Main Logo

Saturday 22 October 2022

සිංහල බෞද්ධයන් අපායට

 

සිංහල බෞද්ධයන් අපායට

 

පඬි නැට්ටන් කියනවා මා තමන්ට ප්‍රතිචාර දක්වන්න ඉඩ දෙන්නෙ නැ කියා. එහෙත් පසුගිය දින දෙක තුනක් ප්‍රතිචාර දක්වන්න ඉඩ දුන්නා. ඊයේ විවෘත ආරාධනයක් කළා පැමිණ තම මොළයේ ප්‍රමාණය ප්‍රදර්ශනය කරන්න කියා. එහෙත් කිසිවකු ඒ ආරාධනය පිළිගත්තේ නැහැ. මොළයක් නැතුව ඇති. ඔවුන් තමන්ගේ ගුබ්බෑයම්වල නම් වහසි බස් දොඩනවා.

 

විසි එක්වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වුණා. එයින් ජනාධිපති බලතල කප්පාදු වෙන්නෙ නැහැ. ඊනියා ජාතික හරි වෙනත් නමක් ඇති සභාවකින් මහා බෑංකුවේ අධිපති පත්කරන එක බලය විමධ්‍යගත කිරීමක් නො වෙයි. අවසානයේ දී පත්වන්නේ ජනාධිපතිට අවශ්‍ය අයෙක්. විසි දෙක වුවමනා කෙළේ කාට ද? පාර්ලිමේන්තුවේ නම් ජනාධිපතිට. ඔහු තමාට අවශ්‍ය දේ කර ගත්තා. පාර්ලිමේන්තුවේ වැඩ සිද්ධ වන්නේ ජනාධිපතිට ඕන විධියට. ඔය සභාවලත් එහෙමයි. රාජපක්‍ෂලා කළ ලොකුම මෝඩකම පරගලය මෙරට පරාජය කිරීමෙන් පසු  රනිල් අස් නොකිරීම. අද රාජපක්‍ෂ යුගය අවසන් කරලා. දැන් රනිල් බලවත්.

 

රනිල් අවුරුද්දක් ගෙදර ඉඳල  පාර්ලිමේන්තු ආවේ ම යම් සැලැස්මකට අනුව. එය බටහිරයන්ගෙ සැලැස්මක්. ඒ සැලැස්ම සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කිරීමත් රාජපක්‍ෂලා බලයෙන් පහ කිරීමත්. පරගලය සිංහල බෞද්ධ විරෝධී අරගලයක්. තවත් දුරට ගියොත් එය සිංහල බෞද්ධ ගොවිගම විරෝධී අරගලයක්. පරගලයේ මෙරට නායකත්වය ගත්තේ කතෝලික පූජකවරුන්. මුස්ලිමුන්ගෙන් ඔවුනට සහායක් ලැබුණා. කාදිනල්තුමාගේ අගසවුවන් වහන්සේ අද ඉන්නේ රනිල් සමග.

 

පරගලයේ මෙරට නායකත්වය හත්තේ ගොවිගම/ බෞද්ධ නොවන්නන්. කාදිනල්තුමා මුල දී බෞද්ධ සංස්කෘතියේ විශිෂ්ටත්වය ගැන කියා පසුව පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් හොයන්න ගියා. අද එතුමා ඒ ගැන කතා නැත්තේ මහා මොළකරු හොයාගෙන වෙන්න ඇති. ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත් කෙළෙ අර සුවාදීන වෙච්ච අය. බටහිරයන්ට ඒක උපකාරයක් වුණා,

 

පරගලය සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කළා. ඒත් කිසිවකු දැන සිටියේ නැහැ මේ වෙනස් කරන්නේ කුමක් ද කියාවත් ඇති කරන්නේ කුමක් ද කියාවත්. ඔය වෙනස් කළ සිස්ටම් එක රාජපක්‍ෂ දේශපාලනය පමණයි. යම් පමණකට භික්‍ෂූන් වහන්සේට තිබූ ගෞරවයත් නැති කළා. ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කිරීමට. පරගලයට පාර කැපුවේ මෙරට ජඩමාධ්‍ය හා මෙටා හෙවත් මුහුණු පොත.

 

ජාතිකත්වය පැත්තේ බව හැඟෙන්න ක්‍රියා කළ මාධ්‍ය ජාලයක් මේ වෙනසට අනෙක් ජඩමාධ්‍යඬලටත් වඩා වගකියන්න ඕන. අපේ දැනුමට වඩාත් ම ගැරහුවෙ ගරහන්නෙ මේ මාධ්‍යය. ආසනික් කතාවේ සිට ධම්මික පැණිය දක්වා ඉතා සියුම් ව ඔවුන් පහර ගැහුවා. මුල දි ඔවුන් මටත් පහර ගැහුවා. ආසනික් ප්‍රශ්නයේ දී මගේ දරුවන් පිටරට විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා බවට මතයක් ඇති කරන්න උත්සාහ ගත්තා. පසුව කපන්න බැරි අත සිඹීමේ ව්‍යාපරයක් ගෙනිච්චා. හාවඩ් ස්ටැන්ෆර්ඩ් පර්යේණවල ප්‍රතිඵල එන විට මා නම් මිය ගිහින්. එහෙත් ජඩමාධ්‍යයේ සියලු විරෝධ මැද  අපේ දැනුම් මිය නොගොස් පවතීවා කියා ප්‍රාරථනා කරනවා.

