ්නයක් වුණොත් ඉන්දියාවට දුවන්නෙ නැහැ. ඔහුගෙ භාර්යාව නම් තවම ඉන්දීය රටවැසිකම අත්හැරල නැහැ. ඒ බදු ප්‍රශ්න නිසා මිස වෙනත් හේතුවක් නිසා නො වෙයි.

 

ඒ විතරක් නොවෙයි. ඔහු ඉන්දීයයන් වෙනුවෙන් වෙන ම එංගලන්ත ඉතිහාසයක් නිර්මාණය කරන්නෙ නැහැ. ඔහු කියන්නෙ නැහැ ඉන්දීයයන් එංගලන්තෙට ආවෙ නෝමන් ආක්‍රමණයට කලින් කියල. හේස්ටිංග්ස් සටන පස්සෙ ගොතපු එකක් කියල ඔහු කියන්නෙ නැහැ. හේස්ටිංග්ස් කියන්නෙ හස්තිනාපුර ඉංගිරිසියට හැරවුණු විධිය කියල කියන්නෙත් නැහැ. එහෙම කිවුවොත් බලා ගන්න පුළුවන් කොන්සර්වෙටිව් පක්‍ෂය මොක ද කරන්නෙ කියල.

 

කොන්සර්වෙටිව් පක්‍ෂෙ සිංහල සම්භවයක් තියෙන අය හිටිය. ඉන්නවා. අර රනිල් ජයවර්ධනත් සිංහල සම්භවයක් ඇති බිරිතානි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඊට ඉස්සර නිරංජන් දේවාදිත්‍ය හිටියා. නැහැ අපේ ළඟ නෑයෙක් නොවෙයි. ඔබාමා පාට සුදු නුණත් එක්සත් ජනපදවල ජනාධිපති වුණා. කළු ජාතිකයන්ගෙ ජීවිතවල වෙනසක් වුණෙ නැහැ. සුනක් යටතෙ ඉන්දියයන්ට හින්දු භක්තිකයන්ට විශේෂයක් වෙන්නෙ නැහැ.

 

අපේ තත්වය මොකක් ද ? මා අහන්නෙ සාමාන්‍ය දෙමළ කතාකරන අය ගැන නොවෙයි.  දෙමළ දේශපාලනඥයන් ගැන. තොණ්ඩමන්ගෙ වෘත්තීය සමිතියෙ ධජය ඉන්දීය ජාතික ධජය. දේශපාලනඥයන් හැම දේකට ම ඉන්දියාවට දුවනවා. නැත්නම් ලංකාවෙ ඉන්දීය මහා කොමසාරිස් හමු වෙන්න යනවා. ඔවුන්ට තවමත් ඉන්දියාව මව්බිම වගේ. අර තමිල්නාඩුව මෙරට දෙමළ කතා කරන ජනයා වෙනුවෙන් පෙනී සිටිනවා. විජය ආවාය කියන කාලිංගයෙ හරි වංගයෙ හරි කිසිවකු සිංහලයන් වෙනුවෙන් පෙනී සිටින්නෙ නැහැ. සිංහල කවුරුන්වත් විජයගෙ නෑයන්ට කිසිම දෙයක් කියන්න යන්නෙ නැහැ.

 

මෙරට වෙන ම දෙමළ ඉතිහාසයක් ගොඩ නගන්න දේශපාලනඥයන් හා ඉතිහාසඥයන් කටයුතු කරනවා. දේවානම්පිය තිස්ස තීශම් කියනවා. මා දන්නෙ නැහැ තීෂම්ලා ඉන්නවාද කියා. තීෂම්ට දෙමළෙන් නිරුක්ති කියනවා ද? මෙරට හිටපු දෙමළ ජනයා බුද්ධාගම හඳුන්වා දීමෙන් පසු සිංහල වුනාලු. ඒක හොඳ කතාවක්. ඒක එහෙම කියා කියමු. ඉතින් එ හිටියා කියන දෙමළ ජනයා මීට අවුරුදු දෙදහසකටත් කලින් ඉවර වෙලා. ඊට  පස්සෙ දෙමළ ඉතිහාසයක් මෙරට නැහැ. එහෙම නම් ප්‍රශ්නය එතැනින් ඉවරයි. එදා ඉඳල අඛණ්ඩ ඉතිහාසයක් දෙමළ උගතුන්ට හරි සිංහල බෞද්ධ විරෝධී ඊනියා ප්‍රබුද්ධයන්ට හරි පෙන්නන්න පුළුවන් ද? චෝල ආක්‍රමණ නම් තිබිල තියෙනවා. ඒකෙන් දෙමළ ඉතිහාසයක් ගැන කියන්න පුළුවන් ද?