 

එකී මාධ්‍යය ගෝඨාභයට පක්‍ෂපාතීව ඉඳ පසුව ගෝඨාභය විරෝධී ව්‍යාපාරයක් ගෙනිච්චා. මැයි 9 වැනි දා සෙනග කොළඹට කැඳවීමට ඔවුන් ප්‍රචාරාත්මක ව කටයුතු කළා. එහෙත් අද ඔවුන්ට කියා තැනක් නැහැ. නිකමට බලන්න ඒ නාළිකාවේ ටෙලි නාට්‍ය බහුතරයක බෞද්ධ පරිසරයක් තියෙනවා ද කියා. 

           

ඉතා කෙටියෙන් කියන්නේ නම් බටහිරයන්, විශේෂයෙන් එංගලන්තය නන්දිකඩාල් පරාජයේ පලිය ගත්තා. ඔය විසි දෙකේ අරමුණ වුණේ බැසිල් පාර්ලිමේන්තුවෙන් එළවා දැමීමත් දෙමළ ජාතිවාදී දේශපාලනඥයන්ගේ අවශ්‍යතා ඉටු කිරීමත්. දෙවැන්න අවශ්‍ය පරිදි කර ගන්න බැරි වුණා. ඒ තවමත් රටේ ජාතිකත්වය ශක්තිමත් නිසා. එහෙත් පොහොට්ටුවේ කුල ප්‍රශ්නය තියෙනතාක් ජාතිකත්වයට ඇතැම් අවස්ථාවල පසුබැසීම් අත් වෙන්න පුළුවන්.

 

ශ්‍රී ල නි පක්‍ෂයෙන් කැඩී ගිය කණ්ඩායම් මුල සිට අධ්‍යයනය කළොත් කුලය බලපා තියෙන හැටි දැක ගන්න පුළුවන්. සී පී ද සිල්වාගේ සිට මෛත්‍රිපාල සිරිසේන දක්වාත් ඉන් පසුවත් එය බලපා තියෙනවා. ආර් ප්‍රේමදාස සිටිය යුතුව තිබුණෙ ශ්‍රී ල නි පක්‍ෂයේ. එහෙත් ඔහුට ඒ පක්‍ෂයේ සිටියා නම් කිසි දිනෙක ජනාධිපති වෙන්න බැහැ. අද කුල ප්‍රශ්නය කතා කිරීම වැඩක් නැහැ කියා මට විරුද්ධ ව කියන පුද්ගලයන්ටත් කුල ප්‍රශ්නය බලපානවා.

 

බටහිරයන් විසින් මෙහෙයවනු ලැබූ පරගලය කලක් තිස්සේ පැවත එන ක්‍රියා දාමයක අචසන් ප්‍රතිඵලය පමණයි. පරගලය සිංහල බෞද්ධ ගොවිගම විරෝධී ව්‍යාපාරයක් බව කීවේ කට කහනවාට නො වෙයි. එ ජා පක්‍ෂයේත් යම් පමණකට කුල ප්‍රශ්නය තියෙනවා. ප්‍රේමදාසට විරුද්ධ ව ඇතුළත්මුදලි හා ගාමිණී දිසානායක කටයුතු කළා. එහෙත් ජේ ආර් රනිල් වැන්නන්ට කුලය වැදගත් නැහැ. රනිල් විජයදාසලාටත් වෙනත් දාසලාටත්  තැනක් නොදී ඉන්නේ නැහැ.

 

ජාතිකත්වය ඇතැම් අවස්ථාවල පසු බසින්නේ මේ කුල ප්‍රශ්නය නිසා. ශ්‍රි ල නි පක්‍ෂය හා පොහොට්ටුව නායකත්වයට උභය කුල පාරිශුද්ධ ගොවිගම අය හොයනවා. එවිට අනෙක් අය ජාතිකත්වයක් තිබුණත් පක්‍ෂය අතහැර යනවා. අද බැසිල්ට තැනක් නැහැ. විසි එකට පොහොට්ටුවෙ පක්‍ෂ නොවුණේ මන්ත්‍රීවරුන් වරියන් විසිපස් දෙනකු පමණයි. ඒ මහින්ද රාජපක්‍ෂ ද ඇතුළත්ව. පොහොට්ටුවෙත් රාජපක්‍ෂලා  සුළුතරයක් වෙලා.

 

රාජපක්‍ෂ යුගය අවසන්. එහෙත් එතෙකින් සිංහල බෞද්ධ සංස්කෘතිය වලපල්ලට යන්නෙ නැහැ. කුල භේදය හැකි ඉක්මණින් පිටු නොදැක්කොත් සිංහල බෞද්ධයන් යැවිය යුත්තේ අපායට.