 

පස්සෙ කාලෙක පෘතුගීසි ලන්දේසි ඉංගිිරිසි ආක්‍රමණ තිබුණා. සිල්ව ල පෙරේර ල ප්‍රනාන්දු ල තාමත් ඉන්නවා කියල පෘතුගීසි ඉතිහාසයක් ගැන කියන්න පුළුවන් ද? ඔන්න සිල්ව කෙනෙක් නැවතත් බ්‍රසීලයෙ අගමැති වෙන්න යනවා. වුල්ෆෙන්ඩෝල් හරි ලන්දේසි කොටු තිබුණ නිසා මෙරට ලන්දේසි ඉතිහාසයක් ගැන කියන්න පුළුවන් ද? මෙරට ඉතිහාසය උගන්වන අය පෘතුගීසි යුගය ලන්දේසි යුගය වගේ වචන යොදා ගන්නවා. ඒ සම්පූර්ණයෙන් ම වැරදි ව්‍යවහාරයක්. මෙරට චෝල යුගයක් තිබුණ කියා කවුරු හරි කියනවා ද?

 

ඔය ඉතිහාස කතා ගෙතීම නිසා දෙමළ කතා කරන ජනයා සිංහලයන්ට විරුද්ධ ව උසිගන්නන්න දේශපාලනඥයන් කටයුතු කරන්න පුළුවන් වෙලා තියෙනවා. නැගනහිර පළාත දෙමළ නිජ භූමියක් කියනවා. නැගෙනහිර පළාතෙ දෙමළ කතාකරන ජනයා පදිංචි කෙරෙවුවෙ ඉංගිරිසින්. ඒ ගැන මා කලින් කිහිප වතාවක් කියල ඇති. ඔය පළාත පළාතක් හැටියට වෙන් කරනු ලැබුවෙ 1889 දි. 1889 ඇති කරනු ලැබූ පළාතක් දෙමළ ජනයාගෙ ඓතිහාසික නිජභූමියක් වෙන්නෙ කොහොම ද? අර ගෝකණ්නෙ තිබූ පන්සල කඩා බිඳලා පල්ලෙහාට තල්ලු කරල එතැන කෝවිලක් හදල ඒක ඓතිහාසික කෝවිලක් කියන්නෙ කොහොම ද? අපේ තාත්ත තරුණ කාලෙ ත්‍රිකුණාමලයට යන විටත් කන්ද උඩ පන්සලක් තිබුණු බව අප සමග කියා තියෙනවා.

 

කුරුන්දි විහාර කතාව ඇතැමුන්ට අලුත් දෙයක් වුණත් දැන් කාලෙක ඉඳල තියෙන ප්‍රශ්නයක්. එතැන ඓතිහාසික කෝවිලක් තිබුණ කියල පට්ටපල් බොරුවක් දේශපාලනඥයන් හදල මිනිසුන් උසිගන්නනවා. මේ පිළිබඳ ව කලක ඉඳන් කටයුතු කරන කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අතර චන්න ජයසුමන, පේරාදෙණි විශ්වවිිද්‍යාලයෙ සුමේධ වීරවර්ධන, රජරට විශ්වවිද්‍යාලයෙ චන්දිම අඹන්වෙළ ආදීන් ඉන්නවා. ඔවුන් දැනටමත් ඒ පන්සලේ හාමුදුරුවන් සමග විශාල වැඩ කොටසක් කරල තියෙනවා. දෙමළ ජාතිවාදීන්ගේ බොරු ඉතිහාස කතාවලට පිළිතුරු ලෙස ලිපි ලේඛන කිහිපයක් සකස් කර තියෙනවා.

 

රිෂි සුනක් හා සුමන්තිරන් හරි ගජේන්ද්‍ර පොන්නම්බලම් හරි අතර තියෙන්නෙ ලොකු වෙනසක්. රිෂි සුනක් ඉංගිරිසින්ට එංගලන්තය අහිමි කරන්න යන්නෙ නැහැ. ඔහු ඉංගිරිසි හින්දු බැතිමතෙක්.